Wednesday, August 12, 2015

අංකල් සහ කොහොල්ලෑ බබා

 පහුගිය වීකෙන්ඩ් එකේ පාට් ටයිම් ජොබ් කටුවක් සෙට් වුණා. යන්තමට වගේ නිවාඩු පාඩුවේ තිබුණු නිවාඩු දවස් දෙක නැති වුණත්, මැරීගෙන වැඩ කරන්න තරම් පිස්සුවක් මේ දවස්වල තියෙන නිසා මං මේ පාට් ටයිම් ජොබ් එකට යන්න හිතුවා. ඒත් ඒකෙන් සිද්ධ වුණේ බ්ලොග් ලියන්න තිබුණු කාලේ අඩු වුණ එක විතරයි. මේ ජොබ් එකට ගිය පහුගිය සෙනසුරාදා අපේ හිතවත් අංකල්කෙනෙක් මුණගැහුණා , ටිකක් වෙනස් චරිතයක්. එයා හිතන විදිහ වගේම එයාට මූණ දෙන්න වෙන සිද්ධිත් ටිකක් වෙනස්. එයා වැඩ කරන්නේ කොළඹ, සෙකියුරිටි ෆර්ම් එකක. ඉතිං කාලෙන් කාලෙට එයාට වැඩ කරන ස්ථානය වෙනස් වෙනවා. විවිධ විදිහේ අත්දැකීම් එයාට ලැබෙනවා.අපේ ගෙදර කට්ටියගේ වැඩි මනාපයක් නෑ මේ අංකල්ට. ඇයි ඉතිං කථාකරනවා වැඩියිනේ. වැඩිපුර වල් පල් කථා කරන අයට අපේ ගෙදර අය කැමති නෑ. මේ අංකල් නිවාඩුවට ගෙදර ආවම කථාවට අහුවුණොත් පැය දෙකතුනක්ම ඉවරයි. මං ඒ දවස්වලට වැඩිය එළියට යන්නේ නෑ. මොකද දැක්කොත්  ගිරේට අහුවුණා වගේ, ලේසියෙන් ගැලවෙන්න බෑ.අඩුම තරමේ පැය තුන හතරක් ඉවරයි. මං නං ෆුල් ට්‍රයි එකක් දීලා කොහොමහරි ගැලවෙනවා. එයා විනාඩි පහෙන් කියල ඉවර කරන්න පුළුවන් කථාවක් පැය ගණන් අදිනවා. චුයිංගම් වගේ.

            මං ඉස්සර හිතං හිටියෙ, චුයිංගම් හදන්නේ කොහොල්ලෑ වලින් කියලා. ඉතිං අර කථාවක් තියෙන්නේ කොහොල්ලෑ බබා ගැන, ඒ කථාවේ ආනුභාවයෙන් මං චුයිංගම් කන්නේ නෑ. බයයි කට ඇලෙයි කියලා.  ඒ කාලේ සිටම ටියුබ් ලයිට් පොරක් වෙච්චි මං වැඩිය හිතන්න හිතන් නෑ අනිත් අය, කටවල් අලවගන්නේ නැතිව චුයිංගම් කන්නේ කොහොමද කියලා. හික්ස්..

කොහොල්ලෑ බබාගේ කථාව මට කීවේ අපේ ලොකු අම්මා. අපේ අම්මගේ වැඩිමහල් සහෝදරී. අපේ අම්මාගේ පවුලේ හිටිය සහෝදර සහෝදරියන් දහදෙනාගෙන් කිහිප දෙනෙක්ම, පවුලේ බාලයා වෙච්චි අපේ අම්මා උපදිනකොටම විවාහ වෙලා.  ඉතිං ගෙදර, වතුපිටිවල, කුඹුරුවල වැඩකටයුතු රාශියක්ම තිබුණු අපේ ආච්චම්මට අතදරුවෙක් වුණු අපේ අම්මව හුරතල් කරන්නවත් බලාකියාගන්නවත් ඉස්පාසුවක් තිබිල නෑ. ඒ කාලේ පාසල් යන්න මඳ මැලි කමක් දක්වපු අපේ හයවෙනි ලොකු අම්මා ඒ භාරදූර කාර්යයට අත ගැහුවලු. අපේ අම්මට වඩා වසර දහයකින් පමණ ඒ ලොකු අම්මා වැඩිමහල් වුණා.   අපේ අම්මට දෙවැනි මවක් විදිහට අපේ මේ ලොකු අම්මා හඳුන්වන්න පුළුවන්. අපේ අම්මි විවාහ වුණු කාලේ වෙද්දී ආච්චම්ම අපිව අතෑරලා ගිහින් හිටිය නිසා, අපිව පොඩි කාලේ නාවද්දී කවද්දී බලාගනිද්දී උපදෙස් ලැබුණේ ලොකු අම්මාගෙන්ලු. මං පුංචි කාලේ ලොකු අම්මගේ එකම දුව විශ්ව විද්‍යාලයේ හිටිය නිසා මගේ සති අන්තේ ගත වුණේ ලොකු අම්මලාගේ ගෙදර. ලිප ළඟ වාඩිවෙලා මාවත් තුරුළු කරගෙන ලොකු අම්මා පැය ගණන් කතන්දර කියනවා. සිංදු කියල දෙනවා. ඒ කතා අතරින් මං කැමතිම කතාව තමයි කොහොල්ලෑ බබාගේ කතාව. ඒ කතාවත් කියලම අංකල් ගැන කියන්නම්.

එකෝමත් එක කාලෙක බොහොම ඈත වනාන්තරයක කපටිම කපටි නරියෙක් හිටියලු. මෙයාට කාලෙකින් හොඳ කෑමක් ලැබිල නැති නිසා මෙයා සෑහෙන බඩගින්නේ තමයි ඉඳල තියෙන්නේ. කෑමට ගන්න සතෙක් අල්ලගන්න ඕන නිසා මෙයා හොඳ උපායක් කල්පනා කලාලු. ඉතිං එතකොට තමයි මෙයාට අපූරු අදහසක් ඇවිත් තියෙන්නේ. මේ කපටි නරි රාළ කොහොල්ලෑ වලින් බබෙක් හදලා එයාව ගහක රඳවලා තිබ්බාලු. මෙතනින් ඇවිදන් ආව අහිංසක හා පුංචෙක් මේ කොහොල්ලෑ බබාව දැකල තමංගේ ගමන පැත්තක දාල කොහොල්ලෑ බබාට කිට්ටු වුණාලු.

කොහොමද බබෝ? හා පුංචා ඇහුවලු.

කිසිම උත්තරයක් නැති නිසා  හා පුංචට තරහ ගියාලු. ඉතිං හා පුංචා දකුණු අතින් පාරක් කොහොල්ලෑ බබාට ගැහුවලු. කොහොල්ලෑ නිසා දකුණු අත ඇලුණාලු. ඊළඟට වම් අතින් ගැහුවලු. ඒ අතත් ඇලුණලු. කොහොල්ලෑ බබාට ගහන්න ගිහින්, මේ විදිහට අත් දෙකයි කකුල් දෙකයි කියන හතරම කොහොල්ලෑ ගුලියෙ අලව ගත්ත හා පුංචාව, කපටි නරියා රස කෑමක් විදිහට දැක්කා. ඉතිං තොලකට ලෙවකමින් තළුමරමින් හා පුංචා ළඟට ආව නරි රාළ හා පුංචාව කොහොල්ලෑ වලින් ගලවගෙන දොළ පාරක් ළඟට අරන් ගිහිල්ලා, හොඳට හෝදල කෑමට සූදානම් කරල ගලක් උඩ තිබ්බලු. ඊට පස්සේ නරි රාළගේ අතේ තිබුණු කොහොල්ලෑ සෝදගන්න දොළට බැස්සලු. මේං මේ වෙලාවේ කකුල් දෙකට ඇඟේ තිබුණු මුළු හයියම දාල හා පුංචා පණ බේරගෙන කැලේ ඇතුළට දිව්වලු.

ඒක තමයි අපේ ලොකු අම්මා කිව්ව කොහොල්ලෑ බබාගේ කතන්දරේ. එයා කීව කතා වලින් මං කැමතිම එකක් තමයි ඒ. මීට ටික කාලෙකට කලින් අපිව මේ ලෝකෙ තනිකරල ලොකු අම්මා යන්න ගියා. එයා ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්.පුංචි කාලේ මං හිතන් හිටියේ චුයිංගම් හදන්නේ කොහොල්ලෑවලින් කියලා, ඉතිං මේ කතන්දරේ තිබුණු කොහොල්ලෑ සීන් එක නිසා මං චුයිංගම් කන්නෑ.


මේ කතාව කියද්දි තව පොඩ්ඩෙන් අංකල්ව අමතක වෙනවා. ඉතිං ජීවිතේ ෆුල් බිසී නිසා අදට ටයිප් කලේ මෙච්චරයි. අංකල් ගැන ඊළඟ දවසේ කියන්නම්...............

8 comments:

  1. කෙල්ලේ... නව වෙනි ලොකු අම්මා අම්මට වැඩිය අවුරුදු පාලොහක් වැඩිමල් නම් බං පලවෙනි ලොකම්මා හෝ ලොකු අප්පච්චී අච්චාම්මටත් වැඩිය වැඩිමල් ඇතිනේ.. හැක හැක හැක.. අඩුම වසයෙන් සැලකුවොත් පාලොහයි නවයයි එකතු වුනාම විසිහතරයි.. බොලා ආච්චම්ම විසිහතර අවුරුද්දක් තිස්සේ ළමයි වදලද? මේක මටනම් පට්ට අවුල්. කතාවේ ඉතුරු ටික කියවන්න කලින් මේ කොමෙන්ටෙක දාන්නේ.. කොහේ හරි වැරද්දක් තියෙනවා වගේ..

    ReplyDelete
    Replies
    1. කොහොල්ලෑ බබා ගැන කතාව අහල තිබ්බට පොඩි කාලේ ඔහොම මටනම් කවුරුවත් කියල දීල නෑ.. අපේ ආච්චිත් එක්ක මට පොඩි ඇරියස් එකක් තියෙන්නෙත් ඔය වගේ හේතු හින්දමයි. උන්ද නැලෙව්වේ අපේ ලොකු අයියයි දෙවෙනියි විතරයි.. අපි 'පොඩි එව්වෝ' නේ.. අපේ ලොකු අම්මත් අම්මට වැඩිය අවුරුදු පාලොහක් විතර වැඩිමල්.. හැබැයි ඒ ආච්චිගේ පලවෙනි කසාදේ.. සිකුරිටි අංකල් නිවාඩුවට ගිහින් කතන්දර කියා කියා ඉන්නේ මෙන්න මෙහෙ ඇවිත් OT පාරක් කරගන්න කියහන්..

      අනික ලබන වීක් එන්ඩ් එකෙත් ප්‍රයිවට ප්‍රැක්ටිස් නොගිහින් මේකේ ඉතුරු ටික දැමුවොත් නරකද? :p

      Delete
    2. හෆ්ෆෝ වැරදිලා නේන්නම්, සංඛ්‍යාෙල්ඛන දත්ත වැරදිලා ද කොහෙද, අම්මාගෙන් අහල වැරදි හදන්නම්. සොරි වෙන්ඩෝ
      අනේ ඒ අංකල් ගෙදර එන්නේ නැත්තං අපිත් කැමතියි. කනක් ඇහිල හිටියෑකි. ඊළඟ කොටස දාන්නම්.
      අපේ නංගි බබාටත් ඔයාට වගේම ලොකු අම්මාගේ කථා නෑ. මං ලකීනේ...
      හිහ්....

      Delete
  2. හප්පේ මාර ඉට්ටෝරිය නේහ් කෝ යකූ අංකල් ඔයත් හඒ අංකල් වගේ මයි අනේ කතාවක් කියන්න ගියාම අදිනව නෙව අවුරුද්දක් හිහික්

    ReplyDelete
    Replies
    1. චුයිංගම් වගේ නේ............... හික්ස්

      Delete
  3. හැලපෙ අයියාගෙන් බෝ වෙලාද මන්දා.... කියන්න ආපු කතාව නොකියා වටේ යනවා මෙයත්...

    ReplyDelete
  4. "වැඩිපුර වල් පල් කථා කරන අයට අපේ ගෙදර අය කැමති නෑ" ඒ කියන්නේ ගෙදර ය ඔයාට කැමති නැද්ද ? :P

    ReplyDelete
    Replies
    1. ඔව් කථාව ඇත්ත. ඉස්සර වැඩිය කතා බහක් නැති මං, දැං මේ කියවන තරම කොච්චර වැඩිද කිවිවොත්, අපේ අම්මා මට දැං වැඩියෙන්ම කියන්නේ කට පියාගෙන ඉන්න ළමයෝ කියලා. හිහ්

      Delete