Saturday, May 7, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 5 ( අවසන් කොටස )





මේ කොටසින් අපේ පැත්තේ ගොයම් වගාව ලිපි පෙළ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කොටසින් මං විස්තර කලේ ගොයම් පෑගීම සම්බන්ධව.  ඒකෙදි කියන්න අමතක වුණු කාරණයක් තියෙනවා. ඒ තමයි මී හරක්ගේ සහයෝගයකින් තොරව ගොයම් පඳුරෙන් වී ඇට වෙන් කරගන්න ක්‍රමය. බොහෝ වෙලාවට කුඩා කුඹුරු හිමියෝ මේ ක්‍රමය අනුගමනය කරනවා. මේ ක්‍රමයෙදී කුඩා කමතක් සකස් කරගන්නවා. කපාගත්තු ගොයම් ටික කමතට ගෙනාවට පස්සේ, කමතේ තියෙන තරමක් විශාල ගලක් / කොටයකට මේ ගොයම් ටිකෙන් පහර දෙනවා. වී ඇට ටික බිමට වැටුනට පස්සේ, පිදුරු ටික කමතෙන් ඉවත් කරනවා. මිනිස් ශ්‍රමය තමයි මෙහිදී භාවිතා කෙරෙන්නේ. තරමක් විශාල කුඹුරු සඳහා මෙම ක්‍රමය සාර්ථක නැහැ.


ඊළඟ අදියර වෙන්නේ ගොයම් ගහෙන් වෙන් කරගත්ත වී ටික පිරිසිදු කරල ගබඩා කරන්න එක. ගොයම් පඳුරෙන් වෙන් කරගත්ත වී කමත් භාෂාවෙන් හඳුන්වන්නේ බැත කියලා. වෙන් කරගත්ත බැත ටික, බෝලත්ත පාවිච්චි කරල එක තැනකට එකතු කරගන්නවා. ගොයම් මඩවන අතරතුරදී මලු වලට එකතුකර ගත්ත බැත ටිකත් මේ ගොඩටම එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ බැත එක්ක මිශ්‍ර වෙලා තියෙන පිදුරු කැබලි වෙන් කරගන්න එක. මේ විදිහට බැත එක්ක මිශ්‍ර වෙලා තියෙන අපද්‍රව්‍ය / පිදුරු කෑලි හඳුන්වන්නේ කාටුව කියලා. කාටුව ඉවත් කරගැනීමේ ක්‍රියාදාමය තමයි බැත පවන් කිරීම. ඉස්සර ස්වභාවික සුළඟත් එක්ක බැඳිලා තිබුණු මේ වැඩෙත් පසු කාලීනව යන්ත්‍ර සූත්‍ර වලට පැවරුණා. කමත මැද හිටවපු කතිරය උඩට නැගලා තමයි බැත පවන් කරන වැඩේ කරන්නේ. කතිරය කියන්නේ තරමක් උස ලී කණු තුනක් භාවිත කරලා හදාගන්න අට්ටාලයක් වගේ එකක්. තනි පුද්ගලයෙකුට අපහසුවක් නැතිව කතිරය උඩ රැඳෙන්න පුළුවන්. මං හිතන්නේ මේ කතිරයට එක එක පැති වල භාවිතා වෙන නාමයන් වෙනස්. කතිරය උඩට නගින එක්කෙනාට පොඩි කුල්ලකට බැත පුරවලා දෙනවා. ( කුල්ලට කමත් භාශාවෙන් කියන්නේ යතුර කියලා.) එයා ඒක අරන් හුළං එන පැත්තට හරවලා කාටුව අයින් වෙන විදිහට බැත පවන් කරනවා. ගොඩක් වෙලාවට මේ වැඩේට පළපුරුදු ගොවි මහත්තයෙක් තමයි කතිරෙ උඩට නගින්නේ. බැත පවන් කරන මුල් වෙලාවේ ආධුනිකයින්ට අවස්ථාවක් ලැබෙනවා මේ වැඩේ පුරුදු පුහුණු වෙන්න. සුළං පවතින දිශාව ගැන අවබෝධයක් වගේම සුළගේ වේගයත් මේ වැඩේ සාර්ථකව නිම කරගන්න දායක වෙනවා.

අපේ පැත්තේ දැන් මේ වැඩේට පාවිච්ච් කරන්නේ ෆෑන් එකක්. අපේ තාත්තාත් ඔය යන්ත්‍ර සූත්‍ර වලට බොහොම මනාප පුද්ගලයා නිසා ෆෑන් එකක් අපේ ගෙදරත් තියෙනවා. ඒකෙන් නම් වැඩේ හුඟක් ලේසි වෙනවා. නැත්තන් හුළඟක් එනකන් කතිරය උඩට වෙලා ඉන්න වෙනවනේ. ෆෑන් එක නිසා කතිරයේ අවශ්‍යතාවක් නැති තරම්. පහතින් තියෙන රූප වලින් දැක්වෙන්නේ කතිරයක් නැතිව ෆෑන් එකෙන් බැත පවන් කරන අවස්ථාවක්
           
          මේන් මේ වෙලාව පුංචි ඈයෙන්ට ගොඩක් සතුටු කාලයක්. මොකද මුළු කුඹුරෙම පිදුරු ටික එකතු කරලා ගොඩ ගහලා තියෙන නිසා හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. පිදුරු ගොඩේ සෙල්ලම් කරන අය දන්නවා ඒකේ තියෙන ආශ්වාදය. හිහ්, නැද්ද මං අහන්නේ.
හවස නාද්දි තමයි වැඩේ තියෙන්නේ, පිදුරු වලට කැපුණු අතපය ඔක්කොම දැවිල්ලයි. හැබැයි ටික දවසකින් ඒ ඔක්කොම සනීප වෙනවා කියලා දන්න නිසා, පහුවදාත් අපි අහළ පහළ ඉන්න යාළුවෝ කට්ටියම යනවා සෙල්ලම් කරන්න. අපේ අම්මි අත් දෙක දිගට තියෙන ඇඳුමක් අන්දවලා තමයි යවන්නේ ඉතින්. ඒ නිසා හොඳයි. නැත්තන් පිදුරු වලට කැපිලා තුවාල වෙනවා සමහර වෙලාවට. පිදුරු ටිකක් වේලුනාම කැපෙන ගතිය අඩුයි. ඒ අත්දැකීම් විස්තර කරන්න මගේ වචන ප්‍රමාණවත් මදිද මන්දා,

 ඊ ළඟට මේ විදිහට අපද්‍රව්‍ය ඉවත් කරගත්ත බැත ටික වේලගන්න ඕනේ. විශාල මිදුලක් නැති නිසා මේ වැඩේට හොඳම තැන තමයි කමත. ගොඩක් වෙලාවට බැත පවන් කරලා අවසන් වෙද්දි හවස් වෙන නිසා මේ වැඩේට පහුවදා වෙනකන් බැත ටික කමතේ තියන්න වෙනවා. පහුවදා වෙනකන් කවුරු හරි කමතේ ඉන්නවා. කුඹුරු අයිතිකාරයා නැත්තන් ඒ පවුලේ වැඩිමල් තරුණයා තමයි මේ වැඩේ කරන්නේ. ඔහුගේ සහයට තව කීප දෙනෙක් කුඹුරේ නතර වෙනවා.
  
           
            පොඩියට හදාගන්න පැලේ තමයි මේ උදවිය රාත්‍රිය ගත තරන්නේ. රෑ පින්න වගේම එක දිගට වැඩ කරපු මහන්සිය නිසා අනිවාර්යයෙන් පහුවදාට මේ හැමෝටම උණ හැදෙනවා. රෑ වැස්සොත් අවුරුද්දටම කන්න තියෙන වී ටික පැළ ඇතුලට දාන්නත්, වැස්ස පායන වෙලාව වෙනකන් එළියට වෙලා ඉන්නත් ගොවි මහත්තුරුන්ට සිද්ධ වෙනවා. වැස්සොත් කමත වේලෙනකන් ඉඳලා තමයි ආයෙත් බැත ටික කමතට දාන්නේ. දවල් වරුවම තද අව්වක් ආවේ නැත්තන් පහුවදාත් මේ වැඩේ වෙනුවෙන් ගත කරන්න වෙනවා.

            අපේ තාත්තත් අපි වෙනුවෙන් මේ විදිහට දුක් විඳි දවස් තියෙනවා කියලා මතක් වෙද්දි උගුර හිරවෙලා ඇහැට කඳුළු උනනවා. ඒ අයගේ කැපකිරීම් ගැන කථා කරන්න ගියොත් මේ ලිපි පෙළ ඉවර කරන්න වෙන්නේ නෑ මට. අනිත් දේවල් ඔක්කොම අමතක කලත් අතපය හතර හොඳට හදලා එක වේලක්වත් අපිව බඩගින්නේ   නොතිබ්බට රත්තරං අම්මට තාත්තටයි මං මැරෙනකන් වගේම ලබන ආත්මෙටත් එක්කම ණයයි.
අපේ තාත්තා ගෙදර නැතිව ඉස්සර මට නින්ද යන්නෑ. ඉතිං පුංචිම කාලේ මං අඬනවා තාත්තා එක්ක කුඹුරෙ ඉන්න ඕනි කියලා. කියන්න දෙයක් නෑනේ ඉතිං ඒකට අවසර ලැබුනේ නෑ කියලා.

            වේලීමෙන් පස්සේ බැත ටික කමතෙන් ගෙදරට ගේනවා. ඉස්සර මිනිස්සුන් ඔළුවෙන් තමයි බැත ගෙවල් වලට ගෙනාවේ. දැන් නම් ලොරියකට පටෝලා ගෙදර ලඟින් බා ගන්නවා.  වැස්සක් ළඟයි වගේ දැනුනොත් අහළ පහළ අය වගේම පාරෙ යන අයත් බැත ටික ගේ ඇතුළට ගන්න සහාය වෙනවා. බැත ටික තෙමුණොත් ආයෙම වේලගන්න තියෙන අමාරුව ගැන හැමෝටම අවබෝධයක් තියෙන නිසා තමයි ඒ.
ඉස්සෙල්ලාම වී ගෝනියක් මෝලට අරන් ගිහින් අඹරලා ගන්න හාල් වලින් කොටසක් නෑදෑයින්ට දෙනවා අළුත් සහල් වලින් කිරිබත් ටිකක් හදන්න කියලා. ඒක බොහොම සුහදශීලී චාරිත්‍රයක්. හැබැයි එක්කෙනෙක්ටවත් දෙන එක අමතක කරන එක හොඳ නෑ.    

( දන්න අඳුනන ඈයෝ කඩේට ගිහින් ගල් වැලි ඉවත් කරන ලද හාල් හොයද්දි මට ඉතිං හිනා යනවා. ඒ වෙන දේකට නෙවෙයි. අපේ කම්මැලිකම ගැන මතක්වෙලා )



ගොයම් වගාව ඉවරයි. ඔන්න ආසාවෙන් වගේම බොහොම අමාරුවෙන් මේ ලිපි පෙල කියෙව්ව ඔයාලා හැමෝටම ස්තූතියි. හැලපතුමා ගොයම් වගාවේ රසවත් සිදුවීම් ලියනවා කියලා මේ ලිපි පෙලේ එක කොමෙන්ටුවක කොටලා තිබුණා මතකයි. ඒ ලිපි කියවන්නත් බලාපොරොත්තු වෙනවා.