Monday, December 28, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා !!!



අවුරුද්දක් ඉවරවෙලා තවත් අවුරුද්දක් ලබනවා. අපි හැමෝම 2015 ට සමුදීලා 2016 වසර ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා.  ඒ වගේම ලබන අවුරුද්දේ අළුත් වැඩ අළුත් අරමුණු එක්ක ඉස්සරහට යන්න බලාගෙන ඉන්නවා. 2015 අවුරුද්දෙදී කරගන්න අතපසු වෙච්චි වැඩත් කොහොමහරි ඉවර කරගන්න හිතේ තියාගෙන අපි හැමෝම 2016 අළුත් අවුරුද්දට පය තියනවා.

ඒත් 2014 අවුරුද්ද අවසන් වෙද්දී, ඒ කියන්නේ 2015 ලබද්දී මට ඒ වගේ අරමුණු තිබුණේ නෑ. දියතලාවේ තිබුණු අවුරුද්දක ට්‍රේනින් එක ඉවර වුනේ 2015 පෙබරවාරි මාසයේ. ඉන්පස්සේ මං සේවය සඳහා යැවුණේ බදුල්ලට. සේවයක් ලබාගන්නත් බොහොම අඩුවෙන් රාජ්‍ය ආයතන වලට ගොඩවෙලා තිබුණු මට, රාජ්‍ය ආයතනයක රාජකාරියක නිරත වෙන්න සිදුවුණා.

හැමතිස්සෙම උදව්වට ඉන්න සුරංග අයියත් රත්නායක අයියත්, හැමදේම හෙමින් කියල දුන්නා. ඔෆීසියේ මැඩම් වගේම ටීඒඕ මිසුත් මට අතපසු වෙන හැම පුංචිදේම මතක් කරල දුන්නා. ඔෆිස් එකේ අනිත් හැමදෙනාම ආධුනික මගේ අතින් සිද්ධවුණු අතපසුවීම් මැදහත් සිතින් දරාගෙන ( මට පෙනුනේ නම් ඒ විදිහට. බැන්නද දන්නෙත් නෑ. ) මට උදව් වුණා.

ලයිසන් මේනියාව කලින් ඉඳන්ම තිබුණත් ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා වගේම කාලය සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා ඒ වැඩේ ටිකින් ටික කල්ගියා. ලර්නර්ස් එකේ අයියට ඩ්‍රයිවින් උගන්නන්න එපා කරලාඅන්තිමේදී මාත් ලයිසන් එක ගත්තා. ඒත් බයික් ට්‍රේනින් නම් මග නතර වුණා. තාත්තගේ පිහිටෙන්යන්තන් ස්කූරයක් පැදගන්න පුළුවන් වුණත් ඒක සාර්ථක නෑ මං හිතන්නේ.

විශේෂම දේ තමයි, මං දැනං හිටියේම නැති දෙයක් සුරංග අයියාගේ උදව්වෙන් දැනගත්තා. ඒ තමයි බ්ලොග්. සයිබරේ වැඩිය හුරුපුරුදු කෙනෙක් නොවුණු මට, බ්ලොග් සම්බන්ධ හැමදේම කියල දුන්නේ සුරංග අයියා. සඳරුගේ හිස් අහස කියෝලා පටන්ගත්ත බ්ලොග් කියවිල්ල, මේ වෙද්දී සෑහෙන ව්‍යාප්ත වෙලා. ඒ වගේම සුරංග අයියගේ උපදෙස් අනුව මාත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා. ලියනවට වඩා කියවන්න කැමතියි මං. ලියන්න කම්මැලියි.  බ්ලොග් පෝස්ට් වලට කොමෙන්ටු කොටන්නත් කම්මැලියි. ලබන අවුරුද්දේ ඒ ඔක්කොම අඩුපාඩුටික හදාගන්න හිතන් ඉන්නවා.

මම කිසිම අරමුණකින් තොරව පටන්ගත්ත 2015 සාර්ථක විදිහට අවසන් කරන්න පුළුවන් වුණා කියලා හිතෙනවා.  ඒත් 2015 අවුරුද්ද පටන්ගත්තා වගේ නෙවෙයි, 2016 අවුරුද්ද පටන් ගනිද්දිම අරමුණු ගොඩක් තියෙනවා මට. ඒවගෙන් කිහිපයක් හරි සාර්ථක කරගන්න මං බලාපොරොත්තු වෙනවා. මට වගේම ඔයාටත් ලබන අළුත් අවුරුද්දෙදි අළුත් අරමුණු බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඉතිං ඒ බලාපොරොත්තු හැම එකක්ම ඉටු වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිසිම අරමුණක් නැතිවම ලබන අවුරුද්දට පියනගන ඔයාටත් අළුත් අවුරුද්ද සාර්ථක වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.


තිං හැමෝටම ජය වේවා !!!