Friday, March 25, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 4



       
   

  අපේ පැත්තේ ගොයම් වගාවේ ඊළඟ කොටස. ටිකක් කල් ගියා ලියන්න. කට්ටිය ඒ ගැන සමාවෙන්න ඕනේ. ඇත්තෙන්ම ගොයම් වගාව කියන්නේ හුඟක් කල් ගත වෙන ක්‍රියාවලියක්. ගොයම් වගාවේ සුන්දරම කොටස වෙන්නේ මේ අස්වනු නෙළන කාළය. පුංචි ඈයොන්ට වගේම ගොවි මහත්තුරුන්ටත්  ඒක සතුටුදායක කාලයක්.
           
            කලින් පෝස්ටු වල කියන්න බැරි වුණු වැදගත්ම කථාවක් තියෙනවා. ඒ තමයි මං මතක ඇති කාලේ ඉඳන් අපේ කුඹුරු වල වැඩ කරද්දී මාගේ කාර්යභාරය. වෙන මුකුත් නෙවෙයි බොල, කඩේ යෑම. කිසි අවුලක් සැක සංකාවක් නැතිව අපේ තාත්තාත්, අම්මත්, නෑදෑ පිරිසත් මාව කඩේ යවන්න එක හිතින් එක පයින් එකඟ වුණා.
පුතේ, කඩේට ගිහින් පාන් ටික ගේන්න. පුතේ, කඩේට ගිහින් බිස්කට් අරන් එන්න. පුතේ, කඩේට ගිහින් බුලත් විට ගේන්න. පුතේ, කඩේට ගිහින් ගිනි පෙට්ටියක් ගේනන. පුතේ, කඩේට ගිහින්............පුතේ, කඩේට ගිහින්.........
ඒ වගේමයි ගෙදර යාමත්.
පුතේ උදලු මදි වගේ, එකක් මඩුවෙ තිබුණා. අරන් එන්න. පුතේ උදේ අපි දාලා ආව කුළු දෙක ගේන්න වෙයි වගේ. අර අනිත් දැති ගොයියාවයි, බෝලත්තයි අරන් එන්නකෝ ගෙදර ගිහින්. ඊට අමතරව අම්මත් එක්ක තේ ගේන්නත් කෑම ගේන්නත් ගෙදර යන්න සිද්ධ වුණා.
මේං මේ විදිහට දවසකට දහ දොළොස් වතාවක් කඩේ යෑම්, ගෙදර යෑම් සිද්ධ වුණා. ඒක එදත් අදත් කුඹුරු වැඩ කරද්දී මට පැවරෙන අති උත්තම භාරදූර කාර්යයක්. මං දන්න ළඟම කඩේ තමයි අපේ ගෙදර ළඟ කඩේ. ඉතින් ගෙදර ගියත් කඩේ ගියත් ඒ තරම් වෙනසක් නෑ. බලන් ගියහම මං වැඩිපුර කරල තියෙන්නේ, වැඩට උදව් වෙනවාට වඩා ඇවිදින එකද කොහෙද, හිහ්......

දැන් ඔන්න අස්වනු නෙලීමේ කාලය. මෙච්චර දවස් ඇස් දෙක වගේ පරිස්සන් කරපු ගොයම් පැළෙන් අස්වනු ගෙට ගන්නයි තියෙන්නේ. මුලින්ම කමත සකස් කරගන්න ඕනේ. ඒ  වැඩේට සුදුසු රවුම් හැඩේ ලියද්දක් තෝරගෙන ගොයම් ටික කපලා තාවකාලික තැනක ගබඩා කරගන්න ඕනි. අපේ කුඹුරේ තේ බොන්න, කෑම වර්ග පරිස්සම් කරලා අරන් තියන්න පොඩි පැලක් හදනවා තාවකාලිකව. මේ කාලෙට තාත්තා නම් ඒ කපපු ගොයම් ටික අර අටෝගත්තු පැලෙන් අරන් තියනවා. ඉන්පස්සේ මේ කමත කපන්න අදහස් කරන ලියද්ද හොඳට සුද්ධ කරල ඉපනැලි කොටස් ඉවත් කරනවා.  රවුමට ලස්සනට කමත සකස් කරනවා. කමත වටේ අඩියක් විතර උසට ගොඩැල්ලක් හදන්න ඕනි. බිම ගානට ලස්සනට එක මට්ටමකට හදන්න ගොවි මහත්තයාගේ අත්දැකීම් උදව් වෙනවා. මැටියි ගොමයි වතුර එක්ක මිශ්‍ර කරල ලස්සනට කමත පුරා ගාන්න ඕනේ. මැටි පොළවක් තියෙන ගෙවල් වල ගොම මැටි ගාන විදිහටම ලස්සනට කමත හදාගන්න ඕනි. මේ විදිහට හදාගත්ත කමත අව්වට වේලෙන්න ඕනි. අපේ කුඹුරේ කමත හදන ලොකු රවුම් ලියැද්ද කවදාවත් සම්පූර්ණයෙන් වේලෙන්නේ නෑ. ඒ ලියද්දට වතුර උනනවා. ඉතින් හැමදාම හරිම කරදරයි.



කමත වේලුනාම ගොයම් කපනවා. ඒ වැඩේටත් ගොයම් හැදිල්ල වගේම තමයි. උදව්වට, අත්තමට ගොඩක් කට්ටිය එකතු වෙනවා. සමහරු ගොයම් කපන දෑ කැති අරන් එනවා. නැත්තන් වෙන එක්කෙනෙක්ට මහන්සි වෙනකන් බලන් ඉන්න වෙනවා දෑකැත්තක් ඉල්ලගන්න. දෑකැත්ත හරිම විසයි. පිහියට කැපුනා වගේ නෙවෙයි දෑ කැත්තට කැපුනම හුඟක් රිදෙනවා. ඒ වගේමයි තුවාලේ ඉක්මනින් හොඳ වෙන්නේත් නෑ. ඒ නිසා දෑකැත්ත එක්ක වැඩ කරද්දී පරිස්සම් වෙන්න ඕනි. මේ විදිහට කපන ගොයම් කමතට ගේන්නේ ගොයම් පැදුරේ ආධාරයෙන්. ගොයම් පැදුර කියන්නේ ගෝනි දෙකක් එකට තියලා මහලා හදන පැදුරක්. මුලින් ගොයම් ලණුව එලනවා, දෙපොටක් වැටෙන්න. ඊට උඩින් ගොයම් පැදුර එලනවා. පැදුර උඩින් කපපු ගොයම් ටික පිලිවෙලට අහුරනවා. පස්සේ අර ලණු දෙපොටෙන් ගැටයක් දානවා. එක කොනකින් ඇද්දම ඉක්මනින් ලිහිලා යන විදිහට. ගොයම් පැදුර නිසා වී කරලෙන් වී ඇට බිමට වැටෙන එක අඩු වෙනවා. ඉහතින් දැක්වෙන රූපයේ ගොයම් පැදුර භාවිතා කරල ගොයම් මිටි බඳින විදිහ දැක්වෙනවා. මේ විදිහට කමතට ගේන ගොයම් කමතේ එක පැත්තක රවුමට අහුරගන්න ඕනි. ඒකට කියන්නේ කොළ ගෙඩිය හදනවා කියලා. කන්දක් වගේ ගොයම් ගෙඩිය හදල ඉවර වුණාම මාර ලස්සයි. සමහරු කොළ ගෙඩිය හදන්නේ කමතින් පිට තැනක. පහතින් තියෙන රූපයෙන් දැක්වෙන්නේ කොළ ගෙඩිය හදන අවස්ථාවක දර්ශනයක්.


ඊළඟට තියෙන්නේ ගොයම් මැඩවීම. කොළ මඩිනවා කියන්නෙත් මේ වැඩේටම තමයි. ලොකු වෙල් යායවල් තියෙන පැති වල මේ වැඩේට දැන් ලොකු යන්ත්‍ර සූත්‍ර භාවිතා කළාට ඉස්සර මේ වැඩේට මී හරක් තමයි උදව් කරගත්තේ. අපේ පැත්තේ මේ මෑතක් වෙනකල්ම මී හරක්ගේ උදව් ගත්තා. ඒත් දැන් දැන් ඒ වැඩේටත් කුරුමිණියගේ සහය පතනවා. හැමෝටම කුරුමිණියා මතක ඇති කියලා හිතනවා. ( කුරුමිණියා කියන්නේ කුඹුර හාන මඩ කරන වැඩ වලට භාවිතා කරන යන්ත්‍රයකට අපේ ගමේ උදවිය දාලා තියෙන අන්වර්ථ නාමයක්. කලින් පෝස්ට් වල මං ඒ ගැන සඳහන් කරල තියෙනවා. මතක නැත්තන් සමාවෙලා පොඩ්ඩක් බලන්න හොඳේ.)

කොළ මඩවන දවසේ පාන්දරම ඇවිත් මුලින්ම ගොයම් අහුරක් අරගෙන කමත මැද තැන්පත් කරනවා. ඒ ගොයම් අහුරට කියන්නේ උප්පිට කියලා. ඊට පස්සේ කොළ ගෙඩියෙන් ගොයම් අරන් කමත මැදට දා ගන්නවා. මේ වැඩේට භාවිතා කරන උපකරණය තමයි දැත්ත. දැතිගොයියාව කියලා කියන්නෙත් මේකටම තමා. පුරුදුකාරයෙක්ට නම් දැතිගොයියාව හසුරුවන එක එච්චර අමාරු වෙන්නෑ. කාන්තා පාර්ශවේ උදවිය කමතේ වැඩ වලට දායක වෙන්නේ බොහොම අඩුවෙන්. දැතිගොයියාවෙන් නම් වැඩ කරන්නේම නැති තරම්. ඊළඟට මී හරක් බානක් එකට ඈඳලා ගොයම් පාගනවා. සමහර පැති වල මී හරක් දෙබානක්, ඒ කියන්නේ හතර දෙනෙක් එකට ඈඳලත් ගොයම පාගනවා. අපේ පැත්තේ කමත එච්චර ලොකුවට හදන්න අමාරුයි. ලියදි පුංචි නිසා. ඊළඟට ඉතින් පැය හය හතක් ගොයම් පෑගිල්ල තමයි.  මේ වැඩේදි විටින් විට ගොයම් කොලේ පැත්තට කරල, වැටිල තියෙන වී ගෝනි වලට පුරවලා පැත්තකය කරනවා. ආයෙමත් ගොයම් කොලේ මැදට දාල පාගනවා. මේ වැඩේටත් පාවිච්චි කරන්නේ දැති ගොයියාව තමයි. ගොයම් පඳුරෙන් වී ඇට බහුතරයක් බිමට වැටුනට පස්සේ ගොයම් පෑගිල්ල, එහෙමත් නැත්තන් කොළ මැඩවීම නතර කරනවා.

මඩවද්දි මී හරක් පිටිපස්සේ යන්න අපි මාර ආසයි. ඉතින් මාමාගෙන් හරි තාත්තාගෙන් හරි කෙවිටක් ඉල්ලන් හරක් පස්සේ යනවා. උන් ඉතින් පුරුද්දට ගොයම් කොලේ වටේ රවුමට යනවා.  ඒත් උන්ට තේරුනොත් පිටිපස්සේ ඉන්න එකා මං වගේ ඩෑල් එකක් කියලා, ඊළඟට උන් යන්නේ උන්ට ඕනි විදිහට. ඉතින් අපේ ආසාව සුන් කරල බාප්පා හරි මාමා හරි ලොකු අයිය කෙනෙක් හරි මගේ අතින් කෙවිට උදුරගන්නවා. හරක් පිටිපස්සේ යන එක එපාම වෙන තවත් අවස්ථාවක් තියෙනවා. කට්ටිය දන්නවා ඇති කියල හිතනවා. එක්කෝ ඔන්නොහේ මං ම කියන්නම්. මී හරක් කියන්නෙත් ඉතින් සත්තු ජාතියක්නේ. උන් උන්ගේ ජෛවීය අවශ්‍යතා ඉටු කරන වෙලාවට කෙවිට අරන් පිටිපස්සෙන් යන එකා උන්ට සහයෝගය දක්වන්න ඕනි. ඒ කියන්නේ සරලවම කීවොත් මී හරක් ගොම්පස් දාන වෙලාවට ගොයම් කොලේ හැම තැනම විසිවෙන්නැති විදිහට ගොයම් කොළ අහුරක් අරන් ඒවා අයින් කරලා දාන්න ඕනි. ඕං ඔය වැඩේත් මහ එපා කරපු වැඩක්. හිච්චි ඈයෝ ඇඟ පුරා ගොම්පස් ගාගනියි කියලා ඇතිවන සැකය හේතුවෙන් ආයෙමත් වැඩිහිටියෙක් කමතේ වැඩ වලට එන්ටර් වෙනවා.  ඒ කියන්නේ ආයෙමත් කෙවිට අපේ අතෙන් ගිලිහිලා යනවා. හිහ්...

ගොයම් මඩවන වෙලාවලට මහ වාත ජොබක් සෙට් වෙනවා. කෙවිටේ හිමිකාරීත්වයක් නැත්තන් දඟල දඟල ඉන්න හිච්චි ඈයොන්ට වගේම කාන්තාවන්ට පැවරෙන රාජකාරිය තමයි මුළු කුඹුරෙම ඇවිදලා බිම වැටිලා තියෙන ගොයම් කරල් ඇහිදින එක.  මං ආසම නෑ. අපේ ලොකු අම්මලා නැන්දලා නම් ඒ වැඩේ බොහොම කැමැත්තෙන් ඉෂ්ඨ කරනවා. ගොයම් කපලා ඉවර වුනාට පස්සේ කුඹුරෙ ඇවිදින කොට ඉපනැලි කකුලේ වැදිලා ඇහෙන සද්දේ අහන්න මං ආසයි. ඔය සද්දේ අහන්න ඕනි නිසාම මං අර ජොබ් එකට කැමැත්තෙන් දායක වෙනවා ටිකක් කොයිල් වගේ නේහ්, හිහ්... මං නේ ඉතිං..

            ඉතිරි කොටහ ඊළඟ පෝස්ටුවෙන් ගේන්නම්. එතෙක් ඔබට ජය !!!


ප.ලි.    - කාලය කළමණාකරගැනීම පිළිබඳව ඇති මාගේ දුර්වලතාවය හේතුවෙන් ඇතිවූ ප්‍රමාදයට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. කස්ටිය සමා වෙන්ඩොනේ, තව.....සොරි හොඳේ.