Monday, December 28, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා !!!



අවුරුද්දක් ඉවරවෙලා තවත් අවුරුද්දක් ලබනවා. අපි හැමෝම 2015 ට සමුදීලා 2016 වසර ආදරයෙන් පිළිගන්න බලාගෙන ඉන්නවා.  ඒ වගේම ලබන අවුරුද්දේ අළුත් වැඩ අළුත් අරමුණු එක්ක ඉස්සරහට යන්න බලාගෙන ඉන්නවා. 2015 අවුරුද්දෙදී කරගන්න අතපසු වෙච්චි වැඩත් කොහොමහරි ඉවර කරගන්න හිතේ තියාගෙන අපි හැමෝම 2016 අළුත් අවුරුද්දට පය තියනවා.

ඒත් 2014 අවුරුද්ද අවසන් වෙද්දී, ඒ කියන්නේ 2015 ලබද්දී මට ඒ වගේ අරමුණු තිබුණේ නෑ. දියතලාවේ තිබුණු අවුරුද්දක ට්‍රේනින් එක ඉවර වුනේ 2015 පෙබරවාරි මාසයේ. ඉන්පස්සේ මං සේවය සඳහා යැවුණේ බදුල්ලට. සේවයක් ලබාගන්නත් බොහොම අඩුවෙන් රාජ්‍ය ආයතන වලට ගොඩවෙලා තිබුණු මට, රාජ්‍ය ආයතනයක රාජකාරියක නිරත වෙන්න සිදුවුණා.

හැමතිස්සෙම උදව්වට ඉන්න සුරංග අයියත් රත්නායක අයියත්, හැමදේම හෙමින් කියල දුන්නා. ඔෆීසියේ මැඩම් වගේම ටීඒඕ මිසුත් මට අතපසු වෙන හැම පුංචිදේම මතක් කරල දුන්නා. ඔෆිස් එකේ අනිත් හැමදෙනාම ආධුනික මගේ අතින් සිද්ධවුණු අතපසුවීම් මැදහත් සිතින් දරාගෙන ( මට පෙනුනේ නම් ඒ විදිහට. බැන්නද දන්නෙත් නෑ. ) මට උදව් වුණා.

ලයිසන් මේනියාව කලින් ඉඳන්ම තිබුණත් ප්‍රතිපාදන සපයා ගැනීමේ දුෂ්කරතා වගේම කාලය සොයා ගැනීමේ දුෂ්කරතාව නිසා ඒ වැඩේ ටිකින් ටික කල්ගියා. ලර්නර්ස් එකේ අයියට ඩ්‍රයිවින් උගන්නන්න එපා කරලාඅන්තිමේදී මාත් ලයිසන් එක ගත්තා. ඒත් බයික් ට්‍රේනින් නම් මග නතර වුණා. තාත්තගේ පිහිටෙන්යන්තන් ස්කූරයක් පැදගන්න පුළුවන් වුණත් ඒක සාර්ථක නෑ මං හිතන්නේ.

විශේෂම දේ තමයි, මං දැනං හිටියේම නැති දෙයක් සුරංග අයියාගේ උදව්වෙන් දැනගත්තා. ඒ තමයි බ්ලොග්. සයිබරේ වැඩිය හුරුපුරුදු කෙනෙක් නොවුණු මට, බ්ලොග් සම්බන්ධ හැමදේම කියල දුන්නේ සුරංග අයියා. සඳරුගේ හිස් අහස කියෝලා පටන්ගත්ත බ්ලොග් කියවිල්ල, මේ වෙද්දී සෑහෙන ව්‍යාප්ත වෙලා. ඒ වගේම සුරංග අයියගේ උපදෙස් අනුව මාත් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තා. ලියනවට වඩා කියවන්න කැමතියි මං. ලියන්න කම්මැලියි.  බ්ලොග් පෝස්ට් වලට කොමෙන්ටු කොටන්නත් කම්මැලියි. ලබන අවුරුද්දේ ඒ ඔක්කොම අඩුපාඩුටික හදාගන්න හිතන් ඉන්නවා.

මම කිසිම අරමුණකින් තොරව පටන්ගත්ත 2015 සාර්ථක විදිහට අවසන් කරන්න පුළුවන් වුණා කියලා හිතෙනවා.  ඒත් 2015 අවුරුද්ද පටන්ගත්තා වගේ නෙවෙයි, 2016 අවුරුද්ද පටන් ගනිද්දිම අරමුණු ගොඩක් තියෙනවා මට. ඒවගෙන් කිහිපයක් හරි සාර්ථක කරගන්න මං බලාපොරොත්තු වෙනවා. මට වගේම ඔයාටත් ලබන අළුත් අවුරුද්දෙදි අළුත් අරමුණු බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඉතිං ඒ බලාපොරොත්තු හැම එකක්ම ඉටු වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කිසිම අරමුණක් නැතිවම ලබන අවුරුද්දට පියනගන ඔයාටත් අළුත් අවුරුද්ද සාර්ථක වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා.


තිං හැමෝටම ජය වේවා !!!



Sunday, November 22, 2015

කතාවක අඩක්




හැමදාමත් වගේ එදත් විනීතා පාර බැලුවේ, සුගත් පරක්කු මොකද කියලා. උදේ පාන්දර කඩේ දොර අරිද්දිම බිම තිබුණු පුංචි කඩදාසි කෑල්ලේ සටහන් වෙලා තිබුණු වෙලාව ළං වුණු නිසා ඇගේ හිතට අමුත්තක් දැනෙමින් තිබුණා. සුගත් එනකන් හිටියොත් කඩේ ලෑලි පියන් ටික වහගන්න වෙන්නෑ. අනේ මන්ද මහ කරුම ජීවිත.

ජිමියෝ දුප් අහකට

හිතේ තිබුණු නොපහන්කම මේ වෙනකන් කඩේ ඉස්සරහා ගෝනි පඩංගුවක් උඩ වැතිරිලා හිටිය කණාටු බල්ලගෙන් පිරිමහගන්න වගේ ඈ කෑගෑවා.

මේ මල්ලි මොකවත් ගන්න නෙවයිනේ ආවේ ??? මං මේ......... කඩේ වහන්නෙයි කියලා.

මඳ හිනාවකින් විනීතාට සංග්‍රහ කළ අමුත්තා, අයෙම ඉස්සරහ බලා ගත්තා.

නමක් ගමක් නොදන්න මේ අමුත්තගෙන් උදව් ඉල්ලලත් බෑ නැතුවත් බෑ. මේ තරම් වෙලා ඉස්සරහ බංකුව උඩ වාඩිවෙලා කිසිම කතා බහක් නැතිව හිටියට යස ඉලන්දාරියා.

අනේ මල්ලියේ මෙන්න මේ දොර ලෑලිටික අටෝලා දෙන්නකෝ.

ඔහු උන් තැනින් නැගිටලා ඈට සහයදුන්නා.

බලන්නකෝ මල්ලී අපේ මේ සුගත් තාම නෑනේ. මල්ලිට සිගරට් එකක්වත්............

මොකවත්ම නොකියා ඉන්න නුහුරු නිසා ඈ තනියම කියෙව්වා. එකපාරම අමුත්තතා ගැස්සිලා බැලුවා.

එතකොට මේ සුගත් අයියගේ කඩේද ???

මල්ලි අපේ සුගත්ව දන්නවද?




                                                                  **********




කෑම කාලම ඉඳිමු. මල්ලිට මහන්සි ඇතිනේ හුඟක්.

විනීතා කෑම ටික මේසෙට අරින්නකෝ.

ඔන්නොහේ පිඟානට බෙදන්න අක්කේ. කළුවර වෙන්න කළින් ලාම්පුව නිවන්නත් ඕනිනේ.

විනීතා නිශ්ශබ්දවම කුස්සිය පැත්තට ඇදුනේ මල්ලි මතක් කරපු කාරණාව ඔළුවෙ තියාගෙනමයි. රස්සාවට කියල ඇවිත් විනීතලාගේ මහ ගෙදර බෝඩිං වෙච්චි සුගත් කාලෙකින් පස්සේ විනීතගේ අයිතිකාරය වුනේ, සුගත්ගෙ අම්මලාගෙත් විනීතලාගේ අම්මලාගෙත් අමනාපය මැද්දේ. දෙන්න දෙමාල්ලන්ගේ උත්සහය නිසා හුරුබුහුටි ගේ පොඩ්ඩකුත්, ඒකටම ඈඳුනු කඩ කැල්ලකුත් හදාගත්තා. අඟහිඟකම් නැතිවම නොවුණත් දෙන්න එක්ක සතුටින් හිටියා.

කොහේ දකින්නද සහෝදර සහෝදරියෝ.................

හිතට ආව ඒ සිතිවිල්ල එක්කම  අම්මගේ මූණ මතක් වුණු විනීතගේ ඇහැට කඳුළක් නැගුනා. පොඩි එකා එක්කම යනවා. අප්පච්චිට තරහ යන්නේ නැති වෙයි එතකොට.

විනීතා............ මාත් එන්නද උදව්වට? පරක්කු මොකද?

නෑ අනේ, මේ හරි. මල්ලිවත් එක්ක එන්න කන්න.


*************


            මං ගෙදරින් එද්දී උඹට පහළොවක් විතර. දැං අවුරුදු නං කීයක් ද, ඉතිං මල්ලියෙ උඔට පේනවානේ අපිනම් ඔහේ ඉන්නවා. අම්මලා එහෙම ‍කොහොමද, තාමත් මට බනිනවාද? නංගිගේ ලියුං කරදහිවල ඕවා නෑනේ. ඒකි ඉතිං හැමදාම කියන්නේ ගෙදර වරෙන් ලොකු අයියේ කියලා. මොනා කරන්නද මන්ද බං. විනීතා තනියම දාල එන්න බෑනේ. උඹ මොකෝ නංගිව එක්ක ආවෙ නැත්තේ ?

              ලාවට සැලෙන පහන් දැල්ල දිහා බලාගෙන සුගත් හෙමීට මිමිණුවා. අයිය-මලෝගේ කථාබහට මුහුවෙන්න ඕනි වුණත් දැන් දැන් ටික ටික දැනෙන කොන්දෙ ඇවිලිල්ල නිසා විනීතා හෙමින්ම ඇවිත් ඇඳට ගොඩවුණා. ඉස්සරහ කාමරේ දෙන්නගේ කථාබහ අඳුර අතරින් ඇදිල ඇවිත් විනීතාගේ දෙසවන් ඇතුළට වැදුනා.

              අඩ අඳුර සුගත්ගෙත් නිමල්ගෙත් හෙවනැලි ගඩොල් බිත්තිය මත සිතුවම් සටහන් කරල තිබුණා. පළඟැටියෝ දෙන්නෙක් පහන් දැල්ල වටේ කැරකෙනවා. තව ටිකකින් ඒ ජීවිතෙත්........... මෙච්චර වෙලා හෙවනැලි දිහා බලාගෙන භාවනා කරපු නිමල් නැගිටලා ගිහින් පහන් තිරේ තෙල් වල ඔබලා නිවලා දැම්මා.

              පාර පැත්තෙන් ඇහුණු අඩි සද්දේ දෙන්නවම මොහොතකට නිහඬ කලා. තමන්ගේ හද ගැස්ම වැඩි වෙනවත් ඒ එක්කම කුසේ ඉන්න දරුව සෙලවෙනවත් එකවිටම වගේ විනීතට දැනුණා. නිමල්ගේ මූණ සුදුමැලි වෙලා. ඉටි රෙදි ගහපු ජනේලෙන් පෙරිලා ආව හඳ එළිය සුගත්ට මල්ලිගේ මූණ පෙන්නුම් කළා. එක අතකට සැනසිල්ලේ නිදාගන්නේ කවුද මේ දවස්වල, විනීතා නිදාගත්තේ හොඳ වෙලාවට. සුගත්ගේ හිත තනියෙන්ම ලොකු කථාබහක් ඉවර කළා.

               ගෙදර කවුරුත් දන්නේ නෑ මං මෙහේ කියලා. පොඩ්ඩිගෙන් නිකමට වගේ ඉල්ලගෙන තිබුණු ඇඩ්රස් එක සාක්කුවකට දාගෙන ආවා. හැමෝම හොඳින් ඉන්නවා අයියේ. පුංචි එකා ඉපදුනාම ගෙදර ඇවිත් යන්න එන්න. මං මෙහේ ටික දවසක් ඉන්නම් අයියේ. මං ගාව වැඩිය මුකුත් නෑ. මේන් මෙච්චරයි තියෙන්නේ. මේ දවස්වල හදිස්සියක් උණොත්……………………. මේක තියාගන්න.

               තමන් සන්තකයේ තිබුණු මුදල් කොල ටික අයියගේ අත් දෙකේ ගුලි කරපු නිමල් නිදා ගන්න ඇඳට ගොඩ වුණා.

               පිස්සුද මල්ලී මේ මොනවද, කැමති කාලයක් මෙහෙට වෙලා ඉන්න. මේව ඕනේ නෑ.......

               වේගෙන් ආව වාහනයක් කඩේ ඉස්සරහ තදින් බ්රේක් පාරක් ගැහුවේ නිමල්ගේ හිත කීරිගස්සමින්. මල්ලිගේ උරහිසට අත තියල, තමන්ගේ පසුපසින් එන්න කියල හිසින් සන් කරන ගමන්ම සුගත් සාලේ පැත්තට ගියා.

               මෙච්චරවෙලා ගැහෙන හදින් බලාපොරොත්තුවුණු දොරට ගහන සද්දේ ඇහෙන්න ගත්තම සුගත් හෙමින් දොර දිහාට ඇදුණා.  අඩ නින්දේ ඇඳට වෙලා හිටිය විනීතාත් සද්දෙට නැගිටලා ඇවිත්  සුගත්ගේ සුරතේ එල්ලුණා.

               “අනේ............ සුගත් , කවදාවත් නැතිව, කවුද දන්නෑ අනේ මේ මහ රෑ........

‍‍               දොරට ගහන සද්දේ එන්න එන්නම වැඩි වෙනවා. බිරාන්තවෙලා හිටි විනීතගේ මූණ දැක්කම නිමල්ටත් දුක හිතුණා. සුගත් ‍‍‍‍‍හෙමින්ම විනීතව ල තිබුණු පුටුවක වාඩි‍කෙරෙව්වේ ඈට තව කොච්චර දවසක් මේ කරදරවලට මූණ දෙන්න පුළුවන් වෙයිද කියල හිත හිතා.

               ලද ඇසිල්ලෙන් දොර ගාවට පැන්න නිමල් එකපාරම දොර ඇරියේ විනීතටවත් සුගත්ටවත් කිසිම දෙයක් හිතන්න ඉතිරි නොකර. ඇතුලට වැටිච්ච සැර ටෝච් එළියෙන් තුන්දෙනාගෙම ඇස් නිලංකාර වුණා.

               උඹ .......... උඹව තමයි අපි හෙව්වේ........

               ඇරුණු දොරෙන් ඇතුලට ආව අයෝමය හස්තයක් නිමල්ගේ කමිස කර තදින් ග්‍රහණය කර ගත්තේ ආයෙමත් අතාරින්න අදහසක් ඇතිව නෙවෙයි වගේ.  

               “මෙච්චර දුරක් අපිව ගෙනාවට දැන් ඉතිං වන්දි ගෙවපන්............

               වියරු හිනාවක් තමන්ගේ වටේ දෝංකාර දෙනවා විනීතට දැනුණා. පරැලක් වගේ එළියට ඇදිල ගිය නිමල්ගේ පිටිපස්සේ සුගත් වියරුවේශයෙන් දුවගෙන ගියා. අත් සතරකින් ඔහුව නවත්තගත්තේ, දොර ඉස්සරහ පිල්කඩ උඩදිමයි.

               නිශ්ශබ්දවම අවසන් ගමන් යන නිමල්ව දැක්ක සුගත්ට කියාගන්න පුළුවන් වුනේ,

මගේ බුදු මල්ලියේ.................කියල විතරමයි.

               වෙඩි සද්දෙට කඩිමුඩියේ එළියට බැස්ස විනීතගේ පය පැකිලිලා ඈ ඇද වැටුණෙත් සුගත්ට තමුන්ගේ මල්ලි ළඟට යන්න පුළුවන් වුණෙත් එක සැරේටම වගේ.

               “කවදහරි උඹටත් මේ ටිකම තමයි.

               නිවුණු හඬකින් කවුදෝ හෙමින් කියනවා සුගත්ට ඇහුණු-නෑහුණු ගානයි.

               මිය යමින් හිටි තමුන්ගේ එක්කුස උපන් මල්ලීව බදාගෙන වැලපෙමින් ඉන්න අයියෙකුත්, නැගිටගන්න බැරිව තමුන්ගේම මිදුලේ අසරණව වැටිලා ඉන්න අම්ම කෙනෙකුත්, ලාවට වැටිල තිබුණු  හඳ එළියෙන් පැහැදිළිව දැක්ක ජීප් එක පිටිපස්සෙම උන්නු කෙනා තමුන්ගේ ඇහැට නැගුණු කඳුළක් පිටි අල්ලෙන් පිහදා ගත්තා.
              

         
ප.ලි.  -  මේ කතාවට නමක් නැතිව ලත වෙවී උන්නු මට , නමක් හොයල දුන්නු සුරංග අයියට   බොහෝම ස්තූතියි. ඔයාට හිතෙන දේ ලියල ගියොත් ඒක මට ලොකු හයියක් වෙයි. ආයෙමත් එන්න.
              




Sunday, November 15, 2015

සත 25 ( ඇගේ මතක - I )

මිස් රුපියල් පහක් තියෙනවානම් දෙන්න.

කොන්දොස්තරට දෙන්න රුපියල් පහක් හොයද්දී පර්ස් එකේ අස්සක හිරවෙලා තිබුණු සත 25 කාසියක් එළියට ආවා.

5 ක් නෑනේ..........

කොන්දොස්තරට එහෙම කියලා මං වීදුරුවෙන් එහා පැත්ත බලාගත්තේ, මං බස් එකෙන් බහිනකල්ම ඉතිරි සල්ලි දෙන්න කොන්දොස්තරට අමතක වෙන බව දන්න නිසා.

ආයෙමත් පර්ස් එකේ හිරවුණු පුංචි සත 25 , නොමැකෙන විදිහට හදවතේ හීනි රිදුමක් ඉතිරි කළා.



මැට්ටි.

මගේ මෝඩ කථාවට දෙන්න පුළුවන් සරලම, දඟකාරම තීරණය එයා කෙටි පණිවිඩයකට ගොනු කරල තත්පර දෙකේ නිමේශයකදී මට යොමු කරලා කිබුණා.

එන්න එපා මට මැට්ටි කියන්න. සත 25ක නඩුවක් දානවා මං, හරිද...........

හීනියට දැනුණු තරහත් මුහු කරලා මං පිළිතුර මැසේජ් කලා.

අනේ එහෙම කරන්න එපා සුදූ. මං ඔයාට රුපියලක පගාවක් දෙන්නම්.

ම්................. එහෙනම් පොඩ්ඩක් සලකලා බලන්නම්කෝ

එයාගේ මූණේ මේ වෙලාවට ඇඳිලා තියෙන දඟ හිනාව මතක් වුණ නිසාම මගේ මූණේ ඇඳුණු හිනා රැල්ලත් එක්කම මං උත්තරේ යැව්වා.



සතියකට විතර කලින් දවසක හැන්දෑවේ, පුංචි රණ්ඩුවක් නිමවුණු හැටි සිතුවිලි තරංගයක් ඔස්සේමගේ හිතට ගලාගෙන ආවා.


මගේ අතීතේ ගැන මටම දැනුණු ඉරිසියාවක්දෝ මන්ද,  බර හුස්මක් වෙලා ටිකක් සද්දෙට එළියට පැන්නා.බස් එකේ වේගෙට පැරදිලා පහු බැහැල වගේ වා තලේට මුහු වෙලා ඒ සුසුම ඈතට පාවෙලා ගියා.

Thursday, October 29, 2015

ආයෙමත් එන්න

ජීවිතේ හැමදාමත්
පුරුදු විදිහට අකුරු කරන්නට
කියා දෙන්න
ඇවිත් යන්න
ඉස්සර වගේම
බලන් ඉන්නවා
පොප්ලර්ස් ගස් පාමුලට වෙලා

මං

අල්තීනායි




Sunday, October 25, 2015

වැස්ස එක්ක විරිඳු

හැමදාමත් ගත දවටන් ඉන්න, අහස් නිල් පාට වගේම වළාකුළේ සුදු පාටිනුත් රටා වැටුණු  කොළ පාට දුහුළු සළුව උනා දාල, මේ දවස්වල බදුළු ඔය බොහොම ඝණකම් දුඹුරු පාට සළුවක් පොරෝගෙන. බදුළු ඔයටත් හීතලයි ද කොහෙද. මෙච්චර දවසක් පුලින තලා මතු කරමින් හීන්සීරුවට ලතාවට ගලාගෙන ගිය ඔය, වැටිච්ච තද වැස්සත් එක්ක බොහෝම චණ්ඩ වෙලා දෙපැත්තේම ඉවුරු වලට ඔරවමින් ගලා බහිනවා. බදුළු ඔයේ චණ්ඩිකමට පැරදෙන්න බෑ කියන්න ඕනේ වගේ බස් ඩ්‍රයිවර්තුමාලත් ඇක්සලේටරේ තදින්ම පාගනවා. අපි ඉතිං ඇඟේ ලේ වතුර වෙන තරමටම බය වුණාම බස් ගමන හමාර වෙනවා.  ඒ එක්කම මං හිතින් පිං දෙනවා, මේ මහා වැස්සෙත් ඉක්මනට පරිස්සමට අපිව ගෙනත් බැස්සුවට.

බදුල්ලේ වැස්සට  වඩා බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව පැත්තේ වැස්ස සුන්දරයි. යන්තමින් ගලා එන මීදුමත් එක්ක පොද වැස්සක් එන වෙලාවට හිතට අමුතුම නැවුම්බවක් දැනෙනවා. ඒ වෙලාවට හොඳට පොරෝගෙන කතා පොතක් කියවන ගමන් කෝපි කෝප්පයක් තොලගාන්නත්; අයිස් ක්‍රීම් එකක් කකා තෙමි තෙමී යන්නත් මං එකවගේ කැමතියි.

ඒ මොනා වුණත් බදුල්ලට වහින වෙලාවට මං කැමතියි. ඒ මොකද කීවොත්,

1.මං වැස්සට හුඟක් කැමති නිසා
2.ඒ වෙනකන්ම දාඩිය ගලා එන තරමටම වටපිටාවේ තියෙන උණුහුම අඩු වෙන නිසා

ඔෆිස් ඇරෙන වෙලාවට වැස්සොත් අනිවා මම තෙමෙනවා. සාරියත් පටලවගෙන ඉන්න වෙලාවක තෙමුනොත් හරිම අවුල්. පහුගිය සිකුරාදා හවසත් තදින් වැස්ස පටන්ගන්න කළින් බස් එකකට ගොඩවෙන එක අරමුණු කරගෙන මං ඉක්මන් ගමනින් බස් නැවතුම්පොළ පැත්තට ආවා. අතරමගදි මුණගැහුණු බස් එකට නැගලා, ටිකට් එකකුත් ගත්තා.  බදුල්ල රෝහල ළඟදී  බස් එකට ගොඩවුනේ බොහොම පිළිවෙලය ඇඳගත්ත පුංචි අත් රබානක් ගත් පුද්ගලයෙක්. එතුමා බොහොම වැදගත් විදිහට අපෙන් අවසර අරගත්තේ විරිඳු ගායනයක් ඉදිරිපත් කරලා අපේ වෙහෙස නිවන්න. කාර්යාල, පුංචි ළමයින්ගේ අමතර පන්ති අවසන් වන ඒ තදබද වෙලාවේ මේ පුද්ගලයා කරදරයක් කියල මට හිතුනා. ඒ වගේ ම බොහොම රළු පරළු කටහඬක් තිබුණු එයාගේ විරිඳු අහන්න මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ ඒ වෙලාවේ.

ඒත් ඉතින් ඒ අවස්ථාවට විරුද්ධ වෙන්න කිසිම වුවමනාවක් මට තිබුනෙත් නෑ. ඔන්නොහෙ මට මොකෝ, ඕනි එකක්. එයා විරිඳු ගායනය පටන්ගත්තා. බොහොම රළු කටහඬකින් එයා දෙමව්පියන්ගේ ගුණ ගායනා කරනවා.  ඍණාත්මක මනසකින් මං ගායනයට ඇහුන්කන් දෙන්න පටන්ගත්තත්, ගායනය අවසාන වෙන වෙලාව වෙද්දි මං සම්පූර්ණයෙන්ම ඒ ගායනයට දැහැන්ගත වෙලා. ඒ පද පේලි එකක්වත් මතක තියාගන්න මට බැරිවුණත් මගේ ඇහැට කඳුලක් නංවන්න ඒ පද පේළි සමත්වුනා කියල මට දැනුනා.  විනාඩි දහයක් විතර සොඳුරු ගායනයක් ඉදිරිපත් කළ ඒ පුද්ගලයාට මගේ හිතේ තිබුණු අප්‍රසාදය, ප්‍රසාදයක් බවට පත් කර ගන්න පුළුවන් වුණා. විඩාවෙන් බර වෙලා තිබුණු බොහොමයක් මුහුණු  උද්යෝගයෙන් පුරවන්නට වගේම සීතලට ගල් වෙලා තිබුණු හිත් මොහොතකට උණුසුම් කරන්න ඒ පුද්ගලයාට පුළුවන් වුණා. ඉතිං එදා හැන්දාවේ අපේ හිතට සහනයක් ගෙනාව ඔබතුමාට බොහොම ස්තූතියි.


Sunday, September 20, 2015

වැස්සට යටින් ඉර පායලා

අද හවස
වැස්සට යටින්
ඉර පායලා
හැමෝම පාට පාට කුඩ ඉහළලා


නරියගේ මඟුල් ගෙදර අදද කොහෙද
මෙහෙට වැස්ස ටිකක් එවනවද?
අවිව නම් තියෙනවා ඇති තරම්


චුට්ටම චුට්ටක් එවන්නම් ඕනිමනම්
අපටත් ටිකයි තියෙන්නේ
මේ වැහි බිංදු සෑහෙන වටිනවා
වතුර නෙවෙයි මේ වහින්නේ


එහෙනම්


මැණික් කැට


ඒ කීවෙ?


 ටිකක් හොඳට බලන්නකෝ
ඉර එළිය වැටිල ඒවා දිළිහෙන ලස්සන......









Sunday, August 23, 2015

පොඩි ඡන්ද කථාවක්

බලන්න නංගී, අපේ පෝස්ටර් වහලා. ඊට උඩින් උන්ගේ ඒවා ගහල. මොන මිනිස්සුද මන්ද මේ.......... බ්ලා ......................... බ්ලා................. බ්ලා ..........................

මං හවස්වෙලා ගෙදරට ගොඩවෙද්දිම කුස්සිය පැත්තෙන් ඇහුණු කථාබහ මොකද්ද බලන්න මහන්සිය අමතක කරල මං ඒ දිහාවට ගියා. ළඟ ගෙදරක ඇන්ටි කෙනෙක් අපේ කුස්සියටම ඇවිත් අම්මට විස්තරයක් කියනවා. ඒ ඇන්ටි එක පක්ෂෙක අපේක්ෂකයෙක්ට බැහැලම වැඩ. බැනර් ගහන්න, පෝස්ටර් ගහන්න, කැන්වසින් යන්න ඒ ඇන්ටිට වැඩ ගොඩයි. අඩුම තරමේ ගෙවල්මිදුල් අතුගාගන්නවත් වෙලාවක් නෑ. ඒ තරමටම ඉලෙක්ෂන් වැඩ.

            ඉතින් මං ඇවිත් තියෙන්නේ කවුද කියල කලින්ම අඳුනගත්ත නිසා ආපහු කාමරේ පැත්තට හැරුණා. අපේ අම්මා මේ වගේ කථා වලට වැඩි කැමැත්තක් නෑ. මං දන්නවා තව ටික වෙලාවක් යද්දී අපේ අම්මට යකා නගිනවා කියලා.  ටික වෙලාවකින් ඇන්ටි ගියා.

මොකද්ද අම්මා වෙලා තියෙන්නේ? ***********  ඇන්ටි ගියාද?

ඇති යන්තම් දැන් ගියා. බලන්න පුතේ මගේ වෙලාව පැයක් විතර ඉවර වුණා. මනාප පොරේ. බලන්නකෝ එක ම පක්ෂයක දෙන්නෙක් ගැන තමයි කිව්වේ. ******** ඇන්ටි වැඩ කරන xගේ පෝස්ටර් වලට උඩින් yගේ  අය පෝස්ටර් ගහලා. එයාට වෙන වැඩක් නැද්ද දන්නෑ ඔය චන්ද වැඩ වලිට අනිත් මිනිස්සු එක්ක රණ්ඩුවට යන්න. මට පහන තියන්නත් තියෙනවා.  ඔයා දැන් තේ බොනවාද?

එකම පක්ෂෙ නේද ඉතිං මේ දෙගොල්ලොම.

හ්ම්. මනාප පොරේනේ ඉතිං ඔය

මං නාන්න යනවා අම්මේ. දැන් තේ එපා. නාලා ඉවර වෙලා බොන්නම්.

හිත නිවාගෙන ගලාගෙන යන සීතල වතුරපාර ඇඟේ තිබුණු මහන්සිය බිංදුවක්වත් ඉතිරිනොකර දියකරලම දැම්මා.  ඉතින් මං නාලා ඉවර වෙලා තේ එකක් බිබී එළියට ආවා. ගලාගෙන ආව මඳ අඳුරත් එක්කලා සීතල හුළඟක් හමාගෙන ගියා. ඉර බැහැල නිසා එළියේ තිබුණු හැමදේම කළු පාට හෙවනැලි විදිහට පෙනුනා.

ගේ ඇතුළට එනවා හලෝ සීතලේ මොකද කරන්නේ?
 අපේ නගාතුමී මාව ගෙදරට ඇදන් ආවා. ඒ එක්කම පිරිත් හඬක් ලාවින් ඇහෙන්න පටන්ගෙන ටික ටික සද්දේ වැඩි වුණා.

කොහෙද අනේ ඔය පිරිත් සද්දයක් ඇහෙන්නේ?මං නංගිගෙන් ඇහුවා.

ඇයි ඔයා දන්නැද්ද, මේ සැරේ එග්සෑම් කරන අයියලා ටික  පිරිතක් සංවිධානය කරලා.  ඔයාට නම් සිහියක් නැද්ද ඔච්චරම. ඒ පිරිතට පිරිකර ගන්න කියලා අම්මලත් සල්ලි දුන්නේ. තාත්තත් ගියා කලින්ම.

ඔව් නේ, මට අමතක වුනා.

මෝඩ හිනාවක් දාල මං නංගිට කීවා.

එයා මතක් කරද්දී තමයි මට මතක් වුණේ අපේ ගමේ මේ සැරේ ඒ ලෙවල් එග්සෑම් කරන මල්ලිලා ටික  පිරිතක් සංවිධානය කරල තිබුණා. උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය නිසා අපේ ගමේ බහුතරයක් දෙනා හුඟක් අපහසුතාවලට ලක් වෙලා තිබුණා. නිවාස ඉරිතලලා, වගා බිම් විනාශ වෙලා, ළිං හිඳිලා. ඉතිං ගමට සෙත් පතලා තමයි මේ පිරිත සංවිධානය වෙලා තිබුණේ. මුළු ගමේම අය මේ මල්ලිලාගේ හොඳ කීවා. මේ පෝස්ට් එක දාන්න මං ප්‍රමාද වුනත් ඒඅය කරපු වැඩේ ගුණ සුවඳ හැමදාමත් තියේවි.

දැං ඡන්දෙ ඉවරයි. අනුන්ගේ ඡන්දයක් නිසා තමන් මෙච්චර දවසක් සහයෝගයෙන් ජීවත් වුණු ගමේ උදවියත් එක්ක රණ්ඩු වෙන්න යන එක මෝඩකමක් විදිහටයි මං දකින්නේ.

එකම දවසේ සිදුවුණු මේ සිදුවිම් දෙක ගැන හිතද්දී මට හිතෙන්නේ,

ලෝකය ගෝලාකාරයි.

මිනිස්සු විවිධාකාරයි.