Tuesday, February 16, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 3





              දැන් ඉතින් පැළ සිටුවීම. පැළ හිටවන දවසේ පාන්දරම කුඹුරු අයිතිකාර / වැඩකරන උදවිය පාන්දරම ඇවිත් පැළ තවාන ගලවන්න ඕනි. බොහෝ වෙලාවට කාන්තාවෝ මේ වැඩේට මුල් වෙනවා. දවල් දොළහ වගේ වෙද්දිත් පැළ ගලවලා ඉවර කරගන්න බැරි වුනොත් පිරිමි පාර්ශවේ උදවියත් සහයෝගය දක්වනවා. පැළ ගලවලා තවානෙම පැත්තක අහුරගන්න ඕනේ. පැළ තවාන ගලවන එක ගොඩක් වෙලාවට අමාරුයි. මුල් කැඩෙන්නෙ නැති විදිහට ගලවන්න ඕනි. පවුලේ ඥාති වෙන  කාන්තාවෝ, හිතවත් ඈයෝ, අහළ පහළ වෙල් වල උදවිය සහයෝගෙට එකතු වෙන්නේ මේ වෙලාවට තමා. අපේ අම්මාගයි තාත්තාගෙයි දෙන්නගෙම මුල් ගමේ අපි පදිංචි වෙලා ඉන්න නිසා, හිතවතුන් බොහෝමයි. ඉතින් ඒ සියළු දෙනාම වගේ මේ වෙලාවට එකතු වෙනවා. පැළ ගැලවීම අතරතුර අපේ පවුලේ කෙනෙකුට වගකීම් ටික පවරලා අම්මා මාත් එක්ක ගෙදර යනවා දවල් කෑම අරන් එන්න. ඒත් ඉතින් මේ වගේ දවස්වලට හැමෝටම ඇති වෙන්න කෑම හදන එක හිතාගන්න ටිකක් අමාරුයි. ඒ වෙලාවෙ කුඹුරෙ ඉන්න පිරිසටත් තව දහපහළොස් දෙනෙකුටත් ඇතිවෙන්න ගණන් හදාගෙන කෑම ගෙනියන්න ඕනේ. එතකොට විස්සක් විසි පහක් විතර ඉන්නවා. ඉතින් මේ කෑම තමයි මං ජීවිතේට කාලා තියෙන රහම කෑම. කවදාවත් අමතක නොවෙන රහක්. කැකුළු හාල් බත් එක්ක එළවළු දෙකක් නැත්තන් තුනක් තියෙනවා.
හ්ම්ම්ම්ම් මෙනු එක මෙන්න මෙහෙමයි ළමයි......

·                  කොල්ලු                       -          ( ඌව පළාතට ආවේනික ආහාර වර්ගයකි. කුරහන් තලප ආහාරයට ගැනීමේදි බහුලව මෙම ව්‍යාංජනය සකස් කරයි.)
·                  කිරිකොස්
·                  පොළොස්
·                  මඤ්ඤොක්කා කොළ මැල්ලුම
·                  පොල් සම්බෝල
·                  කරවල / හාල්මැස්සන් බැදුම
·                  මඤ්ඤොක්කා අල ව්‍යාංජනය
·                  පරිප්පු
·                  වට්ටක්කා
·                  ලුණු මිරිස්

මේ වර්ග වලින් දෙකක් නැත්නම් තුනක් අනිවාර්යයෙන් තියෙනවා. මඤ්ඤොක්කා කොළ මැල්ලුමයි පරිප්පුයි  තමයි මේ වර්ග වලින් මං ආසම. පැලේ වාඩි වෙලා කනකොට පුදුම රහයි. ඒ වෙලාවට මහන්සි වෙලා ඉන්න නිසා බඩගින්න උපරිමයි. කෑම රහට දැනෙන්නේ ඒ නිසා වෙන්න ඇති.

තමන්ගේ කුඹුරෙ ගොයම් හදන්න කලින් වෙන අයගේ කුඹුරු වැඩ කරනවානම් ඒකට උදව්වෙන්නත් යනවා. තව තමන් කුඹුරු වැඩ කරන්නේ නැතත් අනිත් අයට සහයෝගය දෙන්න යනවා. ඒ වගේම තමන්ගේ කුඹුරු වැඩ වලට එන හැමෝගෙම කුඹුරු වැඩ වලට උදව් කරන්න යනවා. මේ ක්‍රමයට තමයි අත්තම් ක්‍රමය කියන්නේ. පහුගිය පෝස්ට් එකේ, අහසෙන් බට කසුන් ඒ ගැන විමසලා තිබුණා. අපේ මව්තුමී ගිය අවුරුද්දේ උදව් කරපු අයගේ, ඊට කලින් අවුරුද්දේ උදව් කරපු අයගේ, ඊටත් කලින් අවුරුද්දේ උදව් කරපු අයගේ, ඊටත් ඊට කලින් අවුරුද්දේ උදව් කරපු අයගේ පැමිණීම් මතක තියාගෙන ඉඳලා ඒ අයට උදව් වෙන්න යනවා. නොආපු උදවියගේ, නොයන එක හරි නෑනේ පුතේ කියලා උදව් වෙන්න යනවා. තව සමහර වෙලාවට, ඒ මිනිස්සුන්ගේ හරිම හිත හොඳයි කියලා උදව් වෙන්න යනවා. ලොකු අම්මලාගේ, නැන්දලාගේ කුඹුරු වැඩ වලට උදව් කරන්න ආව අයටත් උදව්වට යනවා.............
එහෙම ගොහිල්ලා මුළු ගමටම උදව් වෙන්න යනවා. අපේ අම්මා විතරක් නෙවෙයි බහුතරයක් ගමේ උදවිය එහෙම තමයි. ඒ නිසා ඇත්තටම ඒ වැඩේ තියෙන බරපතලකම අඩු වෙනවා. තවානෙන් ගලව ගත්ත පැළ ටික මුළු කූඹුරටම පැතිරිලා යන විදිහට ගිහින් තියන්න ඕනේ. පැළ මිටි කොළ වලින් අල්ලගෙන,  ගිහින් දාන්න ඕනේ. මුළු කුඹුරෙම ඇවිදින්න වෙන නිසා ටිකක් අමාරු වැඩක්. හවස් වෙද්දී කකුල් දෙකට බාම් සරණයි තමයි. මමත් මේ වැඩේ පටන්ගන්න අවස්ථාවට සක්‍රීයව දායක වුණත් අවසන් කරන්න නම් දායක වෙලා නෑ. ඒ තරමට අමාරුයි වැඩේ.




ඊළඟට ඉතින් පැළ සිටුවිල්ල. එක ලියද්දකට හතර දෙනෙක් / පස් දෙනෙක්  විදිහට බෙදිලා ගිහිල්ලා පැළ සිටුවීම ආරම්භ කරනවා. ඉහතින් දැක්වෙන්නේ පැළ සිටුවන දර්ශනයක්. මේ වෙලාවෙදිත් කුඹුරු අයිතිකාරයා මුල් වෙන එක තමයි සිරිත. වැඩේ කොහොමහරි රෑ බෝවෙන්න කලින් ඉවර කරනවා කොයි කවුරුත් එක්ක එකතුවෙලා. අපි වගේ හිච්චි ඈයෝ ( ඒ කාලේ ) එක පුංචි ලියද්දක පැළ හිටවන්න එකතු වෙනවා. කියන්න දෙයක් නෑනේ අපේ පැළ සිටුවීම සම්බන්ධව.......

මං එකොළහ වසරේ ඉන්නකොට අපේ තාත්තායි අම්මායි දෙන්නම අසනීප වුණා. තාත්තා බයික් අනතුරක් නිසා මාස තුනක් විතර වෙද මහත්තයෙක් ළඟ ඉන්නකොට අම්මවත් හදිසි ශල්‍යකර්මයකට ලක් කළා. ඒ වෙද්දිත් කුඹුරු වැඩ කරන්න, වී තවන් දාලා තිබුණේ. වට් ටු ඩූ, අපේ ගෙදරින් පැළ හිටවන්න අත්තම් වලට යන්න උන්නු එකම එකා මම. බැරිමරගාතේ වුණත් මම අපේ ඥාති වුණු, අපිට උදව්වෙන හැමෝගෙම වගේ පැළ සිටුවීමට සහභාගී වුණා. වැඩිහිටි අයට වගේ ඉක්මනින් පැළ හදන්න බැරි වුණත් මමත් ඒ වැඩේ හරියටම කරලා තියෙනවා කියලා මතක් වෙද්දිත් මට සතුටුයි. මගෙන් අත්තම් වලට සහභගී වීමක් බලාපොරොත්තු නොවුණු අපේ ගමේ අය, එදා දක්වපු සහයෝගය ගැන ඇත්තටම මට සතුටු හිතුනා. වෙනදටත් වැඩිය කුඹුරු වැඩ වලට උදව්වට එදා පිරිස එකතු වුණා. ඒ දවස් ටිකේ හැමතිස්සෙම අපි ගැන හොයලා බලපු බහුතරයක් අය වගේම තාත්තාගේ රස්සාවෙන් ජීවත් වුණු අපි ඒ කාලේ කෑවද බීවද කියලවත් ඇහුවෙ නැති සුළුතරයක් දෙනාත් හිටියා කියන එක මට මතකයි. මේ අවුරුද්දේ තමයි පැළ ගලවන්න ගිහිල්ලා මගේ අත් දෙකේ පිට හම ගැලවිලා ගිහින් තුවාල වුණේ. කුඹුරු වැඩ කරද්දී ගතට උපරිමයෙන්ම මහන්සි දැනුනත්, හිතට පුදුම සැනසීමක් ලබන්න පුළුවන්. ඒක මං අත්දැකීමෙන්ම කියන්නේ. පැළ ගලවන්න වගේම හිටවද්දිත් දවසම වතුරෙ බැහැගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් කුඹුරු යායට තදින් අව්ව පායනවා. වෙල් යාය මැද ගස් බොහොම හිඟ නිසා දවසම අව්වේ. ඉතින් පහුවදාට හෙම්බිරිස්සා උණ.....  

මේ විදිහට පැළ ටික හිටවලා දවස් තුනක් හතරක් යනතුරු කුඹුරේ තෙතමනය රැඳන්න ඕනි. ඉන් පස්සේ පැළේ වැහෙන්නේ නැති තරමට ( අඟලක් / එක හමාරක් වගේ ) කුඹුරට වතුර හරවන්න ඕනි. සති තුනක් වගේ ගතවෙද්දි කුඹුරෙ වල් පැළ හටගන්නවා. වල් මර්ධනය වගේම කෘමි පළිබෝධකයින් පාලනයත් සිදු කරන එක වැදගත්. පැළේ හොඳට වැඩෙන්න අවශ්‍ය කරන පෝෂක වර්ග පොහොර ලෙස යෙදීම වැදගත්. දිනපතා කුඹුරේ වතුර රැඳෙන එක වැදගත්. මාස තුනක් විතර යද්දී ගොයම් කරල් පීදෙන්න පටන් ගන්නවා. මේ කාලෙදි ගොයම් මැස්සා, පුරුක් පණුවා වගේ පළිබෝධකයින්ගෙන් වගාවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා පළිබෝධ පාලනය සාර්ථකට සිදු කරන්නම ඕනේ.  කරල් පීදිලා මාසයකින් පස්සේ කරල් කිරිවැදීම සිද්ධ වෙනවා. කිරි වැදිලා මාසෙකට විතර පස්සේ කරල් රන්වන් පාටින් බැබළෙන්න ගන්නවා...





අස්වනු නෙලීම ඇතුළු විස්තර ඊළඟ පෝස්ටුවෙන් ගෙන එන්නම්...

එතෙක් ඔබට ජය !!!



Tuesday, February 9, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 2

           


 කස්ටියම ගැත්තාට අනුකම්පාවෙන් සමාව ප්‍රදානය කරන සේක්වා. මේ විස්තරේ ලියන්න ප්‍රමාදවීමට හේතු ඉදිරිපත් කරමි. මෙම විස්තරය නිවැරදිව දෝෂ අවම වන පරිදි ලිවීම අත්‍යවශ්‍ය බැවින් නිවැරදි තොරතුරු විමසා මං තුමී විසින් පසුගිය දොහක මපියා හට දුරබනුවෙන් ඇමතුමක් ගතිමි. එතුමා ඒ අවස්ථාවේදී අතිශය ප්‍රකෝපකාරී මූඩ් එකක සිට ඇති බැවින් මාගේ ගැටළු සියල්ලට පිළිතුරු වෙනුවට දුරබනුව විසන්ධි වීමක් සිදු වුයේ "ගෙදර ඇවිත් ඔය විස්තරේ අහගන්න පුතා" යනුවෙන් ලබාදුන් පිළිවදනක් ද සමගිනි. නිදහස් දිනට පෙර දින සවස ගොම්මන් යාමයේ මා නිවසට ගොඩවදින විට එහි තිබුණේ ගිනිවිජ්ජුම්බරයක සලකුණුය. නිවසේ අළුත්වැඩියා කටයුතු රාශියක් මපියා හා මව විසින් ආරම්භ කර තිබුණි. ඒ සියළු වැඩ කටයුතු අතරින් ඒ දෙපළ මා හට අවශ්‍ය තොරතුරු රාශියක් සැපයු බව මේ අවස්ථාවේදී කාරුණිකව සිහිපත් කරමි.

         
   කලින් පෝස්ටුව ඉවර කලේ බිත්තර වී පැළ කර ගැනීමෙන්. . කට්ටියට මතක ඇති කියලා හිතනවා. ඉහතින් තියෙන්නේ පැල තවානක ඡායාරූපයක්. මේ විදිහට පැළ වෙන්න දැම්ම බිත්තර වී වලින් දවස් පහක් විතර පහුවුණාම පැළවුණු වී ලබාගන්න පුළුවන්. ඔක්කොම එකට ගොඩගහලා තියෙන නිසා  වී ටික ඒවගේ මොටෙයි වලින් එකට පැටළිලා තියෙන්නේ. (මොටෙයි කියන්නේ වී බීජයෙන් ඉල්සෙල්ලාම එන පුංචි මුල් වලට.) ඒවා විනාශ නොවෙන විදිහට අතින් වෙන් කරන්න ඕනේ. කැටිත්තක් හැටියට පැළවෙන්න අමාරුයිනේ. වී බීජ තවන් කරද්දී අපහසුතා ඇති නොවෙන විදිහට හැමදේම සකස් කරන එක වැදගත්. ඉන්පස්සේ සකස් කරගත්ත තවානේ වී ටික වපුරනවා. හැමතැනම ඒකාකාරී වෙන විදිහට පැළ වී ඉහින එක තමයි වී වපුරනවා කියන්නේ. වී ටික පැල වෙද්දී එකම ඝනත්වයක් තවාන පුරාම තියෙන විදිහට තමයි වී වපුරන්නේ.  තවානෙත් වතුර මට්ටම පාලනය කරන්න අවශ්‍ය වෙන නිසා කාණුවක් වගේ පහත්ව තියෙන පුංචි සුමට ඇලි කපනවා. පත්‍රයක තියෙන ජාලාකාර නාරටි වින්‍යාසයට මදක් සමාන වෙන විදිහට තමයි මේ ඇලි ටික හදන්නේ. වී වපුරන්න කලින් මේ ඇලි සකස් කරන්න ඕනේ. එතකොට තවානට ගලා එන ජලය පාලනය පහසු වෙනවා. තවානට වතුර ගලා එන තැනට කියන්නේ වක්කඩ කියලා. කුඹුරට වතුර හරවන තැනට කියන්නේත් වක්කඩ කියලා තමයි. අපේ ගම් පළාතේ වක්කඩ විවෘත කරල කුඹුරට වතුර හරවන එකට කියන්නේ වක්කඩ අත උස්සනවා කියලා. ටිකක් අමුතුයි නේ.  මේ ව්‍යවහාරේ කොහොම භාවිතයට ආවද කියන එක සම්බන්ධව මට කිසිම අදහසක් නෑ. හැබැයි මේ සමඟ බැඳුණු රසවත් සිදුවීම් නම් බොහෝමයි. මේ සිදුවීම් බොහෝමයකට මූණ පාලා තියෙන්නේ විවාහ අවාහ සිද්ධවෙලා අපේ ගමට පිටතින් ආව කට්ටියට කියලා කියන්න ඕනි නෑනේ ඉතින්, හිහ්....

එක සිද්ධියක් කියන්නම්කෝ, මේක හරියට රැග් එකක් වගේ. ඔන්න දවසක් හවස් වරුවක අළුත ගෙනා මනමාලිත් එක්ක අපේ ගමේ මහතුන් මාමා ගියාලු කුඹුර පැත්තේ. ඒ කාලේ අළුත් මනමාලිලා අද කාලේ ඈයෝ වගේ නෙවෙයිලු හොඳේ..... "මේ ඒයි, මං මේ වල් පැළ ටික උදුරනකන් ඔයාට පුළුවන්ද පොඩ්ඩක් උඩ පැත්තට ගිහිල්ලා වක්කඩ අත උස්සලා එන්න." ඉතිං මනමාලිත් හරිම හොඳ ස්වාමියාට කීකරු නිවිච්ච ඇත්තියක් වුණු නිසා කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතිව  කුඹුරේ ඉහළ පැත්තට ගියාලු. පැයක් හමාරක් ගියත් තමන්ගේ භාර්යා තොමෝ නැවත ආවේ නැති නිසා මේ නුවණක්කාර ස්වාමිපුරුෂයා ගියාලු ඈ කොහෙද කියල හොයල බලන්න. යනකොට එතුමී ඉන්නවාලු වක්කඩ ළඟ හිටගෙන අතකුත් උස්සගෙන. ඉතිරි ටික තම තමුන් කැමති විදිහකට හිතා ගන්න අවසර තිබේ.......

            තවන් කරගත්තු වී දවස් විසි එකක් විතර ගියාම ක්ෂේත්‍රයේ පැළ  කරගන්න පුළුවන්. මේ දවස් විසි එක ඇතුළත තවානේ වල් පැළ පාලනය කරන්න ඕනේ. කෘමි පාලනය කරන්න ඕනේ. වී පැළ ටික හොඳින් බලාගන්න ඕනේ. පැළවලට වඩාත්ම අවශ්‍ය කරන පෝෂකයක් වන නයිට්‍රිජන් සපයන්න ඕනි. පසේ නයිට්‍රිජන් ප්‍රමාණය ඉහළ නංවන්න යූරියා කියන පොහොර වර්ගය භාවිතා කරනවා. වී පැළ වැඩෙන අතරතුර කුඹුරෙ වැඩ රාශියක් කර ගන්න තියෙනවා. වල් වැවිලා අව්වට කර වෙලා තියෙන බිම ගොයම් පැල සකස් කර ගන්න මට්ටමට ගන්න ඕනි. ඒකට හුඟක් මහන්සි වෙන්නේ පිරිමි පාර්ශවයේ උදවිය. ඒකේ මුල්ම පියවර බිම් කෙටීම. පස් පෙරළලා බිම් කොටන්න ටිකක් අමාරුයි. පස තදට තිබුනොත් හුඟක් වෙලා යන වැඩක්. මට මතකයි අපේ කුඹුරු වල දවස් හතර පහ බිම් කෙටුවා. මේ දවස් වලට වැඩ කරන උදවියට දහයට තේ, දවල්ට කෑම සපයන එක කාන්තා පාර්ශවයේ වගකීම. මේ දවස් වලට දහයටත් දවල් ඉර මුදුන් වෙන වෙලාවටත්   අම්මගේ පිටිපස්සෙන් කුඹුරෙ යන එක තමයි මං කරන්නේ. ටිකක් තේරෙන වයසට එද්දී අම්මා මට තේ පෝච්චිය / වතුර පෝච්චිය අරගෙන යන්න දුන්නා. තවත ටික කාලයක් යද්දී, ඒ කියන්නේ ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ කුඹුරට තේ අරන් යන රාජකාරිය අම්මා සම්පූර්ණයෙන්ම මට පැවරුවා.


බිම් කොටද්දී නියර සුද්ධ කරලා කුඹුර පිරිසිදුව සකස් කරන්නත් ඕනි. පස් පෙරලීමෙන් පස්සේ කුඹුරට වතුර හරවන්න ඕනි. ( වක්කඩ අත උස්සන්න ඕනි. හිහ්.....) සති දෙකක් විතර වතුර කුඹුරෙ රැඳෙනකොට වල් පැළෑටි දිරාපත් වෙලා පසට එකතු වෙනවා. එතකොට පස සරු වෙනවා. ඊට පස්සේ තියෙන්නේ කුඹුර හාන වැඩේ. බොහෝ වෙලාවට මී හරක් තමයි මේ වැඩේට භාවිතා කරන්නේ. ඒකට මී හරක් අයිතිකාර පුද්ගලයාගේ සහයෝගය ඕනි වෙනවා. කඳුකර ප්‍රදේශ නිසා, මේ පැත්තේ කුඹුරු වල ලියැදි පළලින් අඩුයි. හෙල්මළු ක්‍රමයට තමයි මෙහේ ලියැදි සකස් කරන්නේ. ඉහතින් තියෙන්නේ හෙල්මළු ක්‍රමයට සකස් කරපු කුඹුරක ඡායාරූපයක්. මේ කුඹුරු එතරම් විශාල ඒවා ‍නොවෙන නිසා බොහෝ විට මී හරක් බානක් එක කුඹුරකට සෑහෙනවා. මී හරක් බානක් කියන්නේ මී හරක් දෙන්නෙකුට. මේ දෙන්නව එක  ළඟින් තියලා එකට ඈඳනවා. දෙන්නගෙම බෙල්ලට ආසන්න තැනකදී හරහට වියගහ තියනවා. මී හරක් දෙන්නගේ  අතර මැදින් නගුල රඳවනවා. නගුල, වියගහ , මී හරක් බාන යන සියල්ල එකට සම්බන්ධ වෙන විදිහට එකට සම්බන්ධ කරනවා. මේ විදිහට සම්බන්ධ කරන ලණුවට කියන්නේ අමුතු වැල කියලයි. කුඹුරෙ බිම මෘදු වෙලා කැටිති ගැහිලා තියෙන පස් බුරුල් වෙන තරමට හාන්න ඕනි. මේ වැඩේ යන්ත්‍ර වලට පවරන කාලවකවානුවෙදි මං ගමේ හිටියා. බොහොම මෑතකදී තමයි ඒක සිද්ධ වුණේ. මේ යන්ත්‍රයට කියන නිවැරදි නම මට  හොයාගන්න බැරිවුණා. ඒත් අපේ ගමේ උදවිය මේ යන්ත්‍රෙට කීවේ, කුරුමිණියා  කියලා. අපේ ගෙදරත් මේ වර්ගයේ කුරුමිණියෙක් හිටියත් ඡායාරූපයක් ගන්න නම් බැරි වුණා. (කස්ටිය සමාවෙන්ඩ පීස්.... ආයේ ගෙදර ගිය දවසක කුරුමිණියාගේ ඡායාරූපයක් ගෙනවිත් පබිලිස් කොරන්ට බලාපොරොත්තු වෙමි.)



ඉහතින් දැක්වෙන්නේ කුඹුර හාන අවස්ථාවක්. කුඹුර හාන කටයුත්ත අවසන් වුනාට පස්සේ, පෝරු ලෑල්ලෙන් බිම සමතලා කරන්න ඕනි. පෝරු ලෑල්ල කියන්නේ අඩි දෙකහමාරක් තුනක් විතර දිග පැතලි ලෑල්ලක්. ඒකට උදැල්ලෙ මිට වගේ, ඊට වඩා පොඩ්ඩක් විතර දිගින් වැඩි, මහතින් අඩු මිටක් සවි කරගන්න ඕනි. පෝරු ලෑල්ල පාවිච්චි කරලා බිම සමතලා කරගන්න එකට කියන්නේ, පෝරු ගානවා කියලා. ඊළඟට කරන්න තියෙන්නේ, ලස්සනට නියරවල් ටික සකස් කරන්න ඕනේ. උදැල්ලෙන් තමයි මේ වැඩේ කරන්නේ. නියරවල් සකස් කරන විදිහෙන් ගොවි මහත්තයාගේ දක්ෂකම පලපුරුද්ද පෙන්නුම් කරනවා. කුඹුර හාන දවසෙදිම පෝරු ගාන වැඩෙයි නියරවල් සකස් කරන වැඩෙයි කරන්න පුළුවන් අවශ්‍ය තරම් පිරිසක් ඉන්නවා නම්. පහතින් තියෙන්නේ පෝරු ගාන දර්ශනයක ඡායාරූපයක්. ඊට පස්සේ ඉතින් පැළ හිටවන්න තමයි තියෙන්නේ....... ඒ විස්තරේ ඊළඟ පෝස්ටුවෙන් ලියන්නම්කෝ...... හැමෝටම ජය !!!






Sunday, February 7, 2016

පාරමී දම් (ඇගේ මතක - 2)



අහංකාර ඔය නෙතු ළඟ
මොහොතක් මට නතර වෙන්න
සිනා පිරුණු ඔය මුව ළඟ
මොහොතක් දොඩමළුව ඉන්න
සසර කතර ගිම් සනසන
පවනක් වී ළඟින් ඉන්න
පෙරුම් පිරුවා කල්ප කලක්
තත්පරයක් ඔබෙම වෙන්න


.................................... අනූ creation.............................



ප.ලි.     -         වදන් පෙලෙහි හිමිකම අනූ සතුය. ගොයම් වගාවේ ඉතිරි කොටස ඊළඟ පෝස්ටුවෙන් බලාපොරොත්තු වන්න.