Tuesday, February 9, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 2

           


 කස්ටියම ගැත්තාට අනුකම්පාවෙන් සමාව ප්‍රදානය කරන සේක්වා. මේ විස්තරේ ලියන්න ප්‍රමාදවීමට හේතු ඉදිරිපත් කරමි. මෙම විස්තරය නිවැරදිව දෝෂ අවම වන පරිදි ලිවීම අත්‍යවශ්‍ය බැවින් නිවැරදි තොරතුරු විමසා මං තුමී විසින් පසුගිය දොහක මපියා හට දුරබනුවෙන් ඇමතුමක් ගතිමි. එතුමා ඒ අවස්ථාවේදී අතිශය ප්‍රකෝපකාරී මූඩ් එකක සිට ඇති බැවින් මාගේ ගැටළු සියල්ලට පිළිතුරු වෙනුවට දුරබනුව විසන්ධි වීමක් සිදු වුයේ "ගෙදර ඇවිත් ඔය විස්තරේ අහගන්න පුතා" යනුවෙන් ලබාදුන් පිළිවදනක් ද සමගිනි. නිදහස් දිනට පෙර දින සවස ගොම්මන් යාමයේ මා නිවසට ගොඩවදින විට එහි තිබුණේ ගිනිවිජ්ජුම්බරයක සලකුණුය. නිවසේ අළුත්වැඩියා කටයුතු රාශියක් මපියා හා මව විසින් ආරම්භ කර තිබුණි. ඒ සියළු වැඩ කටයුතු අතරින් ඒ දෙපළ මා හට අවශ්‍ය තොරතුරු රාශියක් සැපයු බව මේ අවස්ථාවේදී කාරුණිකව සිහිපත් කරමි.

         
   කලින් පෝස්ටුව ඉවර කලේ බිත්තර වී පැළ කර ගැනීමෙන්. . කට්ටියට මතක ඇති කියලා හිතනවා. ඉහතින් තියෙන්නේ පැල තවානක ඡායාරූපයක්. මේ විදිහට පැළ වෙන්න දැම්ම බිත්තර වී වලින් දවස් පහක් විතර පහුවුණාම පැළවුණු වී ලබාගන්න පුළුවන්. ඔක්කොම එකට ගොඩගහලා තියෙන නිසා  වී ටික ඒවගේ මොටෙයි වලින් එකට පැටළිලා තියෙන්නේ. (මොටෙයි කියන්නේ වී බීජයෙන් ඉල්සෙල්ලාම එන පුංචි මුල් වලට.) ඒවා විනාශ නොවෙන විදිහට අතින් වෙන් කරන්න ඕනේ. කැටිත්තක් හැටියට පැළවෙන්න අමාරුයිනේ. වී බීජ තවන් කරද්දී අපහසුතා ඇති නොවෙන විදිහට හැමදේම සකස් කරන එක වැදගත්. ඉන්පස්සේ සකස් කරගත්ත තවානේ වී ටික වපුරනවා. හැමතැනම ඒකාකාරී වෙන විදිහට පැළ වී ඉහින එක තමයි වී වපුරනවා කියන්නේ. වී ටික පැල වෙද්දී එකම ඝනත්වයක් තවාන පුරාම තියෙන විදිහට තමයි වී වපුරන්නේ.  තවානෙත් වතුර මට්ටම පාලනය කරන්න අවශ්‍ය වෙන නිසා කාණුවක් වගේ පහත්ව තියෙන පුංචි සුමට ඇලි කපනවා. පත්‍රයක තියෙන ජාලාකාර නාරටි වින්‍යාසයට මදක් සමාන වෙන විදිහට තමයි මේ ඇලි ටික හදන්නේ. වී වපුරන්න කලින් මේ ඇලි සකස් කරන්න ඕනේ. එතකොට තවානට ගලා එන ජලය පාලනය පහසු වෙනවා. තවානට වතුර ගලා එන තැනට කියන්නේ වක්කඩ කියලා. කුඹුරට වතුර හරවන තැනට කියන්නේත් වක්කඩ කියලා තමයි. අපේ ගම් පළාතේ වක්කඩ විවෘත කරල කුඹුරට වතුර හරවන එකට කියන්නේ වක්කඩ අත උස්සනවා කියලා. ටිකක් අමුතුයි නේ.  මේ ව්‍යවහාරේ කොහොම භාවිතයට ආවද කියන එක සම්බන්ධව මට කිසිම අදහසක් නෑ. හැබැයි මේ සමඟ බැඳුණු රසවත් සිදුවීම් නම් බොහෝමයි. මේ සිදුවීම් බොහෝමයකට මූණ පාලා තියෙන්නේ විවාහ අවාහ සිද්ධවෙලා අපේ ගමට පිටතින් ආව කට්ටියට කියලා කියන්න ඕනි නෑනේ ඉතින්, හිහ්....

එක සිද්ධියක් කියන්නම්කෝ, මේක හරියට රැග් එකක් වගේ. ඔන්න දවසක් හවස් වරුවක අළුත ගෙනා මනමාලිත් එක්ක අපේ ගමේ මහතුන් මාමා ගියාලු කුඹුර පැත්තේ. ඒ කාලේ අළුත් මනමාලිලා අද කාලේ ඈයෝ වගේ නෙවෙයිලු හොඳේ..... "මේ ඒයි, මං මේ වල් පැළ ටික උදුරනකන් ඔයාට පුළුවන්ද පොඩ්ඩක් උඩ පැත්තට ගිහිල්ලා වක්කඩ අත උස්සලා එන්න." ඉතිං මනමාලිත් හරිම හොඳ ස්වාමියාට කීකරු නිවිච්ච ඇත්තියක් වුණු නිසා කිසිම ප්‍රශ්නයක් අහන්නෙ නැතිව  කුඹුරේ ඉහළ පැත්තට ගියාලු. පැයක් හමාරක් ගියත් තමන්ගේ භාර්යා තොමෝ නැවත ආවේ නැති නිසා මේ නුවණක්කාර ස්වාමිපුරුෂයා ගියාලු ඈ කොහෙද කියල හොයල බලන්න. යනකොට එතුමී ඉන්නවාලු වක්කඩ ළඟ හිටගෙන අතකුත් උස්සගෙන. ඉතිරි ටික තම තමුන් කැමති විදිහකට හිතා ගන්න අවසර තිබේ.......

            තවන් කරගත්තු වී දවස් විසි එකක් විතර ගියාම ක්ෂේත්‍රයේ පැළ  කරගන්න පුළුවන්. මේ දවස් විසි එක ඇතුළත තවානේ වල් පැළ පාලනය කරන්න ඕනේ. කෘමි පාලනය කරන්න ඕනේ. වී පැළ ටික හොඳින් බලාගන්න ඕනේ. පැළවලට වඩාත්ම අවශ්‍ය කරන පෝෂකයක් වන නයිට්‍රිජන් සපයන්න ඕනි. පසේ නයිට්‍රිජන් ප්‍රමාණය ඉහළ නංවන්න යූරියා කියන පොහොර වර්ගය භාවිතා කරනවා. වී පැළ වැඩෙන අතරතුර කුඹුරෙ වැඩ රාශියක් කර ගන්න තියෙනවා. වල් වැවිලා අව්වට කර වෙලා තියෙන බිම ගොයම් පැල සකස් කර ගන්න මට්ටමට ගන්න ඕනි. ඒකට හුඟක් මහන්සි වෙන්නේ පිරිමි පාර්ශවයේ උදවිය. ඒකේ මුල්ම පියවර බිම් කෙටීම. පස් පෙරළලා බිම් කොටන්න ටිකක් අමාරුයි. පස තදට තිබුනොත් හුඟක් වෙලා යන වැඩක්. මට මතකයි අපේ කුඹුරු වල දවස් හතර පහ බිම් කෙටුවා. මේ දවස් වලට වැඩ කරන උදවියට දහයට තේ, දවල්ට කෑම සපයන එක කාන්තා පාර්ශවයේ වගකීම. මේ දවස් වලට දහයටත් දවල් ඉර මුදුන් වෙන වෙලාවටත්   අම්මගේ පිටිපස්සෙන් කුඹුරෙ යන එක තමයි මං කරන්නේ. ටිකක් තේරෙන වයසට එද්දී අම්මා මට තේ පෝච්චිය / වතුර පෝච්චිය අරගෙන යන්න දුන්නා. තවත ටික කාලයක් යද්දී, ඒ කියන්නේ ඕ ලෙවල් කරලා ගෙදර ඉන්න කාලේ කුඹුරට තේ අරන් යන රාජකාරිය අම්මා සම්පූර්ණයෙන්ම මට පැවරුවා.


බිම් කොටද්දී නියර සුද්ධ කරලා කුඹුර පිරිසිදුව සකස් කරන්නත් ඕනි. පස් පෙරලීමෙන් පස්සේ කුඹුරට වතුර හරවන්න ඕනි. ( වක්කඩ අත උස්සන්න ඕනි. හිහ්.....) සති දෙකක් විතර වතුර කුඹුරෙ රැඳෙනකොට වල් පැළෑටි දිරාපත් වෙලා පසට එකතු වෙනවා. එතකොට පස සරු වෙනවා. ඊට පස්සේ තියෙන්නේ කුඹුර හාන වැඩේ. බොහෝ වෙලාවට මී හරක් තමයි මේ වැඩේට භාවිතා කරන්නේ. ඒකට මී හරක් අයිතිකාර පුද්ගලයාගේ සහයෝගය ඕනි වෙනවා. කඳුකර ප්‍රදේශ නිසා, මේ පැත්තේ කුඹුරු වල ලියැදි පළලින් අඩුයි. හෙල්මළු ක්‍රමයට තමයි මෙහේ ලියැදි සකස් කරන්නේ. ඉහතින් තියෙන්නේ හෙල්මළු ක්‍රමයට සකස් කරපු කුඹුරක ඡායාරූපයක්. මේ කුඹුරු එතරම් විශාල ඒවා ‍නොවෙන නිසා බොහෝ විට මී හරක් බානක් එක කුඹුරකට සෑහෙනවා. මී හරක් බානක් කියන්නේ මී හරක් දෙන්නෙකුට. මේ දෙන්නව එක  ළඟින් තියලා එකට ඈඳනවා. දෙන්නගෙම බෙල්ලට ආසන්න තැනකදී හරහට වියගහ තියනවා. මී හරක් දෙන්නගේ  අතර මැදින් නගුල රඳවනවා. නගුල, වියගහ , මී හරක් බාන යන සියල්ල එකට සම්බන්ධ වෙන විදිහට එකට සම්බන්ධ කරනවා. මේ විදිහට සම්බන්ධ කරන ලණුවට කියන්නේ අමුතු වැල කියලයි. කුඹුරෙ බිම මෘදු වෙලා කැටිති ගැහිලා තියෙන පස් බුරුල් වෙන තරමට හාන්න ඕනි. මේ වැඩේ යන්ත්‍ර වලට පවරන කාලවකවානුවෙදි මං ගමේ හිටියා. බොහොම මෑතකදී තමයි ඒක සිද්ධ වුණේ. මේ යන්ත්‍රයට කියන නිවැරදි නම මට  හොයාගන්න බැරිවුණා. ඒත් අපේ ගමේ උදවිය මේ යන්ත්‍රෙට කීවේ, කුරුමිණියා  කියලා. අපේ ගෙදරත් මේ වර්ගයේ කුරුමිණියෙක් හිටියත් ඡායාරූපයක් ගන්න නම් බැරි වුණා. (කස්ටිය සමාවෙන්ඩ පීස්.... ආයේ ගෙදර ගිය දවසක කුරුමිණියාගේ ඡායාරූපයක් ගෙනවිත් පබිලිස් කොරන්ට බලාපොරොත්තු වෙමි.)



ඉහතින් දැක්වෙන්නේ කුඹුර හාන අවස්ථාවක්. කුඹුර හාන කටයුත්ත අවසන් වුනාට පස්සේ, පෝරු ලෑල්ලෙන් බිම සමතලා කරන්න ඕනි. පෝරු ලෑල්ල කියන්නේ අඩි දෙකහමාරක් තුනක් විතර දිග පැතලි ලෑල්ලක්. ඒකට උදැල්ලෙ මිට වගේ, ඊට වඩා පොඩ්ඩක් විතර දිගින් වැඩි, මහතින් අඩු මිටක් සවි කරගන්න ඕනි. පෝරු ලෑල්ල පාවිච්චි කරලා බිම සමතලා කරගන්න එකට කියන්නේ, පෝරු ගානවා කියලා. ඊළඟට කරන්න තියෙන්නේ, ලස්සනට නියරවල් ටික සකස් කරන්න ඕනේ. උදැල්ලෙන් තමයි මේ වැඩේ කරන්නේ. නියරවල් සකස් කරන විදිහෙන් ගොවි මහත්තයාගේ දක්ෂකම පලපුරුද්ද පෙන්නුම් කරනවා. කුඹුර හාන දවසෙදිම පෝරු ගාන වැඩෙයි නියරවල් සකස් කරන වැඩෙයි කරන්න පුළුවන් අවශ්‍ය තරම් පිරිසක් ඉන්නවා නම්. පහතින් තියෙන්නේ පෝරු ගාන දර්ශනයක ඡායාරූපයක්. ඊට පස්සේ ඉතින් පැළ හිටවන්න තමයි තියෙන්නේ....... ඒ විස්තරේ ඊළඟ පෝස්ටුවෙන් ලියන්නම්කෝ...... හැමෝටම ජය !!!






38 comments:

  1. ලස්සන විස්තරයක් පුතා.. (හි හි.. මාත් අපේ ලොකු කෙල්ලට කතා කරන්නේ පුතා කියල)
    //යනකොට එතුමී ඉන්නවාලු වක්කඩ ළඟ හිටගෙන අතකුත් උස්සගෙන. ඉතිරි ටික..// අලුත බැඳපු ජෝඩුවක් නිසා ඉතුරු ටික කොහොම වෙන්න ඇද්ද කියලා හිත ගන්න අමාරුයි.... හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. දුවලා ස්පෙෂල්. පුතා දුව කියන නම් දෙකම කියන්න පුළුවන් දුවලට විතරයිනේ

      Delete
  2. ඔන්න මමත් තවටික දොහකින් එළවලු ගෙන හිටගෙන ඉන්නේ බොල ගේ කතාව හිතට වැදුනා. මේ පැත්තත් ඇවිත් බලන්නකෝ.http://apithopi.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ජය වේවා මල්ලියේ, දිගටම ලියමු.

      Delete
  3. ගොයම් වගාවද? වී වගාව ද??
    ඔන්න අපේ ගමේ නම් වී වගා කරනව, ඒත් හැදෙන්නේ නම් ගොයම්.

    ReplyDelete
  4. වී වගාය ගැන පාඩමක්ම තියනවා.

    මෙන්න ලස්සන කුඹුරක්
    http://www.dinamina.lk/sites/default/files/news/2015/11/15/ro-biya.jpg

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්, මට ඕනේ ඒ වැඩේ තමයි. අපේ පැත්තේ වී වගාව ගැන පාඩමක්. ස්තූතියි.

      Delete
  5. අර ්‍වක්කඩ අත උස්සපු සීන් එක වගේ එකක් අපේ බාප්ප බැඳපු අලුත සිද්ධ උනා කියල බාප්පමයි කිව්වෙ. පොර ඉතිං කවදත් ඇත්තම කියන නිසා මාත් විශ්වාස කරනව.

    දවසක් බාප්ප පුංචිට කියල ඔන්නොය ලයිට් එක නිවන්න කියල. ඉතිං පුංචි ගිහිං දරමැස්සෙ තිබ්බ ඉණිමග ගෙනත් බිත්තියට හේත්තු කරල, ඒකට නැගල, ලයිට් බල්බ් එකට කටිං පිම්බලු.

    ReplyDelete
    Replies
    1. මේන් ඩ්‍රැකියා ඇත්තම ඇත්ත කතාවක් කියලා, බේගලයක් එහෙම නෙවෙයි ඕංං. හික්ස්......

      Delete
    2. තවත් එක ගජබින්නාලංකාරයක්..

      Delete
  6. මාත් එක සැරයනක් අපේ යාළුවෙක් එක්ක පොඩි ලියද්දක් වැඩකළා. ආයෙ නං උන්ගෙ ගෙවල් පැත්ත පළාතෙ ගියෙ නෑ මතක තියෙනකං...

    අර පෝරු ගෑම, ඔය තනි මිට තියෙන පෝරුවෙනුත් කරනව, තව තරමක් ‍ලොකු පෝරු ලෑල්ලක් තියෙනව, නගුල වගේම හරක් බාණකට සෙට් කරන එකක්. තව ක්‍රමයක් තමා කෙහෙල් කොටයක් දෙපැත්තට කූඤ්ඤ ගහල, ඒ කූඤ්ඤ දෙක ලණුවකිං ගැටගහගෙන, එකෙක් ඒක ඇදං යනව, තව එකෙක් පස්සෙං යන ගමං ඒක අත් දෙකෙන් පහළට තද කරල බර කරනව.

    ReplyDelete
    Replies
    1. //මාත් එක සැරයනක් අපේ යාළුවෙක් එක්ක පොඩි ලියද්දක් වැඩකළා. //
      යලුවා කිව්වා තමා උඹ නගුල ඇද්දා ටොප් එකට කියලා.. හැක හැක

      Delete
    2. ඩ්‍රැකියෝ අත්දැකීම් ටික ලිව්වොත් නරකද...

      Delete
    3. පත්තරෙය,
      පල ඩෝ යන්ඩ... !! තොගෙ අම්%$$@*&^%$$$@... අපි කුඹුර කොටල, අත්ට්‍රැක්ටරෙං හෑවෙ. තොපෙ පැත්ත වගේ පිටිහර නෙවෙයි මීගෙ‍ාං ‍ගෙං හාන්ඩ.

      බාගි,
      මං නෑනෙව ඔය අතීතකාමයෙන් ලියන්නෙ. :-) ඒකට ඔය ඉන්න පිරිස හොඳටෝම ඇති කියල මට හිතෙනව.

      Delete
    4. කාලෙකින් මගේ සුපුරුදු නමක් ඇහුනා ( බාගි )හිහ්... ස්තූතියි ඩ්‍රැකියෝ.
      එහෙම නම් කොමෙන්ට් වලින්වත් ඔයාගේ දැනුම අපිත් එක්ක බෙදාගන්න. ඔයාගේ කොමෙන්ට් වලින් හුඟක් දේවල් දැන ගත්තා. ස්තූතියි.

      Delete
  7. වක්කඩ ලග දිය ඇදනෙ තාලයට.
    පීදෙන ගොයමේ නෑඹුල් සුවදින් ඔකදවෙලා..
    ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා...

    ජ ය වේ වා !!

    ReplyDelete
    Replies
    1. නියරේ පියනඟලා
      රන් දහදිය බිංදු බිංදු

      Delete
    2. මෙන්න පිළිගන්න තවත් සිංදුලා දෙන්නෙක් ඇවිත්.... ස්තූතියි. ජය වේවා !!!

      Delete
    3. උඹලා දෙන්නම එකම බානෙද?

      Delete
    4. කටුස්,
      සිංදු ඇනේ එක්ක මුං තුම්බානයි...

      Delete
    5. හ්ම්ම්ම්ම්ම්ම් තුන් බානයි. හිහ්...

      Delete
  8. අපේ පැත්තත් එක්ක බලනකොට පොඩි පොඩි සමානකම් නැතුවමත් නෙමේ.. ඔය ගොයම් පැල හිටවන එක පට්ට අමාරු ඇති නේ..
    හරක් බානක් කියන්නේ දෙන්නටද හතරදෙනාටද???
    බලන් යනකොට අපේ පැත්තේ කුඹුරු කරන එක ලේසියි..
    ඔය පැත්තේ විස්තර ගොඩක් දැන ගත්තා.

    ReplyDelete
    Replies
    1. බානක් කියන්නේ හරක් දෙන්නට. ගොයම් හිටවන එක ඊළඟ පෝස්ට් එකෙන්

      Delete
  9. අර කුරුමිනිය මං හිතන්නෙ රොටරිය වෙන්ට ඕන.
    ලෑන්ඩ් මාස්ටරේට හයිකොපු අයිටමේ නේද
    නැත්තං වෙන හුචක්කුවක් වෙන්නත් බැරි නෑ
    මෙහෙ නං හරක්ගෙන් හානෙක නැවතුනෙ මං හිච්චි එකා සංදියෙ එතකොට මට ඕන නං අවුරුදු පහක් හයක් වෙන්න ඇති. ඒ කියන්නෙ 95 -96 වගේ කාලෙ
    දැං නං බූතයොයි සුනාමියි අරවයි මේවයි නැති හුටස්පරයක් නෑ

    ReplyDelete
    Replies
    1. අපි ලකී නේ,
      නවීන වගා ක්‍රම වගේම සාම්ප්‍රදායික ක්‍රමත් දකින්න විඳින්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපෙන් පස්සෙ පරම්පරාව සාම්ප්‍රදායික වගා ක්‍රම නොදකින්න තියෙන ඉඩකඩ වැඩී.

      Delete
  10. බාග්‍යා,
    මටත් මතකයි අපි පුන්චි කාලෙ ගෙදරදි අක්කල, නංගිල එක්ක ඔය කුඹුරෙ හානකොට හරක් පස්සෙන් දුවනව. අපේ පැත්තෙ ඔය එක එක ජාතියෙ යන්තර දාගෙන හාන්න බෑ. එරෙන නිසා හරක්, මිනිස්සු එකතු වෙලා වෙලේ වැඩ කරන්නෙ. දැන්නම් වෙලට ගියපු කාලයක් මතක නෑ. අපේ පැත්ත තවමත් අත්තම් ක්‍රමයක් තියෙන ග්‍රාමීය පැත්තක්. එහෙ ගොයම් හිටවන්නෙ නෑ. එහෙ කරන්නේ වී ටිකක් පැල කරල වපුරනව.

    ඉතුරු ටිකත් ලිව්වම එන්නම්.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මෙහෙත් අත්තම් තියෙනවා. අත්තම් පටන් ගන්නේ ගොයම් සිටුවීමත් එක්කම වගේ, ඊළඟ පෝස්ටුවෙන් ඒ ගැන ලියන්නම්කෝ...

      Delete
  11. goyam wagaawa eken (1) thamai man oyage pot ekata set une.
    mul kotahata raha watila deweni kotaha kiyawanna aasawen hitiye.

    gama paadhaka karan liyawena dhewal man assawen kiyawanawa.
    hakinam game wistharath add karala liyanna.
    rasata liyala thiyanawa isthuthi....

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. ඒකාලෙ මතක වෙනවෝ.... අහන්නත් ආසයි කුඹුරු වැඩ ගැන. ඒදවස්වල ගොයම් හදන කාලෙට, කපන කාලෙට ඉස්කෝලෙ යන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. තාම මතකයි ඊයේ වගෙමයි..... හිහ්

      Delete
  14. දිය දමලා යාං කරල තවන් කරන්නේ
    බිම හාලා වතුර බැදල පෝරුගාන්නේ
    මඩ කරලා හැඩ දමලා ලියදි හදන්නේ
    පැල ගලවා මිටි බැදලා ගෙනත් තියන්නේ

    ReplyDelete
    Replies
    1. මරු කයිය අනේ.... ලස්සනයි. ඊළඟ පෝස්ට් එකටත් සී පදයක් ඕනි.

      Delete
  15. ඔය පැත්තේ ගොයම් වගාව අපේ පැත්තේ වගේමයි. අපි ඉතින් නමුණුකුලෙන් මෙහානේ ඉන්නේ...ජයවේවා !!!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්. කොහෙද ගෙවල් ?? අහප පහල වෙන්න ඕනේ ??? ස්තූතියි පැමිණියාට.

      Delete