Tuesday, June 6, 2017

මාගේ සැමරුම් පොතේ........ II





බස් එකට නැග්ග ගමන්ම මාව දැක්ක චතූ මං ළඟිට ඇවිත් හිටගත්තා. සමීරයි චතුයි දෙන්නා මගේ දෙපැත්තේ.

පොත් වගයක් ගන්න කඩේට ගියා අනේ, තව ඩිංගෙන් බස් එක මිස් වෙනවා. චතූ කීවා.

වේලාවට ඔයා දුවගෙන ආවේ. හි..... මේ ඉන්නේ සමීර. පුංචි කාලේ ඉඳන්ම මගේ හොඳ යාළුවෙක්.

මං ඉතින් පුංචි හිනාවක් දාලා අපේ ඉලන්දාරියාව මේ ලස්සන ගෑණු දරුවට හඳුන්වලා දුන්නා.
එදා ඉඳන් මේ දෙන්නා හොඳම යාළුවො වුණා.

************
මාස කීපෙකට විතර පස්සේ දවසක,

ඒ බං අන්න චතූ එනවා. අද අහන්නම ඕනි බං. වැඩේ හරි යයිද? හෙල්ප් එකක් දීහන් ඈ....අපේ ඉලන්දාරියා වැඩේට මුල පුරන්නයි ලෑස්තිය.

මට බෑ. අහන්න ඔයාම. ඕවා කියන්න ගිහින් චතූ මාත් එක්කත් තරහ වෙයි. ඔයා කෙලින්ම ඇහුවොත් නම් වැඩේ ගොඩ තමයි.

මං හෙල්ප් කරන්නම් ඔයා අහන්නකෝ.

බස් එකේ වැඩි සෙනඟකුත් නැති නිසා අද නම් අහන්න පුළුවන් වෙයි. මටත් හිතුනා.

චතූ මේ අපේ සමීරට ඔයාට මොනාද කියන්න තියෙනවලු.

මං ඉතින් කතාව පටන් ගත්තා. කවදා කාපු ටකරන්ද අප්පා මේවා. චතූගේ අම්මගෙනුත් බැනුම් අහන්න වෙයිද මන්දා
.
කියන්න හලෝ ??? ඇයි??? චතු ඇහුවා.

කියනවා දැන් ඉතින් ඇඔරෙන්නැතිව. මං සමීරට හෙමින් කීවා.

ඒ බෑ බං තරහ වෙයි.

අහනවා මැට්ටෝ, ආයේ නම් මට බෑ. අහනවා.

මූණත් රතු කරගත්ත සමීර ,

චතූ, තරහ වෙන්නේ නැත්තම් දෙයක් අහන්නම්. තරහ වෙන්න බෑ හොඳේ.
නෑ නෑ තරහ වෙන්නෑ

කියන්නකො ඔයා මට කැමතිද?                                                          ( බ්ලා බ්ලා බ්ලා   පැණි කතා ගොඩකි. කොටින්ම කිවහොත් පැණි හැලියයි.)                                                   

මං ෂේප් එකේ එතනින් අයින් වුණා. මේ පැණි කතා මට අහන් ඉන්න බෑනේ. හික්ස්....

චතූ බැහැලා ගියාට පස්සේ සමීර මං වාඩිවෙලා හිටිය සීට් එනට ආවා. මූණ අවුල්.

මොකෝ වුනේ?? රතු වෙච්චි මූණදිහා බලාගෙනම මං ඇහුවා.

බෑලු බං

සමීර කියපි. දැන් මොකෝ කරන්නේ??

මං දන්නෑ.

පොඩ්ඩක් ඉවසලා ඉන්නවා හලෝ, අහපු ගමන් හා කියන්න  බලාගෙන ඉන්නවා කියලාද හිතන් ඉන්නේ... අපි හෙටත් අහලා බලමු.

මං ඉතින් කොල්ලව පොඩ්ඩක් ෂේප් කලා.

අනේ මං දන්නෑ බං.

කොහොමින් කොහොම හරි චතූව කැමති කරගන්න සමීර කොළුවට බැරි වුණා. දැන් චතූ කිසි කතා බහක් නෑ සමීර එක්ක. කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න අහලා,ඒක අවුල් වුණ ගමන් උන් දෙන්නට දෙන්නව පේන්න බැරිව යනවද කොහෙද, පවුල් අවුල් හිහ්..

චතූටත් ඔය ලෙඩේ බෝ වුණා. ඒ කියන්නේ චතූට දැන් සමිරව පේන්න බෑ. යකා නගිනවා. සමීර ඉතින් තාමත් දුක් වෙනවා.

අපරාදේ බං මං එයාගෙන් ඇහුවේ. මා එක්ක තරහවෙලා. කතා කරන්නෙත් නෑ. යාළුකමත් නැති වුණා බං මේ වැඩෙන්.

මාස කීපයක්ම ගෙවුණා. සමීරගේ ශෝකාලාපේ අහං ඉඳලම මට ඇති වුණා. මුන් දෙන්නා තාම තරහයි.

මේ මොකද්ද බං මේ, තාම තරහද දෙන්නා ?

හ්ම්ම්ම්ම් කතා බහක් නෑ. දැක්කත් නෑ වගේ අහක බලන් යනවා. අනේ මන්ද බං.  අද නම් කතා කරන්නම ඕනේ.

එහෙම කීවට ඉතින් හැමදාමත් සමීර චතූව දැක්ක ගමන් පසු බහිනවා. කතා කරනවා තියා මූණවත් බලන්නෑ.

ඕං ඔහොම අවුරුද්දම ගත වුණා. දැන් ඉතින් ඕ ලෙවල් විභාගේ එහෙම අත ළඟටම ඇවිත්. මේ කාලේ ඉතිං අපි පාඩම් වැඩ කෙසේ වෙතත් සමරු පොත් ලිවිල්ල නම් කිසිම අඩුවක් පාඩුවක් නැතිව කරනවා. බෑග් එකේ ඉස්කෝල පොත් වලට වඩා වැඩියෙන් සමරු පොත් අරන් ගියා හවස ගෙදර යද්දී. හැමෝටම සුභ පතලා. සම්බන්ධ කරගන්න පුළුවන් දුරකතන අංක, ලිපින එහෙම ලියලා සමරු පොත පිරිලා තිබුණා.

එකම එක රෝස පාට පිටුවක් වෙන් කරගෙන තිබ්බ චතූ එයාගේ රවුම් අකුරු වලින් පිටුව පිරෙන්න මට සුබ පැතුම් එකතු කරලා.

ඒ හලෝ කෝ ඔයාගේ ඔටෝග්‍රාෆ් එක??? මට දෙන්නැද්ද?

මාගේ සමරුපොත සමීරට දෙන ගමන් මං ඇහුවා. මුංට දෙන්න මතක නැත්තං අපි ඉල්ලලා හරි සුබ පතන එක යුතුකමනේ...... හිහ්

නෑ බං. මං පොතක් හැදුවේ නෑ. එකටවත් මට හිතක් නෑ.

සමීර අවුලෙන් කියලා මට තේරුණා.

මගේ සැමරුම් පොතේ චතූ සටහනක් දාලා තිබුණු පිටුවට කලින් පිටුවේ සමීර මට සුබ පැතුම් එක් කරලා තිබුණා. ඒ වගේම එයා චතූගෙන් සමාව ඉල්ලලා තිබුණා හරිම සංවේදී විදිහට.


*****************

           
දැං වර්තමාන කතාව,

එදා බස් නැවතුම්පොලේදී මුණගැහුණට පස්සේ මට සමීරව කාලෙකින් මුණ ගැහුණේ නෑ.  මුන් දෙන්නගේ කතාවත් එහෙම්ම අමතක වෙලා ගියා මට.  සමීර සේවය කරන්නේ ආරක්ෂක අංශයේ. යුධ හමුදාවේ. ඉතිං එකම ගමේ හිටියත් මට එයාව මුණගැහෙන්නේ බොහොම කලාතුරකින්.

සති දෙකකින් විතර පස්සේ සමීරගෙන් මට කෝල් එකක්.

ආ.... ඉලංදාරියා අපිවත් මතක් වෙනවා නේ ඉඳලා හිටලා.

හ්ම්,

වෙනදට නවතින්නැති තරමට කතා කරන සමීරගේ ලොකු නිහඬ බවක් මට දැණුනා.

මොකෝ බං අවුල?

චතූ බඳිනවලු බං.”

සීතලම සීතල හඬකින් සමීර උත්තර දෙනවා මට ලාවට ඇහුණා.

මොකක් ??? අනේ යනවා යන්න බොරු නොකියා. මට කියවුණා.

ඒ වගේ විහිලු දරුණු වැඩියි බං. ඇත්තම ඇත්ත.

මට මහා අසරණ කමක් දැණුනා.

ඒ හලෝ මොනා කරන්නේ ඉතිං දැන් ?? උත්තරයක් නැති ප්‍රශ්නයක් මං ඇහුවා.

උඹ දන්නවද බගීයෝ එදා වෙච්චි දේ ??

මොකද්ද? කවද්ද?  මං ඇහුවා.

එදා ඔයාව මීට් වුණු දවසට පහුවෙනිදා, මං එදා හවස අප්පච්චි එක්ක ටවුන් එකට ආවා බඩු වගයක් ගන්න.

ඉතිං

යන ගමන් චතූව දැක්කා බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නවා.මං ඉතිං වීල් එක පොඩ්ඩක් ස්ලෝ කලා.

පුතේ අර ඉන්නේ  *****  මිස්ගේ දුව නේද, එයාවත් එක්කන් යමු. බස් එක එනකල් ඉන්නවා ඇත්තේ....

අප්පච්චි කීවා.

මට ඉතිං මල් හතයි. අවුලක් නැතුවම චතු වීල් එකට නැග්ගා. අප්පච්චිත් හිටිය හින්දා වෙන්නැති.
පස්සේ මොකෝ වුනේ ???

අප්පච්චි එක්ක කෙල්ල කතාවක් දාන් ආවා. මං ඉතිං මෝඩයා වගේ කට පියන් ආවා.

සමීර ඔයාගේ ෆෝන් නම්බර් එක මං ළඟ නෑ. දෙන්නකෝ. උදව්වක් ඕනි උණොත් ඉල්ලන්නවත් බැරියැ. කෙල්ල කියපි.

මළා අංකලුත් හිටියා නේද, හිහ් මරු වැඩේ. මට හිනාවක් ගියා.

මරු තමයි උඹට නම් හිනා. අහනවකෝ විස්තරේ මැදින් ඇඩ් නොදා.

 සමීරට මළ පැන්නද කොහෙද,

 මං ඉතින් හොඳ එකා වගේ අප්පච්චි දිහාත් බලලා නම්බර් එක දීලා එයාගේ එකත් සේව් කර ගත්තා.
කෙල්ල වීල් එකෙන් බැහැලා අප්පච්චිටත් වැඳලා කරලා යන්න ගියා.

ඒ දරුවා ඔයාගේ වයසද පුතේ?

අප්පච්චි අහපි. මං උඩ ගියා. මේ මොකද්ද වෙන්න යන්නේ කියලා.

ඔව් වෙන්නැති. භාග්‍යාලගේ පන්තියෙද කොහෙද,මං ගැලවිලා යන්න උත්තරයක් දුන්නා.

පස්සේ මොකෝ වුණේ ?? ගෙදර ඇවිත් කෝල් කලාද ???

කොල්....... කෝල් තමයි. ඉඳපන්කෝ කියනකල්.”
අනේ ඒ දරුව නම් පුතේ හරිම සීදේවී. අදහසක් එහෙම තියෙනවනම් කියන්න පුතේ. අප්පචිචි කීවා.

ඉතිං, එහෙනම් අවුලක් නෑනේ බං ???? උබ ද එතකොට චතූ මැරි කරන්නේ??? මං කීවා.

නෑ බං. හවස චතූ කෝල් කලා. ප්‍රපෝසල් එකකින් එයා මැරි කරනවලු ලබන මාසේ බං.
අපේ අප්පච්චි හිටිය නිසා කියන්න ලැජ්ජා හිතුනාලු බං. මං මොනාද බං කරන්නේ?? පිස්සු වගේ....


යාළුවගේ ආදරේ නිසා මගේ ඇහැට නැගුණු කඳුලක් හෙමින් කම්මුලට වැටෙනවා මට දැනුණා. ඒ වගේම සමීර අවුරුදු 7 කටත් වැඩි කාලයක් හිතේ හිරකරන් හිටිය ආදරේ මහා බර සුසුමක් විදිහට නිදහස් කරනවා ජංගම දුරකතනයෙන් මට ඇහුණා.


**********

Tuesday, June 21, 2016

මාගේ සැමරුම් පොතේ..........1



එදා හවස වැහිබර අහස පොළවට ඔරවන් හිටියේ, මේ දැං වැස්සක් වැටෙන්නයි යන්නේ කියන්න වගේ. මං ඉතින් සාරි පොටත් අතේ පටලෝගෙන බස් එකෙන් බිමට බැහැලා බස් නැවතුම්පොලට ලඟාවුණා. ගෙදරට යන්න තවත් බස් එකක යන්න තියෙන නිසාත්, බස් එක එන්න වෙලා තියෙන නිසාත් මං ෆෝන් එකත් අතට අරගෙන බ්ලොග් එකක් කියවන්න පටන් ගත්තා.

දැං ෆෝන් එක අතේමයි නේද???  ආ..........

ළඟින්ම ඇහුණු හුරු පුරුදු කටහඬට මං හැරිල බැලුවා. සමීර. බොහොම කාලෙකින් මුණ ගැහුණු මගේ යාළුවා. අපි දෙන්නම එකම ගමේ. එකම දහම්පාසලේ ඉගෙන ගත්තේ. බාලිකා පාසලක ගිය මට යාළුවෝ හැටියට පිරිමි ළමයි හිටියේ බොහොම අතලොස්සයි. එයින්, සමීර දැනටත් කතාබහ කරන මගේ හොඳ යාළුවෙක්.

අම්මෝ මෙයාව දැක්ක කල්, නිවාඩු ද??

ඔව් බං, හැමදාම මේ වෙලාවටද එන්නේ?

දන්නවනේ ඉතිං ඕෆ් වෙන්න කලිං එන්න බෑනේ..... හිහ්.”

යාළුවෝ කවුරුත් හම්බෙන්නැද්ද දැං ??? මේ මරු වැඩක් වුණානේ. මට චතූව මීට් වුණා.

මගේ ටිකිරි මොළේට ටක් ගාලා මතක් වුණා, මුන් දෙන්නගේ අතීත කතාව. ඔක්කෝටම කලිං වර්තමාන කතාව අහගෙන ඉන්න ඕනි කියල මට හිතුනා. 

මාත් දැක්ක දවස් දෙක තුනක්ම බස් එකේදී. දැං එයත් වැඩ නේ..... ඉතින් කියන්නකෝ මොකෝ වුණේ?

ඔන්න මං ඊයේ මේ වෙලාවට මෙතැන ඉන්නකොට චතූ ආවනේ බස් හෝල්ට් එකට.

ඒක තමයි මේ අදත් කැරකෙන්නේ, හිහ් ........... ඉතිං ඉතිං මොකෝ කීවේ එයා.

මං හිතන්නේ අවුරුදු දෙක තුනකට පස්සේ මං එයාව දැක්කේ,  ඉතිං මාත් ගෙදර යන්නේ ඒ පැත්තෙන් නිසා මාත් එක්කම යමුද ඇහුවා.

ඉතිං ඉතිං……”  මං හූමිටි තිබ්බා.

කෙල්ල අදි මදි කලා. ඉන්පස්සේ මං පොඩ්ඩක් ගණං උස්සලා කීවා, ඔව් ඉතිං දැං අපිත් එක්ක යන්නෑනේ. අපිව ශුවර් නෑනේ. අපි යාළුවෝ නෙවෙයිනේ.....කියලා

කෙල්ල ගොඩනේ අනිවා නගින්න ඇති වාහනේට.

හ්ම් නැග්ගා තමයි....ගේ ගාවින් බහිනකන් වචනයක් කථා කලේ නෑ....

පව් අප්පා... කොල්ලගේ මූණ දික් වෙලා. කදුළුත් පැන්නද මන්දා..

මොකෝ බන් මේ.... ඕවට අප්සෙට් ගන්න එපා බං. ඕවා ඔහොම තමයි.

කොහෙද ඉතින් උබල කිසිම සපෝර්ට් එකක් නෑනේ. ඉස්සරත් එකයි, දැනුත් එකයි.

හරි හරි ඉතිං, සොරි ඉතිං. මං දැන් මොකද්ද කරන්න ඕනේ ?

මං ශේප් එකේ සමාව භාජනයක දැම්මා. ඇත්තටම මුගේ සිරාම සිරා ලව් එක ගොඩදාගන්න උදව් කරන්නේ කොහොමද කියලා මං ඒ වෙලාවේ හිත හිතා හිටියේ.

අනේ මන්දා බං, අද නම් එයා නෑ වගේ. අන්න බස් එක එනවා යං. 


***************


සමීරව මුණ ගැහිලා ගෙදර ආව මං පරණ මතක ටිකක් අවුස්සන්න හිතාගෙන මේසේ කොණක තිබුණු මගේ සැමරුම් පොත එළයට ගත්තා. සමීරගෙයි චතුගෙයි කතාවෙන් බාගයක්ම මගේ සැමරුම් පොතේ රෝස පාට පිටුවක් ලියැවිලා තිබුණා.  එදා අවුරුද්දේ මුලම ඉස්කෝලේ පටන් ගත්ත දවස. කාලයක්ම අත්තම්මලා ගෙදර ඉඳන් එහේ තිබුණු ඉස්කෝලෙකට ගිය සමීර අපේ අසල්වැසි මිශ්‍ර පාසලට ආව පළවෙනි දවස. අවුරුදු දහයක්ම ඉස්කෝලේ ගිය අපි හැමෝම එකොළහ වසරට පය තිබ්බ දවස. කොහොමත් අවුරුද්දේ පළවෙනි දවස උගන්නන්නේ බොහොම අඩුවෙන්නේ.

ඉස්කෝලේ ඇරුණයින් පස්සේ  අපි යාළුවෝ සෙට් එකක්ම කතාවක් දාන් බස් ස්ටෑන්ඩ් එකට  ආවා. යාළුවෝ ටික තම තමන්ගේ ගෙවල් වලට යන බස් වලට නැග්ගා . මාත් සුපුරුදු පරිදි හවස දෙකට ටවුන් එකෙන් පිටත්වෙන බස් එකට නැග්ගා. මෙන්න ඉන්නවා සමීර බස් එකේ,

හලෝ....... ඉතිං කොහොමද අළුත් ඉස්කෝලේ?

අවුලක් නෑ බං. ශේප් එකේ ඉන්නවා.

සමීරගේ මූණේ තිබ්බේ නම් නූලෙන් රැග් එකෙන් බේරුණු පාටක්.

අද නම් යන්තන් ගැලවිලා ආවා. හෙට නම් අනිවා දඩයක් වදිනවා. හිහ්...

ඕවා ඔහොම තමයි බං, තව අළුත් ළමයි ඇවිත් හිටියද?

ඔව් තව දෙතුන් දෙනෙක් හිටියා.

බස් එකේ වැඩි සෙනඟකුත් හිටියේ නැති නිසා අපි දෙන්නා පොඩි කතාවක් දාන් හිටියා. බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනකොටම බස් එකට ගොඩවුණේ චතූ.

ඒ කවුද බං ඒ......???

එන පාරක් දැකපු කෙනෙක් ආයේ පාරක් හැරිලා බලන තරම් සුන්දරත්වයක් තිබුණු චතූ මාත් එක්ක හිනාවෙලා බස් එකට නගිද්දිම සමීර ඇහුවා.

මගේ යාළුවෙක්. පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්නවා පැණි හලන්න පටන්ගන්නැතිව.

මං ඔච්චමට එහෙම කියලා චතූ දිහා බැලුවා.

එන්න මෙතනට.

 මං හිනාවෙලා, චතූට කීවා.








Thursday, June 16, 2016

අවුරුදු ඇවිත්





 අද 11 වෙනිදා,
හෙට අවුරුදු
හවසට ගෙදර යන්න බස් තියෙයිද,
අම්මාට අප්පච්චිට නංගිට ගත්තු ඇඳුම් හරියයිද,
කැවිලි මොනාහරි හැදුවද දන්නෑ,
අම්මාගේ කොන්දේ ඇවිලිල්ලත් වැඩිවෙලා කීවා.
මේ සැරේ පැණි වළලු නැති හැඩයි
නංගිගේ පාඩම් වැඩ කොහොමද දන්නෑ,
වැස්සත් එක්ක බස් වල යන එක ???
මේ දවස්වල සෑහෙන සෙනඟ  පාරේතොටේ.

මේ ඔක්කොම හිත හිතාම
කුඩේ යටින් මග අයිනෙන්
මං යද්දී පරිස්සමින්
අතර මගදි ඈ උන්නා
මහ වැස්සට තෙමීගෙනම
ඈට තිබුණෙ සහනයකට
හිස මත වූ අත පමණයි



ඉතිං අපිට අවුරුදු ඇවිත් .......







ප.ලි.   -  අප්‍රේල් මාසේ ලිව්ව එකක්.

Saturday, May 7, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 5 ( අවසන් කොටස )





මේ කොටසින් අපේ පැත්තේ ගොයම් වගාව ලිපි පෙළ ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කොටසින් මං විස්තර කලේ ගොයම් පෑගීම සම්බන්ධව.  ඒකෙදි කියන්න අමතක වුණු කාරණයක් තියෙනවා. ඒ තමයි මී හරක්ගේ සහයෝගයකින් තොරව ගොයම් පඳුරෙන් වී ඇට වෙන් කරගන්න ක්‍රමය. බොහෝ වෙලාවට කුඩා කුඹුරු හිමියෝ මේ ක්‍රමය අනුගමනය කරනවා. මේ ක්‍රමයෙදී කුඩා කමතක් සකස් කරගන්නවා. කපාගත්තු ගොයම් ටික කමතට ගෙනාවට පස්සේ, කමතේ තියෙන තරමක් විශාල ගලක් / කොටයකට මේ ගොයම් ටිකෙන් පහර දෙනවා. වී ඇට ටික බිමට වැටුනට පස්සේ, පිදුරු ටික කමතෙන් ඉවත් කරනවා. මිනිස් ශ්‍රමය තමයි මෙහිදී භාවිතා කෙරෙන්නේ. තරමක් විශාල කුඹුරු සඳහා මෙම ක්‍රමය සාර්ථක නැහැ.


ඊළඟ අදියර වෙන්නේ ගොයම් ගහෙන් වෙන් කරගත්ත වී ටික පිරිසිදු කරල ගබඩා කරන්න එක. ගොයම් පඳුරෙන් වෙන් කරගත්ත වී කමත් භාෂාවෙන් හඳුන්වන්නේ බැත කියලා. වෙන් කරගත්ත බැත ටික, බෝලත්ත පාවිච්චි කරල එක තැනකට එකතු කරගන්නවා. ගොයම් මඩවන අතරතුරදී මලු වලට එකතුකර ගත්ත බැත ටිකත් මේ ගොඩටම එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ බැත එක්ක මිශ්‍ර වෙලා තියෙන පිදුරු කැබලි වෙන් කරගන්න එක. මේ විදිහට බැත එක්ක මිශ්‍ර වෙලා තියෙන අපද්‍රව්‍ය / පිදුරු කෑලි හඳුන්වන්නේ කාටුව කියලා. කාටුව ඉවත් කරගැනීමේ ක්‍රියාදාමය තමයි බැත පවන් කිරීම. ඉස්සර ස්වභාවික සුළඟත් එක්ක බැඳිලා තිබුණු මේ වැඩෙත් පසු කාලීනව යන්ත්‍ර සූත්‍ර වලට පැවරුණා. කමත මැද හිටවපු කතිරය උඩට නැගලා තමයි බැත පවන් කරන වැඩේ කරන්නේ. කතිරය කියන්නේ තරමක් උස ලී කණු තුනක් භාවිත කරලා හදාගන්න අට්ටාලයක් වගේ එකක්. තනි පුද්ගලයෙකුට අපහසුවක් නැතිව කතිරය උඩ රැඳෙන්න පුළුවන්. මං හිතන්නේ මේ කතිරයට එක එක පැති වල භාවිතා වෙන නාමයන් වෙනස්. කතිරය උඩට නගින එක්කෙනාට පොඩි කුල්ලකට බැත පුරවලා දෙනවා. ( කුල්ලට කමත් භාශාවෙන් කියන්නේ යතුර කියලා.) එයා ඒක අරන් හුළං එන පැත්තට හරවලා කාටුව අයින් වෙන විදිහට බැත පවන් කරනවා. ගොඩක් වෙලාවට මේ වැඩේට පළපුරුදු ගොවි මහත්තයෙක් තමයි කතිරෙ උඩට නගින්නේ. බැත පවන් කරන මුල් වෙලාවේ ආධුනිකයින්ට අවස්ථාවක් ලැබෙනවා මේ වැඩේ පුරුදු පුහුණු වෙන්න. සුළං පවතින දිශාව ගැන අවබෝධයක් වගේම සුළගේ වේගයත් මේ වැඩේ සාර්ථකව නිම කරගන්න දායක වෙනවා.

අපේ පැත්තේ දැන් මේ වැඩේට පාවිච්ච් කරන්නේ ෆෑන් එකක්. අපේ තාත්තාත් ඔය යන්ත්‍ර සූත්‍ර වලට බොහොම මනාප පුද්ගලයා නිසා ෆෑන් එකක් අපේ ගෙදරත් තියෙනවා. ඒකෙන් නම් වැඩේ හුඟක් ලේසි වෙනවා. නැත්තන් හුළඟක් එනකන් කතිරය උඩට වෙලා ඉන්න වෙනවනේ. ෆෑන් එක නිසා කතිරයේ අවශ්‍යතාවක් නැති තරම්. පහතින් තියෙන රූප වලින් දැක්වෙන්නේ කතිරයක් නැතිව ෆෑන් එකෙන් බැත පවන් කරන අවස්ථාවක්
           
          මේන් මේ වෙලාව පුංචි ඈයෙන්ට ගොඩක් සතුටු කාලයක්. මොකද මුළු කුඹුරෙම පිදුරු ටික එකතු කරලා ගොඩ ගහලා තියෙන නිසා හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. පිදුරු ගොඩේ සෙල්ලම් කරන අය දන්නවා ඒකේ තියෙන ආශ්වාදය. හිහ්, නැද්ද මං අහන්නේ.
හවස නාද්දි තමයි වැඩේ තියෙන්නේ, පිදුරු වලට කැපුණු අතපය ඔක්කොම දැවිල්ලයි. හැබැයි ටික දවසකින් ඒ ඔක්කොම සනීප වෙනවා කියලා දන්න නිසා, පහුවදාත් අපි අහළ පහළ ඉන්න යාළුවෝ කට්ටියම යනවා සෙල්ලම් කරන්න. අපේ අම්මි අත් දෙක දිගට තියෙන ඇඳුමක් අන්දවලා තමයි යවන්නේ ඉතින්. ඒ නිසා හොඳයි. නැත්තන් පිදුරු වලට කැපිලා තුවාල වෙනවා සමහර වෙලාවට. පිදුරු ටිකක් වේලුනාම කැපෙන ගතිය අඩුයි. ඒ අත්දැකීම් විස්තර කරන්න මගේ වචන ප්‍රමාණවත් මදිද මන්දා,

 ඊ ළඟට මේ විදිහට අපද්‍රව්‍ය ඉවත් කරගත්ත බැත ටික වේලගන්න ඕනේ. විශාල මිදුලක් නැති නිසා මේ වැඩේට හොඳම තැන තමයි කමත. ගොඩක් වෙලාවට බැත පවන් කරලා අවසන් වෙද්දි හවස් වෙන නිසා මේ වැඩේට පහුවදා වෙනකන් බැත ටික කමතේ තියන්න වෙනවා. පහුවදා වෙනකන් කවුරු හරි කමතේ ඉන්නවා. කුඹුරු අයිතිකාරයා නැත්තන් ඒ පවුලේ වැඩිමල් තරුණයා තමයි මේ වැඩේ කරන්නේ. ඔහුගේ සහයට තව කීප දෙනෙක් කුඹුරේ නතර වෙනවා.
  
           
            පොඩියට හදාගන්න පැලේ තමයි මේ උදවිය රාත්‍රිය ගත තරන්නේ. රෑ පින්න වගේම එක දිගට වැඩ කරපු මහන්සිය නිසා අනිවාර්යයෙන් පහුවදාට මේ හැමෝටම උණ හැදෙනවා. රෑ වැස්සොත් අවුරුද්දටම කන්න තියෙන වී ටික පැළ ඇතුලට දාන්නත්, වැස්ස පායන වෙලාව වෙනකන් එළියට වෙලා ඉන්නත් ගොවි මහත්තුරුන්ට සිද්ධ වෙනවා. වැස්සොත් කමත වේලෙනකන් ඉඳලා තමයි ආයෙත් බැත ටික කමතට දාන්නේ. දවල් වරුවම තද අව්වක් ආවේ නැත්තන් පහුවදාත් මේ වැඩේ වෙනුවෙන් ගත කරන්න වෙනවා.

            අපේ තාත්තත් අපි වෙනුවෙන් මේ විදිහට දුක් විඳි දවස් තියෙනවා කියලා මතක් වෙද්දි උගුර හිරවෙලා ඇහැට කඳුළු උනනවා. ඒ අයගේ කැපකිරීම් ගැන කථා කරන්න ගියොත් මේ ලිපි පෙළ ඉවර කරන්න වෙන්නේ නෑ මට. අනිත් දේවල් ඔක්කොම අමතක කලත් අතපය හතර හොඳට හදලා එක වේලක්වත් අපිව බඩගින්නේ   නොතිබ්බට රත්තරං අම්මට තාත්තටයි මං මැරෙනකන් වගේම ලබන ආත්මෙටත් එක්කම ණයයි.
අපේ තාත්තා ගෙදර නැතිව ඉස්සර මට නින්ද යන්නෑ. ඉතිං පුංචිම කාලේ මං අඬනවා තාත්තා එක්ක කුඹුරෙ ඉන්න ඕනි කියලා. කියන්න දෙයක් නෑනේ ඉතිං ඒකට අවසර ලැබුනේ නෑ කියලා.

            වේලීමෙන් පස්සේ බැත ටික කමතෙන් ගෙදරට ගේනවා. ඉස්සර මිනිස්සුන් ඔළුවෙන් තමයි බැත ගෙවල් වලට ගෙනාවේ. දැන් නම් ලොරියකට පටෝලා ගෙදර ලඟින් බා ගන්නවා.  වැස්සක් ළඟයි වගේ දැනුනොත් අහළ පහළ අය වගේම පාරෙ යන අයත් බැත ටික ගේ ඇතුළට ගන්න සහාය වෙනවා. බැත ටික තෙමුණොත් ආයෙම වේලගන්න තියෙන අමාරුව ගැන හැමෝටම අවබෝධයක් තියෙන නිසා තමයි ඒ.
ඉස්සෙල්ලාම වී ගෝනියක් මෝලට අරන් ගිහින් අඹරලා ගන්න හාල් වලින් කොටසක් නෑදෑයින්ට දෙනවා අළුත් සහල් වලින් කිරිබත් ටිකක් හදන්න කියලා. ඒක බොහොම සුහදශීලී චාරිත්‍රයක්. හැබැයි එක්කෙනෙක්ටවත් දෙන එක අමතක කරන එක හොඳ නෑ.    

( දන්න අඳුනන ඈයෝ කඩේට ගිහින් ගල් වැලි ඉවත් කරන ලද හාල් හොයද්දි මට ඉතිං හිනා යනවා. ඒ වෙන දේකට නෙවෙයි. අපේ කම්මැලිකම ගැන මතක්වෙලා )



ගොයම් වගාව ඉවරයි. ඔන්න ආසාවෙන් වගේම බොහොම අමාරුවෙන් මේ ලිපි පෙල කියෙව්ව ඔයාලා හැමෝටම ස්තූතියි. හැලපතුමා ගොයම් වගාවේ රසවත් සිදුවීම් ලියනවා කියලා මේ ලිපි පෙලේ එක කොමෙන්ටුවක කොටලා තිබුණා මතකයි. ඒ ලිපි කියවන්නත් බලාපොරොත්තු වෙනවා.









Monday, April 25, 2016

Refresh



කාලෙකින් වැස්සක් වැටිලා
හැමතැනම සිරියාවයි
වටපිටේ දූවිල්ල හේදිලා ගිහින්
මැලවිලා තිබුණු ගස් කොළන් ඔක්කෝටම
අමුතු පණක් ලැබිලා

මෙහෙම ඉඳලා බෑ
පරිසරයත් එක්කම මාත් refresh වෙන්න ඕනේ
පාරේ තිබුණු වතුර වලක් උඩින් පනින ගමන් මං හිතුවා.

බෝඩිමට ආවමයි දැක්කේ,
ගිය සතියේ submit  කරන්න දුන්නු assignment එක

තාම මේසේ උඩ.




Friday, March 25, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 4



       
   

  අපේ පැත්තේ ගොයම් වගාවේ ඊළඟ කොටස. ටිකක් කල් ගියා ලියන්න. කට්ටිය ඒ ගැන සමාවෙන්න ඕනේ. ඇත්තෙන්ම ගොයම් වගාව කියන්නේ හුඟක් කල් ගත වෙන ක්‍රියාවලියක්. ගොයම් වගාවේ සුන්දරම කොටස වෙන්නේ මේ අස්වනු නෙළන කාළය. පුංචි ඈයොන්ට වගේම ගොවි මහත්තුරුන්ටත්  ඒක සතුටුදායක කාලයක්.
           
            කලින් පෝස්ටු වල කියන්න බැරි වුණු වැදගත්ම කථාවක් තියෙනවා. ඒ තමයි මං මතක ඇති කාලේ ඉඳන් අපේ කුඹුරු වල වැඩ කරද්දී මාගේ කාර්යභාරය. වෙන මුකුත් නෙවෙයි බොල, කඩේ යෑම. කිසි අවුලක් සැක සංකාවක් නැතිව අපේ තාත්තාත්, අම්මත්, නෑදෑ පිරිසත් මාව කඩේ යවන්න එක හිතින් එක පයින් එකඟ වුණා.
පුතේ, කඩේට ගිහින් පාන් ටික ගේන්න. පුතේ, කඩේට ගිහින් බිස්කට් අරන් එන්න. පුතේ, කඩේට ගිහින් බුලත් විට ගේන්න. පුතේ, කඩේට ගිහින් ගිනි පෙට්ටියක් ගේනන. පුතේ, කඩේට ගිහින්............පුතේ, කඩේට ගිහින්.........
ඒ වගේමයි ගෙදර යාමත්.
පුතේ උදලු මදි වගේ, එකක් මඩුවෙ තිබුණා. අරන් එන්න. පුතේ උදේ අපි දාලා ආව කුළු දෙක ගේන්න වෙයි වගේ. අර අනිත් දැති ගොයියාවයි, බෝලත්තයි අරන් එන්නකෝ ගෙදර ගිහින්. ඊට අමතරව අම්මත් එක්ක තේ ගේන්නත් කෑම ගේන්නත් ගෙදර යන්න සිද්ධ වුණා.
මේං මේ විදිහට දවසකට දහ දොළොස් වතාවක් කඩේ යෑම්, ගෙදර යෑම් සිද්ධ වුණා. ඒක එදත් අදත් කුඹුරු වැඩ කරද්දී මට පැවරෙන අති උත්තම භාරදූර කාර්යයක්. මං දන්න ළඟම කඩේ තමයි අපේ ගෙදර ළඟ කඩේ. ඉතින් ගෙදර ගියත් කඩේ ගියත් ඒ තරම් වෙනසක් නෑ. බලන් ගියහම මං වැඩිපුර කරල තියෙන්නේ, වැඩට උදව් වෙනවාට වඩා ඇවිදින එකද කොහෙද, හිහ්......

දැන් ඔන්න අස්වනු නෙලීමේ කාලය. මෙච්චර දවස් ඇස් දෙක වගේ පරිස්සන් කරපු ගොයම් පැළෙන් අස්වනු ගෙට ගන්නයි තියෙන්නේ. මුලින්ම කමත සකස් කරගන්න ඕනේ. ඒ  වැඩේට සුදුසු රවුම් හැඩේ ලියද්දක් තෝරගෙන ගොයම් ටික කපලා තාවකාලික තැනක ගබඩා කරගන්න ඕනි. අපේ කුඹුරේ තේ බොන්න, කෑම වර්ග පරිස්සම් කරලා අරන් තියන්න පොඩි පැලක් හදනවා තාවකාලිකව. මේ කාලෙට තාත්තා නම් ඒ කපපු ගොයම් ටික අර අටෝගත්තු පැලෙන් අරන් තියනවා. ඉන්පස්සේ මේ කමත කපන්න අදහස් කරන ලියද්ද හොඳට සුද්ධ කරල ඉපනැලි කොටස් ඉවත් කරනවා.  රවුමට ලස්සනට කමත සකස් කරනවා. කමත වටේ අඩියක් විතර උසට ගොඩැල්ලක් හදන්න ඕනි. බිම ගානට ලස්සනට එක මට්ටමකට හදන්න ගොවි මහත්තයාගේ අත්දැකීම් උදව් වෙනවා. මැටියි ගොමයි වතුර එක්ක මිශ්‍ර කරල ලස්සනට කමත පුරා ගාන්න ඕනේ. මැටි පොළවක් තියෙන ගෙවල් වල ගොම මැටි ගාන විදිහටම ලස්සනට කමත හදාගන්න ඕනි. මේ විදිහට හදාගත්ත කමත අව්වට වේලෙන්න ඕනි. අපේ කුඹුරේ කමත හදන ලොකු රවුම් ලියැද්ද කවදාවත් සම්පූර්ණයෙන් වේලෙන්නේ නෑ. ඒ ලියද්දට වතුර උනනවා. ඉතින් හැමදාම හරිම කරදරයි.



කමත වේලුනාම ගොයම් කපනවා. ඒ වැඩේටත් ගොයම් හැදිල්ල වගේම තමයි. උදව්වට, අත්තමට ගොඩක් කට්ටිය එකතු වෙනවා. සමහරු ගොයම් කපන දෑ කැති අරන් එනවා. නැත්තන් වෙන එක්කෙනෙක්ට මහන්සි වෙනකන් බලන් ඉන්න වෙනවා දෑකැත්තක් ඉල්ලගන්න. දෑකැත්ත හරිම විසයි. පිහියට කැපුනා වගේ නෙවෙයි දෑ කැත්තට කැපුනම හුඟක් රිදෙනවා. ඒ වගේමයි තුවාලේ ඉක්මනින් හොඳ වෙන්නේත් නෑ. ඒ නිසා දෑකැත්ත එක්ක වැඩ කරද්දී පරිස්සම් වෙන්න ඕනි. මේ විදිහට කපන ගොයම් කමතට ගේන්නේ ගොයම් පැදුරේ ආධාරයෙන්. ගොයම් පැදුර කියන්නේ ගෝනි දෙකක් එකට තියලා මහලා හදන පැදුරක්. මුලින් ගොයම් ලණුව එලනවා, දෙපොටක් වැටෙන්න. ඊට උඩින් ගොයම් පැදුර එලනවා. පැදුර උඩින් කපපු ගොයම් ටික පිලිවෙලට අහුරනවා. පස්සේ අර ලණු දෙපොටෙන් ගැටයක් දානවා. එක කොනකින් ඇද්දම ඉක්මනින් ලිහිලා යන විදිහට. ගොයම් පැදුර නිසා වී කරලෙන් වී ඇට බිමට වැටෙන එක අඩු වෙනවා. ඉහතින් දැක්වෙන රූපයේ ගොයම් පැදුර භාවිතා කරල ගොයම් මිටි බඳින විදිහ දැක්වෙනවා. මේ විදිහට කමතට ගේන ගොයම් කමතේ එක පැත්තක රවුමට අහුරගන්න ඕනි. ඒකට කියන්නේ කොළ ගෙඩිය හදනවා කියලා. කන්දක් වගේ ගොයම් ගෙඩිය හදල ඉවර වුණාම මාර ලස්සයි. සමහරු කොළ ගෙඩිය හදන්නේ කමතින් පිට තැනක. පහතින් තියෙන රූපයෙන් දැක්වෙන්නේ කොළ ගෙඩිය හදන අවස්ථාවක දර්ශනයක්.


ඊළඟට තියෙන්නේ ගොයම් මැඩවීම. කොළ මඩිනවා කියන්නෙත් මේ වැඩේටම තමයි. ලොකු වෙල් යායවල් තියෙන පැති වල මේ වැඩේට දැන් ලොකු යන්ත්‍ර සූත්‍ර භාවිතා කළාට ඉස්සර මේ වැඩේට මී හරක් තමයි උදව් කරගත්තේ. අපේ පැත්තේ මේ මෑතක් වෙනකල්ම මී හරක්ගේ උදව් ගත්තා. ඒත් දැන් දැන් ඒ වැඩේටත් කුරුමිණියගේ සහය පතනවා. හැමෝටම කුරුමිණියා මතක ඇති කියලා හිතනවා. ( කුරුමිණියා කියන්නේ කුඹුර හාන මඩ කරන වැඩ වලට භාවිතා කරන යන්ත්‍රයකට අපේ ගමේ උදවිය දාලා තියෙන අන්වර්ථ නාමයක්. කලින් පෝස්ට් වල මං ඒ ගැන සඳහන් කරල තියෙනවා. මතක නැත්තන් සමාවෙලා පොඩ්ඩක් බලන්න හොඳේ.)

කොළ මඩවන දවසේ පාන්දරම ඇවිත් මුලින්ම ගොයම් අහුරක් අරගෙන කමත මැද තැන්පත් කරනවා. ඒ ගොයම් අහුරට කියන්නේ උප්පිට කියලා. ඊට පස්සේ කොළ ගෙඩියෙන් ගොයම් අරන් කමත මැදට දා ගන්නවා. මේ වැඩේට භාවිතා කරන උපකරණය තමයි දැත්ත. දැතිගොයියාව කියලා කියන්නෙත් මේකටම තමා. පුරුදුකාරයෙක්ට නම් දැතිගොයියාව හසුරුවන එක එච්චර අමාරු වෙන්නෑ. කාන්තා පාර්ශවේ උදවිය කමතේ වැඩ වලට දායක වෙන්නේ බොහොම අඩුවෙන්. දැතිගොයියාවෙන් නම් වැඩ කරන්නේම නැති තරම්. ඊළඟට මී හරක් බානක් එකට ඈඳලා ගොයම් පාගනවා. සමහර පැති වල මී හරක් දෙබානක්, ඒ කියන්නේ හතර දෙනෙක් එකට ඈඳලත් ගොයම පාගනවා. අපේ පැත්තේ කමත එච්චර ලොකුවට හදන්න අමාරුයි. ලියදි පුංචි නිසා. ඊළඟට ඉතින් පැය හය හතක් ගොයම් පෑගිල්ල තමයි.  මේ වැඩේදි විටින් විට ගොයම් කොලේ පැත්තට කරල, වැටිල තියෙන වී ගෝනි වලට පුරවලා පැත්තකය කරනවා. ආයෙමත් ගොයම් කොලේ මැදට දාල පාගනවා. මේ වැඩේටත් පාවිච්චි කරන්නේ දැති ගොයියාව තමයි. ගොයම් පඳුරෙන් වී ඇට බහුතරයක් බිමට වැටුනට පස්සේ ගොයම් පෑගිල්ල, එහෙමත් නැත්තන් කොළ මැඩවීම නතර කරනවා.

මඩවද්දි මී හරක් පිටිපස්සේ යන්න අපි මාර ආසයි. ඉතින් මාමාගෙන් හරි තාත්තාගෙන් හරි කෙවිටක් ඉල්ලන් හරක් පස්සේ යනවා. උන් ඉතින් පුරුද්දට ගොයම් කොලේ වටේ රවුමට යනවා.  ඒත් උන්ට තේරුනොත් පිටිපස්සේ ඉන්න එකා මං වගේ ඩෑල් එකක් කියලා, ඊළඟට උන් යන්නේ උන්ට ඕනි විදිහට. ඉතින් අපේ ආසාව සුන් කරල බාප්පා හරි මාමා හරි ලොකු අයිය කෙනෙක් හරි මගේ අතින් කෙවිට උදුරගන්නවා. හරක් පිටිපස්සේ යන එක එපාම වෙන තවත් අවස්ථාවක් තියෙනවා. කට්ටිය දන්නවා ඇති කියල හිතනවා. එක්කෝ ඔන්නොහේ මං ම කියන්නම්. මී හරක් කියන්නෙත් ඉතින් සත්තු ජාතියක්නේ. උන් උන්ගේ ජෛවීය අවශ්‍යතා ඉටු කරන වෙලාවට කෙවිට අරන් පිටිපස්සෙන් යන එකා උන්ට සහයෝගය දක්වන්න ඕනි. ඒ කියන්නේ සරලවම කීවොත් මී හරක් ගොම්පස් දාන වෙලාවට ගොයම් කොලේ හැම තැනම විසිවෙන්නැති විදිහට ගොයම් කොළ අහුරක් අරන් ඒවා අයින් කරලා දාන්න ඕනි. ඕං ඔය වැඩේත් මහ එපා කරපු වැඩක්. හිච්චි ඈයෝ ඇඟ පුරා ගොම්පස් ගාගනියි කියලා ඇතිවන සැකය හේතුවෙන් ආයෙමත් වැඩිහිටියෙක් කමතේ වැඩ වලට එන්ටර් වෙනවා.  ඒ කියන්නේ ආයෙමත් කෙවිට අපේ අතෙන් ගිලිහිලා යනවා. හිහ්...

ගොයම් මඩවන වෙලාවලට මහ වාත ජොබක් සෙට් වෙනවා. කෙවිටේ හිමිකාරීත්වයක් නැත්තන් දඟල දඟල ඉන්න හිච්චි ඈයොන්ට වගේම කාන්තාවන්ට පැවරෙන රාජකාරිය තමයි මුළු කුඹුරෙම ඇවිදලා බිම වැටිලා තියෙන ගොයම් කරල් ඇහිදින එක.  මං ආසම නෑ. අපේ ලොකු අම්මලා නැන්දලා නම් ඒ වැඩේ බොහොම කැමැත්තෙන් ඉෂ්ඨ කරනවා. ගොයම් කපලා ඉවර වුනාට පස්සේ කුඹුරෙ ඇවිදින කොට ඉපනැලි කකුලේ වැදිලා ඇහෙන සද්දේ අහන්න මං ආසයි. ඔය සද්දේ අහන්න ඕනි නිසාම මං අර ජොබ් එකට කැමැත්තෙන් දායක වෙනවා ටිකක් කොයිල් වගේ නේහ්, හිහ්... මං නේ ඉතිං..

            ඉතිරි කොටහ ඊළඟ පෝස්ටුවෙන් ගේන්නම්. එතෙක් ඔබට ජය !!!


ප.ලි.    - කාලය කළමණාකරගැනීම පිළිබඳව ඇති මාගේ දුර්වලතාවය හේතුවෙන් ඇතිවූ ප්‍රමාදයට මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි. කස්ටිය සමා වෙන්ඩොනේ, තව.....සොරි හොඳේ.