Wednesday, January 27, 2016

අපේ පැත්තේ ගොයම් වගාව - 1










මේනකයාගේ ගොඩේ කතා ටික කියෝලා මේන් මේ ටික මතක් වුණා මට. අපේ ගමත් ගොවි ගමක්. ඒ කියන්නේ ගමේ බහුතරයක් දෙනා කරන්නේ ගොවිතැන්. මේ කියෝන බොහෝ දෙනා දන්නවා ඇතිනේ බණ්ඩාරවෙල කියන්නේ එළවළු, මල් වවන පළාතක්. ඉතිං අවුරුද්ද පුරාම අපේ ගමේ ගොවියෝ කන්න භේදයකින්  තොරවම එළවළු හදනවා.  බෝංචියි තක්කාලියි තමයි අපේ පැත්තේ ගොවියන්ගේ ෆේවරිට්. අපේ පැත්තේ දේශගුණයට පසේ ස්වභාවයට ගැලපෙන, එයාලාට ලාභයක් ගන්න පුළුවන් එළවළු වර්ග විදිහට එයාලා දකින්නේ ඒ එළවළු වර්ග දෙක විතරයි. ඒ කතාව එක පැත්තකින් ඇත්ත කියල මටත් හිතෙනවා. ඒ වගේම මේ එළවළු වර්ග දෙක වගා කිරීම පිළිබඳ විශේෂඥ ගොවි මහත්තුරු අපේ ගමේ ඉන්නවා. කලාතුරකින් කැරට්, ගෝවා, අල, මාළු මිරිස්, බීට් වගා කරන අයත් ඉන්නවා. ගොඩක් අයගේ කුඹුරු වල වට්ටක්කා, පිපිඤ්ඤා, ඉරිඟු, අමු මිරිස්, අබ, මඤ්ඤොක්කා, නෝකෝල් පැළයක් දෙකක් තියෙනවා. ඒවා වවන්නේ වාණිජ පරමාර්ථයකින් නෙවෙයි. එදිනෙදා පරිභෝජනයට.

දැනට අවුරුදු දහයකට විතර ඉස්සර අපේ ගමේ කුඹුරු යායම රන්වන් ගොයම් කරලින් බර වෙන කාලයක්  තිබුණා. දැනටත් සමහර ගොවි මහත්තුරු පරණ පුරුදු විදිහට අවුරුද්දකට වතාවක් ගොයම් වගා කරනවා. ඒත් බහුතරයක් දෙනාට ඒ පුරුද්ද මගඇරිලම ගිහිල්ලා. ගොයම් වගා කරන කාලෙට වෙල් යායම බලන්න ලස්සනයි. මද සුළඟත් එක්ක ගොයම් කරල් නැළවෙන විදිහ හරිම චමත්කාරයි. ඒ සුන්දරත්වය වෙන කිසිම දේකට සම කරන්න මට බෑ. අපි දහම් පාසල් යන්නේ මේ වෙල මැද්දෙන් තමයි. මේ ගමනට අපි කට්ටිය දහදෙනෙක් විතර එකතු වුණා. අපේ පැත්තෙන් දහම් පාසල් යන සැට් එක. පුංචිම එකා මම. කියන්න දෙයක් නෑනේ සැට් එක ඇතුලේ මට තිබුණු තත්වෙ. මම වෙල් යාය මැද්දෙ වැටුණොත් විතරයි කවුරුත් මගේ අදහස් විමසන්නේ, ඒත් එකම එක ප්‍රශ්නයයි අහන්නේ.

"රිදුනද?"

 "රිදුනෙ නෑ" කීවොත් "අවුලක් නෑනේ, එහෙනං යං."

"රිදුනා" කීවොත් "කරන්න දෙයක් නෑ, යං ගෙදර."  

රිදුනත් එකයි නැතත් එකයි. හිහ්

දහම් පාසල පටන්ගන්න වෙලාවට බස් එකේ යන්න සීසන් ටිකට් එක තිබුණත් අපි හැමදාමත් ගියේ පයින්. උදේ ගෙදරින් එද්දී සීතලේ ගැහෙන අපි අඩිය ඉක්මන් කරල එනවා. එතකොට සීතල ටිකක් අඩු වෙන නිසා. ඒත් වෙල් යාය මැදින් එද්දී හැමෝගෙම ළමාසාරි වල , සරම් වල පහළ ටික පින්නට තෙමිලා. කකුල් ගැහෙන තරමට සීතලයි ඒ වෙලාවට. ඒ  කන්ද උඩින් ඉර පායගෙන එද්දී අපි හරියටම වෙල් යාය මැද. අපි ඉතින් ටික වෙලාවක් අව්වේ හිටගෙන සීතල මකා ගන්නවා. පරක්කු වෙලා කියලා හිතුණු ගමන් ආයෙත් ඉක්මනින් ඇවිදගෙන යනවා. ඒ අතරේ හෙමින්ම වී කරලක් කඩාගෙන වී ඇටයක් හපල බලනවා ගොයම කිරි වැදිලද කියලා. වී පොතු උගුරේ හිරකරගන්නේ නැතිව මේ වැඩේ කරන එක ටිකක් අමාරුයි. ලාවට කිරි රහක් දැනුණොත් කට්ටියටම සතුටුයි. ගොයම් කරල් දෙකක් කඩාගෙන වී ඇට වල කිරි රහ විඳිමින්ම අපි පන්සල දිහාට ඇදෙනවා. දහම් පාසලට යද්දී සුදු ඇඳුමින් බාගයක්ම තෙමිලා. කිළුටු වෙලා. ඒත් අපි ඒ ගැන එච්චර හිතුවේ නෑ. දහම් පාසලට ආවනේ කොහොමහරි. නෑවිත් ඉන්නවාට වඩා කොහොමහරි එන එක හොඳයිනේ. ආපහු ගෙදර යද්දිත් මේ විදිහමයි. වෙනසකට තිබ්බේ සීතල නැතිකම විතරයි. අපේ දහම් පාසල එකොළහමාර වෙද්දී ඇරෙනවා. ඉන්ටවල් එකක් තිබුණත් කවදාවත් කවුරුත්ම කෑම ගෙනාවේ නෑ. ඉතින් ආපහු යද්දී හැමෝටම බඩගිනියි. එළවළු වගා කරන කාලයට ආපහු යද්දි නියර දෙපැත්තේ කුඹුරු වල ති‍යෙන දේවල් භූක්ති විඳින්න අපි කවදාවත් දෙපාරක් හිතුවේ නෑ. බෝංචි, තක්කාලි, කැරට්, ඉරිඟු, පිපිඤ්ඤා අතට අහුවෙන දෙයක් අපි කඩාගත්තා. ඒක හොරකම් කිරිල්ලක් නෙවෙයි. කුඹුරු අයිතිකාර කවුරුහරි හිටියොත්,

"නැන්දේ, බෝංචි කරලක් කඩා ගන්නද?" අහන පමාව විතරයි.

" හා පුතේ."

 ඒත් සමහර අය නම් එහෙම නෑ. ඒ වෙලාවට අපේ එහා ගෙදර පොඩි අයියා කෑ ගහනවා, "පරලෝකෙට එළවළු එකතු කරනවා" කියලා. ඊළඟට අපිවත් දමලා දුවල ගිහින් එයා නතර වෙන්නේ ගෙදර තමයි.

උදේටයි දවාලටයි සිද්ධවෙන මේ ගමනට පැයක් විතර ගත කරනවා අපි. මොකෝ ගෙදර ආවා කියලා විශේෂ වැඩ මුකුත් තිබුණ කියලයැ. හවසට ආයෙමත් අපි සැට් එකම එහා ගෙදර මිදුලට එකතු වෙනවා. ඇඳිරි වැටෙනකල්ම සෙල්ලම.



















         අපේ ගෙදරට උඩ පැත්තෙන් පාර. ඊටත් උඩින් රජයේ වන වගාව. අපේ පැත්තේ උදවිය ඔය වන වගාවට කියන්නේ බ්ලොක් එක කියලා. ආච්චිලා කියන්නේ බොලොක්කේ කියලා. මං පුංචි කාලේ ඒ පැත්තේ හදලා තිබුණේ පයිනස්. ( pine ) ඉතිං අපි සමහරදාට පයිනස් කෑල්ලට යනවා සෙල්ලම් කරන්න. උදේ ගියාම ආයෙත් එන්නේ දවල් කෑමට. ඊට පස්සේ ආයෙමත් හවස තේ බොන වෙලාවට අම්මලා කථා කරනකල්ම සෙල්ලම. ඒ කාලේ ඉස්කෝලේ යනවාට අමතරව සෙල්ලම් කලාට වඩා වැඩි දෙයක් අපි කලේම නැද්ද කොහෙද,

කිය කියා හිටියේ අපේ පැත්තේ වගාව ගැන නේ.... හිහ්, ටිකක් අමතක වුණා.

වගාව පටන් ගන්න කලින් පැළ තවානක් සකස් කරගන්න ඕනේ. මේ පැත්තේ පැළ වී කුඹුරට කෙලින්ම ඉහින්නේ නෑ. තවානක පැළ කරගෙන ඉන් පස්සේ තමයි පැළ හදන්නේ. හොඳ පළපුරුදු ගොවි මහත්තයෙක්ට මේ වැඩේට ආරාධනා කරනවා. මොන දේටත් ආරම්භය සුභ වෙන්න ඕනිනේ. උදැල්ලෙන්ම රළු පොළව සුමට කරලා අවශ්‍ය ප්‍රමාණයට වතුර හරවලා තවාන සකස් කර ගන්නවා. මේ තවාන සකස් කිරීම හරි විදිහට සිදු වුණේ නැත්නම් පස්සේ පැළ ගලවන්න අමාරු වෙනවා.

ගොයම් වගා කිරිල්ලේ මුල්ම පියවර බිත්තර වී සපයගෙන ඒවා පැල කරගන්න එකනේ. මේනක තුමා විස්තර කලාට වඩා අපේ පැත්තේ බිත්තර වී පැළ කරගැනීමේ විධි ක්‍රමය ටිකක් වෙනස්. ගන්නේ නම් හොඳම වී තමයි. බිත්තර වී වතුරෙ දවස් භාගයක් විතර පෙඟෙන්න තියලා ඉවතට ගන්නවා. ඒ වැඩේට කියන්නේ වී ගොඩ දානවා කියලා. ඉන්පස්සේ ගෝනියක දාලා හොඳට ගැට ගහලා තියෙනවා. පහුවදා ඒවා ගොම, තුඹ කොල යුෂ මිශ්‍ර කළ වතුරෙත් එක්ක මිශ්‍ර කරලා ආපහු වතුර බේරලා අරගෙන කෙසෙල් කොල අතුරපු මුල්ලක ගොඩ ගහනවා. පස්සේ ගෝනි වලින් වහනවා. බිත්තර වී ටික උණුසුමට තෙතට තියෙන්න ඕනේ. එතකොට ඉක්මනින් උසස් තත්වයේ පැළ වී ලබාගන්න පුළුවන්. මේ වැඩේට කියන්නේ වී යාන් කරනවා කියලයි. අපේ අම්මයි තාත්තයි දෙන්නා එක්ක වී යාන් කරනවා මට මතකයි. දවස් පහකට විතර පස්සේ පැළවුණු බිත්තර වී ටික තවන් කරන්න පුළුවන්. සැරින් සැරේ ගොනියක කොනක් අයින් කරලා වී පැළ වෙලාද කියලා බලන එක තමයි ඉතිං මගේ වැඩේ.


බිම් සකස් කිරිල්ලයි ගොයම් හැදිල්ලයි ඊළඟ පොස්ටුවෙන්, එතකන් ජය !!!


ප. ලි. - ඉහතින් දාල තියෙන පින්තූර දෙකම පයිනස් ශාකය. හොයා ගත්තේ ගූගල් දෙයියගේ පිහිටෙන්. මේ විශේෂයට අමතරව තවත් පයිනස් විශේෂ  රාශියක් තියෙනවා කියල ගූගල් දෙයියා මගින් දැන ගත්තා.




Wednesday, January 20, 2016

සැමරුම



මැදපු ලී අල්මාරිය උඩ
තාමත් ලස්සනට දිලිහෙන
පාළුවෙන් තනිකමින් පිරුණු
පාට පාට මාළුවෝ ජෝඩුව




Thursday, January 7, 2016

කිරි අම්මා..



හැමදාමත් හවස්වරුව ගතවෙන ගතවෙන පාළු ස්වභාවය ඈට ඉහිලුම් නොදෙන තරම් වැඩි වෙලා තිබුණා. ඉස්සර පොඩි දරුවො දෙන්නත් එක්ක ගෙවන හවස්යාමයේ සොඳුරු මතක, රිදුම්දෙන හදවත පාරවමින් මහ කළු ගලක් වගේ පපුව ඇතුළට කිඳා බහිනවා ඈට දැණුනා. දරුවෝ මතක් වෙද්දී පපුව රිදෙන්නේ දරු දුකට වෙන්නැති. ඕවා තේරුම්-බේරුම් කරල වෙන් කරගන්න තරම් මානසික මට්ටමක් ඈට තිබුණේ නෑ.

ඉස්සර වගේ අතපය වාරු නොවුණත් උදව්වට ඉන්න විමලාගේ පිහිටෙන් හැමදේම කර ගන්න සුදුමැණිකෙට පුළුවන් වුණා. සුදු මහත්තයා මේ ලෝකේ හැරගිය දවසේ ඉඳල ගෙයි තිබුණු පාළු ගතිය මකන්න  පුංචි මහත්තයාටවත් රෝසි මැණිකෙටවත් බැරි වුණේ ඇයි ද කියන්න සුදුමැණිකෙට තේරුමක් තිබුණේ නෑ. විමලාවතී කියන හැටියට නම් ඒ හිතේ පාළුව ලු. ඇත්ත...... සුදු මහත්තයා නිසා ඇති වෙච්චි හිතේ පාළුව දරුවන්ට මකන්න බෑ.

වලව්වේ සුදු මහත්තයට පෙම් බැන්ඳේ, කවදා ඉඳන්ද කියලා අවබෝධයක් ඈට තිබුණේ නෑ. ඒත් දන්න දා ඉඳල ඒක එහෙම තමයි. මතක ඇති කාලෙක ඉඳල සුදූ කෙල්ල, වලව්වේ සුදු මහත්තයට ලෙන්ගතු වුණා. ඉස්සර වලව්වේ වැඩ කරල අම්මායි අප්පච්චියි දෙන්න එක්ක හම්බකරල ගේන හැමදේම සුදූට. පවුලේ එකම දැරිවි වෙච්චි ඈ, හැදුනේ වැඩුනේ වලව්වේ සුදු මහත්තය එක්කමයි. එකම පන්තියේ හිටිය මේ දෙන්න, හවසට වලව්වේ අඹ ගහ යට සීතල ගල් පොත්තේ වාඩි වෙලා පාඩම් වැඩ කරනවා. අම්මගේ අතින් රහට හැදෙන කෝපි කෝප්පය දෙන්නගෙම මහන්සිය නිවලා දැම්මා. නිවාඩු දවසට සෙල්ලම් කරන්නත් මේ දෙන්නට තහංචියක් තිබුණේ නෑ.

*********

විමලාවතියෝ..... කෝපි කෝප්පයක් බොමුද ?

පරණ මතකයන් එක්ක තනිවුණු සුදු මැණිකේ කෝපි කෝප්පයත් අරගෙන  අඹ ගහ යට ගල් තලාවට ගියා. ඉස්සර වගේම ගල් තලාව තාම හීතලයි. ඒත් අනිත් හැමදේම............................


*******************

වලව්වෙ හාමු මහත්තයාත් ලොකු නෝනාත් දෙන්නම  ජීවත්ව ඉන්න කාලෙදී, යෝජනා කරල තිබුණු විදිහටමමැණිකෙ කෙනෙක්වලව්වට කැන්දන් ආව සුදු මහත්තයා කෙමෙන් තැන්පත් ගති ඇති නිවුණු මනුස්සයෙක් වුණා. අම්මත් අප්පච්චිත් හේනෙදී අලියා ගහල මේ ලෝකේ හැරගියාන් පස්සේ වලව්වේ පදිංචියට ආව සුදු කෙල්ල කුස්සි අම්මාගේ කාමරේ පදිංචි වුණා. ඒ වෙද්දි වලව්වේ උයනගෙයි රාජකාරි ඔක්කොම වගේ ඉටු වුණේ සුදූගේ අතින්. සුදු මහත්තයා සැපෙන් සනීපෙන් ඉන්නවා පෙනුණු සුදූ කෙල්ලත් සැනසීමෙන් ජීවත් වුණා. සුදු මහත්තයා එක්ක ආව,යසෝ මැණිකේ සුදු මහත්තයට අපූරුවට ගැලපෙන රන් රූපයක් තිබුණු උත්තමාවියක් වුණා. හැමදාමත් සුදූ ගැනත් වලව්ව ගැනත් හොයල බැලුවා. කොයියම්ම වෙලාවකවත් කිසිම අඩුපාඩුවක් ඇති නොවෙන විදිහට වලව්ව බලාකියාගත්ත ඈ, හැමෝටම කරුණාවන්ත වුණා.

**********

සුදු මැණිකෙ දන්නවද පහළ වත්තේ මැගියට දරුවෙක් හම්බුවෙලා. පස්වෙනියද කොහෙද, දෙන්න මැණිකේ කෝප්පේ….”

ආ....”   හිනා වෙවී බලන් ඉන්න විමලාවතී දිහාට ඈ කෝප්පේ දික් කලා.

ඔලොක්කුවට හිනාවෙමින් විමලාවතී කීව කාරණේ, ඈ උඩු යටිකුරු කරලා බැලුවා. විමලාවතීට වගේ හිනාවෙන්න කාරණයක් හෙව්වා....ම්හු... නෑනේ. විමලට පිස්සුද කොහෙද. ඒත් එකපාරම හෙනයක් කෙටුවා වගේ සුදු මැණිකෙගේ හිතේ පරණ මතක දෝංකාර දෙන්න පටන් ගත්තා. දෙයියනේ යසෝ මැණිකේ...


***********

නොහිතූ විදිහට තමුන්ගේ පළමු දරුවා බිහිකරන මොහොතේ මේ ලෝකෙන් සමුගන්න යසෝ මැණිකෙට සිදුවුණා. දරුවා ගැන හොයලා බලන්න සුදූ කෙල්ල හිටියා. තමන්ගේ වයසටත් වඩා හපනෙක් වුණු පුංචි මහත්තයාට වලව්වේ හැමෝම වගේම ගමේ උදවියත් ඇඟෑළුම්කම් පෑවා. ටික දවසකින් සුදූගේ මුළු ලෝකයම වුණේ ඒ පුංචි දරුවා..

අම්මා මේ ලෝකේ නැති වුණත් තමාගේ හැමදේම අම්මා කෙනෙක් වගේ හොයල බලලා තමන්ට ආදරෙන් සලකන සුදූව පුංචි මහත්තයා විසින් සුදුඅම්මා බවට පත් කළා. යසෝ මැණිකෙගේ වියෝවත් එක්ක කෙමෙන් කෙමෙන් ලෝකෙන් වහං වෙන්න හදන සුදු මහත්තයා ගැන ඈ විස්සෝප වුණා. හැමදාමත් වගේ ඈ සුදු මහත්තයගේ ළඟින්ම උන්නා.

***********

නෑ නෑ යසෝ මැණිකේ මැරුන්නෑනේ, ඔය පුංචි මහත්තයා එක්ක හොඳට සෙල්ලම් කලේ... ආ.... නෑනේ..... ඒ මං නේ. එතකොට මැරුනේ කවුද, සුදු මහත්තයද, නෑ..... යසෝ මැණිකේ තමයි අපිව දාලා ගියේ.... එතකොට වලව්වේ ලොකු මහත්තයයි නෝනයි.... එයාල තමයි මැරුණේ.... එහෙනං අපේ ගෙදර ඇයි සුදු කොඩි දැම්මේ..... අම්මයි අප්පච්චියිද මැරුණේ, ඊයේ හවස හැමෝම හිටියේ....ඒත් දැන් කවුරුත් නෑනේ......

සුදු මැණිකේ ගෙට යන්කෝ දැන්, අව්ව සැරයි.....

කවුද මැරුණේ විමලෝ ???

කවුරුත් නෑ සුදු හාමිනේ... දැන් යංකෝ ගෙට.
උදේ පාන්දර කෝපි ඉල්ලුවා........ දැන් අහනවා කවුද මැරුණේ කියලා. සුදු මැණිකෙව වෙදෙක්ටවත් පෙන්නන්න වෙයිද මන්දා........

*********

ටික කාලෙකින්සුදු මහත්තයා වලව්වට තවත් පුංචි දෝණි කෙනෙක් එක්ක ආවා. පුංචි මහත්තයාට හරිම සතුටුයි. එදා පුංචි මහත්තයාගේ මූණේ තිබුණු හිනාව සුදු  මැණිකෙට කවදාවත් අමතක වෙන් නෑ.
රෝස කැලෙන් පුංචි දුවෙක්... සුදු මැණිකෙට හිතුනා.

***********

විමලා, රෝසි මැණිකේ කෝ?

මං දන්නෑ ඔව්වා...... හැමදාම එකම දේ අහන්නේ ඇයි මැණිකේ.......

***********

අනුන්ගේ දරුවෝ ගැන මොකට හොයනවද මන්දා....... මේ මනුස්සයාගේ මුළු ජීවිතේම වලව්වට යට වුණා........තමුන්ගෙම දරුවෙක්........ කසාදයක්....... ඒ මුකුත් නෑ...............

වලව්වේ ඇත්තන්ට කරන්න බැරිවුණුඅනිමිස ලෝචන පූජාව,හවස්යාමේ නින්දට වැටුණු සුදු මැණිකේ දිහා බලාගෙන විමලාවතී පැවැත්තුවා. ඒ පිං බලෙන් නිවන් දකින්න බැරි වුනත් අඩුමතරමේ හිතට සැනසීමක්වත් ලැබෙනවා කියලා ඈ දැනං උන්නා.

දවල් දවස තිස්සෙම දරුවෝ ගැන කියවන සුදු මැණිකේ රෑ තිස්සේම නින්දක් නෑ. හවස් ජාමෙ නම් හොඳට නිදා ගන්නවා... ඒ මදැයි. හීනෙනුත් රෝසි මැණිකෙයි පුංචි මහත්තයයි පේනවා ඇති. ඒකයි ඇහැරෙන්නේ නැත්තේ.......

හීන් හිනාවක් විමලාවතීගේ මූණේ ඇඳුනා.

ගොම්මන් වැටෙන වෙලාවේ වලව්ව පැත්තට සේන්දු වුණු වෑන් රථයක් සුදු මැණිකෙව කලබල කළා.

මොකක්ද විමලෝ අර මේ පැත්තට එනවා පේන්නේ..?

අනේ මන්ද මැණිකේ, වෑන්නෙකක්ද කොහේදෝ.....ඒත් කවුද මේ හවස් ජාමේ......

වෑන් එක මිදුලේ අඹ ගහ යට නවත්තද්දිම වගේ එළිය ආවේ හුරුබුහුටි කොලු පැංචෙක්. පුංචි දරුවෝ දෙතුන්දෙනා එක්කම වැඩිහිටි ඈයෝ හතර දෙනෙකුත් වාහනෙන් බිමට බැස්සා. හුරුපුරුදු මූණක් හොයමින් විමලාවතී ලත වෙද්දී සුදු මැණිකෙගේ ඇස් වලින් කඳුළු බිංදු දෙකක් එළියට පැන්නා.

සුදු අම්මේ......

අනේ මගේ පුංචි මහත්තයා...... රෝසි මැණිකේ.......





කිරි අම්මාවරු දනට වඩිනවා
කිරි සුවඳයි මුළු ගම්මානේ
අම්මා ඇයි ඒ දනට නොයන්නේ
නොඅසන් පුතණුවනේ
මා සිත රිදෙන නිසා....

නෙත නිදි වරමින් කැත කුණු අතගා
මම නුඹ හැදුවෙමි දුක් විඳලා
එනමුදු කුසයේ හොවමින් බිහිකර
ඇඟ ලේ කිරිකර නැත පොවලා

කිරි අම්මාවරු දනට වඩිනවා....

නුඹගෙන් දරු සුරතල් බැලුවා මිස
මව් පදවිය නැත මා පතලා
මතු භවයේ මා දනට වඩින්නම්
නුඹ බිහිකර කිරි මවවීලා....
කිරි අම්මාවරු දනට වඩිනවා....



ප.ලි. - කාලෙකට පස්සේ මේ සින්දුව අහද්දී හිතය නැගුණු අදහසක් තමයි මේ අකුරු කලේ. ඇත්තටම මේ වගේ ජීවිත මේ ලංකාවේ ඇති කියලා මට හිතෙනවා.......