Tuesday, August 18, 2015

අංකල්ගේ කථා

            අංකල්ගේ ඉතිරි ටික අදවත් ටයිප් කරන්න හිතුවා. ඉතිං අංකල්ගේ කොහොල්ලෑ ගති ලක්ෂණ නිසා මං එයාගෙන් උපරිමේටම දුරස් වෙලා ඉන්නේ කියල ගිය සතියේ කීවනේ. ඒත් අංකල්ගේ ගිරේට දවසක් මාව අහුවුණා. එයා එදා කියපු කථාව අද මං මතක විදිහට  ලියන්නම් .

            ඉතිං දවසක් මේ අංකල්ට ෂිෆ්ට් එක වැටිලා තියෙන්නේ සුපර් මාර්කට් එකක. කලින් දවසකත් එතන වැඩ කරල තියෙන නිසා, අංකල් සුපුරුදු විදිහටම උදේ ඉඳන්ම වැඩ කරලා. ටිකක් හවස් වෙද්දී වැහි අඳුරකුත් ඇවිත්. මාර්කට එකට ආව හැමෝටම යන්න හදිස්සියිලු. ඉතිං අංකල් ගේට්ටුව ලඟ ඩියුටි කරද්දි, අංකල් එක්ක හිටිය අනිත් එක්කෙනාවොෂ් රූම් එකට ගිහින් එන්න ගියාලු. ඔන්න ටික වෙලාවකින් කාර් එකක් හෝන් කලාලු අංකල් ලඟ. අංකල් ගේට්ටුව ඇරලා ඩ්‍රයිවර් ළඟට කිට්ටු වුණාලු.

 "එක්ස් කියුස් මී, මිස්ටර්. මේ ළඟ ඩස්ට්බින් එකක් තියෙනවද ? "

වැදගත් පෙනුමක් තිබුණු  ඩ්‍රයිවර්තුමා අංකල්ගෙන් ඇහුවලු.

"ඔව් සර්, අපේ ගාඩ් රූම් එකේ නම් එකක් තියෙනවා."

 අංකල් කිව්වලු.

 ඉතිං අංකල්ටත් හිනා වෙලා ඒ මහත්තයා ගාඩ් රූම් එක ලඟට වාහනේ රිවර්ස් කරාලු. එයා සුපර් මාර්කට් එකෙන් ගත්ත බඩු ටිකත් අරගෙනගාඩ් රූම් එක ඇතුළට ගියාලු. අපේ අංකල්ට ඉතින් එතනට යන්න බැරි නිසා එයා වෙන්නේ මොකක්ද කියල හිත හිතා ටික වෙලාවක් ඉන්නකොට වොෂ් රූම් එකට ගිය අනිත් එක්කෙනා ආවාලු. ඉතිං අංකල් ගේට් එකේ ඩියුටි එයාට භාර දීලා, ගාඩ් රූම් එක පැත්තට ගියාලු අර මහත්තයා මොකද කරන්නේ බලන්න. අංකල් යද්දි, ඒ මහත්තයා ගත්ත බඩු ඔක්කොම මේස උඩට දාලා, ඒවා පැක් කරල තිබුණු කවර ඔක්කොම ගලවලා ඩස්ට්බින් එකට දානවලු. අංකල්ට හිතාගන්න බැරි වෙලා මොකද්ද වෙන්නේ කියලා. මේසෙ පුරාම සබන් කවර, ටූත් පේස්ට් කවර, ගලවලා අයින් කරන්න පුළුවන් ඔක්කොම කවර හැම තැනම දාලා. ඒවා එකතු කර කර අර මහත්තයා ඩස්ට්බින් එකට දානවා. අංකල් ඒ මහත්තයා ළඟට පොඩ්ඩක් කිට්ටුවෙලා ඇහුවලු,

මොකද මහත්තයෝ මේ ?

"නෑ මිස්ටර්, මේ ඔයාලාගේ කුණුනේ.... මට මේවා ඕනි නෑ."

එහෙම කියලා, ඒ මහත්තයා බෑග් එකේ ඉතිරි වෙලා තිබුණු බඩුත් එළියට අරගෙන ඒවගේ පැකින් කඩන ගමන්ම අංකල් එක්ක හිනාවුණාලු. ඉතිං අංකල් ඇහුවලු,

"මහත්තයා පොල් එහෙම ගත්තේ නැද්ද?" කියලා.

"නෑ.... පොල් නම් ගත්තේ නෑ."

 කියලා ඒ මහත්තයා කිවුවලු.

"වෙලාවට, නැත්තම් මට හිරමනයකුත් හොයල දෙන්න වෙනවා."

කියල අංකල් කීවලු.

එක එක විදිහේ පුද්ගලයෝ නේ........... ඇත්තටම වෙළඳ නාමප්‍රචාරනයට භාවිතා කරන අමතර දවටන අපිට වගේම පරිසරයටත් හානියක් කියලා, ඒ මහත්තයා නම් හොඳින්ම අවබෝධ කරගෙන තියෙනවා. ඇත්තටම නිශ්පාදනයක ගුණාත්මකභාවය රැකෙන විදිහට, සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගිකයා අතට පත් කරන්න නම් දවටවයක් තිබීම සුදුසුයි. ඒ යොදන දවටනයේ, නිශ්පාදනය පිළිබඳව පාරිභෝගිකයා දැන ගත යුතු සියළුම කරුණු අඩංගු කරන්න පුළුවන්. ඒ වගේමයි වෙළඳ නාමයත් එහි සඳහන් කරන්න පුළුවන්. එතකොට පරිසර හානිය අවම වෙන විදිහට කටයුතු කරන්න පහසු වෙනවා වගේම මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්.

ඒත් ඉතිං බොලේ ව්‍යාපාරිකයෝ මේ තියෙන තරඟකාරී වෙළඳපොළ ජයගන්නත් ඕනිනේ.
අනේ මන්ද මට නම් තේරෙන්නේ නෑ අෆ්ෆා

           


            

1 comment:

  1. හොඳ අදහස.. දවසක කඩේකදි (අපි ඉතින් සුපර් මාකට් යන්නේ නෑනේ) කරලා බලන්නොනේ..

    ReplyDelete