Sunday, August 23, 2015

පොඩි ඡන්ද කථාවක්

බලන්න නංගී, අපේ පෝස්ටර් වහලා. ඊට උඩින් උන්ගේ ඒවා ගහල. මොන මිනිස්සුද මන්ද මේ.......... බ්ලා ......................... බ්ලා................. බ්ලා ..........................

මං හවස්වෙලා ගෙදරට ගොඩවෙද්දිම කුස්සිය පැත්තෙන් ඇහුණු කථාබහ මොකද්ද බලන්න මහන්සිය අමතක කරල මං ඒ දිහාවට ගියා. ළඟ ගෙදරක ඇන්ටි කෙනෙක් අපේ කුස්සියටම ඇවිත් අම්මට විස්තරයක් කියනවා. ඒ ඇන්ටි එක පක්ෂෙක අපේක්ෂකයෙක්ට බැහැලම වැඩ. බැනර් ගහන්න, පෝස්ටර් ගහන්න, කැන්වසින් යන්න ඒ ඇන්ටිට වැඩ ගොඩයි. අඩුම තරමේ ගෙවල්මිදුල් අතුගාගන්නවත් වෙලාවක් නෑ. ඒ තරමටම ඉලෙක්ෂන් වැඩ.

            ඉතින් මං ඇවිත් තියෙන්නේ කවුද කියල කලින්ම අඳුනගත්ත නිසා ආපහු කාමරේ පැත්තට හැරුණා. අපේ අම්මා මේ වගේ කථා වලට වැඩි කැමැත්තක් නෑ. මං දන්නවා තව ටික වෙලාවක් යද්දී අපේ අම්මට යකා නගිනවා කියලා.  ටික වෙලාවකින් ඇන්ටි ගියා.

මොකද්ද අම්මා වෙලා තියෙන්නේ? ***********  ඇන්ටි ගියාද?

ඇති යන්තම් දැන් ගියා. බලන්න පුතේ මගේ වෙලාව පැයක් විතර ඉවර වුණා. මනාප පොරේ. බලන්නකෝ එක ම පක්ෂයක දෙන්නෙක් ගැන තමයි කිව්වේ. ******** ඇන්ටි වැඩ කරන xගේ පෝස්ටර් වලට උඩින් yගේ  අය පෝස්ටර් ගහලා. එයාට වෙන වැඩක් නැද්ද දන්නෑ ඔය චන්ද වැඩ වලිට අනිත් මිනිස්සු එක්ක රණ්ඩුවට යන්න. මට පහන තියන්නත් තියෙනවා.  ඔයා දැන් තේ බොනවාද?

එකම පක්ෂෙ නේද ඉතිං මේ දෙගොල්ලොම.

හ්ම්. මනාප පොරේනේ ඉතිං ඔය

මං නාන්න යනවා අම්මේ. දැන් තේ එපා. නාලා ඉවර වෙලා බොන්නම්.

හිත නිවාගෙන ගලාගෙන යන සීතල වතුරපාර ඇඟේ තිබුණු මහන්සිය බිංදුවක්වත් ඉතිරිනොකර දියකරලම දැම්මා.  ඉතින් මං නාලා ඉවර වෙලා තේ එකක් බිබී එළියට ආවා. ගලාගෙන ආව මඳ අඳුරත් එක්කලා සීතල හුළඟක් හමාගෙන ගියා. ඉර බැහැල නිසා එළියේ තිබුණු හැමදේම කළු පාට හෙවනැලි විදිහට පෙනුනා.

ගේ ඇතුළට එනවා හලෝ සීතලේ මොකද කරන්නේ?
 අපේ නගාතුමී මාව ගෙදරට ඇදන් ආවා. ඒ එක්කම පිරිත් හඬක් ලාවින් ඇහෙන්න පටන්ගෙන ටික ටික සද්දේ වැඩි වුණා.

කොහෙද අනේ ඔය පිරිත් සද්දයක් ඇහෙන්නේ?මං නංගිගෙන් ඇහුවා.

ඇයි ඔයා දන්නැද්ද, මේ සැරේ එග්සෑම් කරන අයියලා ටික  පිරිතක් සංවිධානය කරලා.  ඔයාට නම් සිහියක් නැද්ද ඔච්චරම. ඒ පිරිතට පිරිකර ගන්න කියලා අම්මලත් සල්ලි දුන්නේ. තාත්තත් ගියා කලින්ම.

ඔව් නේ, මට අමතක වුනා.

මෝඩ හිනාවක් දාල මං නංගිට කීවා.

එයා මතක් කරද්දී තමයි මට මතක් වුණේ අපේ ගමේ මේ සැරේ ඒ ලෙවල් එග්සෑම් කරන මල්ලිලා ටික  පිරිතක් සංවිධානය කරල තිබුණා. උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය නිසා අපේ ගමේ බහුතරයක් දෙනා හුඟක් අපහසුතාවලට ලක් වෙලා තිබුණා. නිවාස ඉරිතලලා, වගා බිම් විනාශ වෙලා, ළිං හිඳිලා. ඉතිං ගමට සෙත් පතලා තමයි මේ පිරිත සංවිධානය වෙලා තිබුණේ. මුළු ගමේම අය මේ මල්ලිලාගේ හොඳ කීවා. මේ පෝස්ට් එක දාන්න මං ප්‍රමාද වුනත් ඒඅය කරපු වැඩේ ගුණ සුවඳ හැමදාමත් තියේවි.

දැං ඡන්දෙ ඉවරයි. අනුන්ගේ ඡන්දයක් නිසා තමන් මෙච්චර දවසක් සහයෝගයෙන් ජීවත් වුණු ගමේ උදවියත් එක්ක රණ්ඩු වෙන්න යන එක මෝඩකමක් විදිහටයි මං දකින්නේ.

එකම දවසේ සිදුවුණු මේ සිදුවිම් දෙක ගැන හිතද්දී මට හිතෙන්නේ,

ලෝකය ගෝලාකාරයි.

මිනිස්සු විවිධාකාරයි.



Tuesday, August 18, 2015

අංකල්ගේ කථා

            අංකල්ගේ ඉතිරි ටික අදවත් ටයිප් කරන්න හිතුවා. ඉතිං අංකල්ගේ කොහොල්ලෑ ගති ලක්ෂණ නිසා මං එයාගෙන් උපරිමේටම දුරස් වෙලා ඉන්නේ කියල ගිය සතියේ කීවනේ. ඒත් අංකල්ගේ ගිරේට දවසක් මාව අහුවුණා. එයා එදා කියපු කථාව අද මං මතක විදිහට  ලියන්නම් .

            ඉතිං දවසක් මේ අංකල්ට ෂිෆ්ට් එක වැටිලා තියෙන්නේ සුපර් මාර්කට් එකක. කලින් දවසකත් එතන වැඩ කරල තියෙන නිසා, අංකල් සුපුරුදු විදිහටම උදේ ඉඳන්ම වැඩ කරලා. ටිකක් හවස් වෙද්දී වැහි අඳුරකුත් ඇවිත්. මාර්කට එකට ආව හැමෝටම යන්න හදිස්සියිලු. ඉතිං අංකල් ගේට්ටුව ලඟ ඩියුටි කරද්දි, අංකල් එක්ක හිටිය අනිත් එක්කෙනාවොෂ් රූම් එකට ගිහින් එන්න ගියාලු. ඔන්න ටික වෙලාවකින් කාර් එකක් හෝන් කලාලු අංකල් ලඟ. අංකල් ගේට්ටුව ඇරලා ඩ්‍රයිවර් ළඟට කිට්ටු වුණාලු.

 "එක්ස් කියුස් මී, මිස්ටර්. මේ ළඟ ඩස්ට්බින් එකක් තියෙනවද ? "

වැදගත් පෙනුමක් තිබුණු  ඩ්‍රයිවර්තුමා අංකල්ගෙන් ඇහුවලු.

"ඔව් සර්, අපේ ගාඩ් රූම් එකේ නම් එකක් තියෙනවා."

 අංකල් කිව්වලු.

 ඉතිං අංකල්ටත් හිනා වෙලා ඒ මහත්තයා ගාඩ් රූම් එක ලඟට වාහනේ රිවර්ස් කරාලු. එයා සුපර් මාර්කට් එකෙන් ගත්ත බඩු ටිකත් අරගෙනගාඩ් රූම් එක ඇතුළට ගියාලු. අපේ අංකල්ට ඉතින් එතනට යන්න බැරි නිසා එයා වෙන්නේ මොකක්ද කියල හිත හිතා ටික වෙලාවක් ඉන්නකොට වොෂ් රූම් එකට ගිය අනිත් එක්කෙනා ආවාලු. ඉතිං අංකල් ගේට් එකේ ඩියුටි එයාට භාර දීලා, ගාඩ් රූම් එක පැත්තට ගියාලු අර මහත්තයා මොකද කරන්නේ බලන්න. අංකල් යද්දි, ඒ මහත්තයා ගත්ත බඩු ඔක්කොම මේස උඩට දාලා, ඒවා පැක් කරල තිබුණු කවර ඔක්කොම ගලවලා ඩස්ට්බින් එකට දානවලු. අංකල්ට හිතාගන්න බැරි වෙලා මොකද්ද වෙන්නේ කියලා. මේසෙ පුරාම සබන් කවර, ටූත් පේස්ට් කවර, ගලවලා අයින් කරන්න පුළුවන් ඔක්කොම කවර හැම තැනම දාලා. ඒවා එකතු කර කර අර මහත්තයා ඩස්ට්බින් එකට දානවා. අංකල් ඒ මහත්තයා ළඟට පොඩ්ඩක් කිට්ටුවෙලා ඇහුවලු,

මොකද මහත්තයෝ මේ ?

"නෑ මිස්ටර්, මේ ඔයාලාගේ කුණුනේ.... මට මේවා ඕනි නෑ."

එහෙම කියලා, ඒ මහත්තයා බෑග් එකේ ඉතිරි වෙලා තිබුණු බඩුත් එළියට අරගෙන ඒවගේ පැකින් කඩන ගමන්ම අංකල් එක්ක හිනාවුණාලු. ඉතිං අංකල් ඇහුවලු,

"මහත්තයා පොල් එහෙම ගත්තේ නැද්ද?" කියලා.

"නෑ.... පොල් නම් ගත්තේ නෑ."

 කියලා ඒ මහත්තයා කිවුවලු.

"වෙලාවට, නැත්තම් මට හිරමනයකුත් හොයල දෙන්න වෙනවා."

කියල අංකල් කීවලු.

එක එක විදිහේ පුද්ගලයෝ නේ........... ඇත්තටම වෙළඳ නාමප්‍රචාරනයට භාවිතා කරන අමතර දවටන අපිට වගේම පරිසරයටත් හානියක් කියලා, ඒ මහත්තයා නම් හොඳින්ම අවබෝධ කරගෙන තියෙනවා. ඇත්තටම නිශ්පාදනයක ගුණාත්මකභාවය රැකෙන විදිහට, සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගිකයා අතට පත් කරන්න නම් දවටවයක් තිබීම සුදුසුයි. ඒ යොදන දවටනයේ, නිශ්පාදනය පිළිබඳව පාරිභෝගිකයා දැන ගත යුතු සියළුම කරුණු අඩංගු කරන්න පුළුවන්. ඒ වගේමයි වෙළඳ නාමයත් එහි සඳහන් කරන්න පුළුවන්. එතකොට පරිසර හානිය අවම වෙන විදිහට කටයුතු කරන්න පහසු වෙනවා වගේම මුදල් ඉතිරි කරගන්නත් පුළුවන්.

ඒත් ඉතිං බොලේ ව්‍යාපාරිකයෝ මේ තියෙන තරඟකාරී වෙළඳපොළ ජයගන්නත් ඕනිනේ.
අනේ මන්ද මට නම් තේරෙන්නේ නෑ අෆ්ෆා

           


            

Wednesday, August 12, 2015

අංකල් සහ කොහොල්ලෑ බබා

 පහුගිය වීකෙන්ඩ් එකේ පාට් ටයිම් ජොබ් කටුවක් සෙට් වුණා. යන්තමට වගේ නිවාඩු පාඩුවේ තිබුණු නිවාඩු දවස් දෙක නැති වුණත්, මැරීගෙන වැඩ කරන්න තරම් පිස්සුවක් මේ දවස්වල තියෙන නිසා මං මේ පාට් ටයිම් ජොබ් එකට යන්න හිතුවා. ඒත් ඒකෙන් සිද්ධ වුණේ බ්ලොග් ලියන්න තිබුණු කාලේ අඩු වුණ එක විතරයි. මේ ජොබ් එකට ගිය පහුගිය සෙනසුරාදා අපේ හිතවත් අංකල්කෙනෙක් මුණගැහුණා , ටිකක් වෙනස් චරිතයක්. එයා හිතන විදිහ වගේම එයාට මූණ දෙන්න වෙන සිද්ධිත් ටිකක් වෙනස්. එයා වැඩ කරන්නේ කොළඹ, සෙකියුරිටි ෆර්ම් එකක. ඉතිං කාලෙන් කාලෙට එයාට වැඩ කරන ස්ථානය වෙනස් වෙනවා. විවිධ විදිහේ අත්දැකීම් එයාට ලැබෙනවා.අපේ ගෙදර කට්ටියගේ වැඩි මනාපයක් නෑ මේ අංකල්ට. ඇයි ඉතිං කථාකරනවා වැඩියිනේ. වැඩිපුර වල් පල් කථා කරන අයට අපේ ගෙදර අය කැමති නෑ. මේ අංකල් නිවාඩුවට ගෙදර ආවම කථාවට අහුවුණොත් පැය දෙකතුනක්ම ඉවරයි. මං ඒ දවස්වලට වැඩිය එළියට යන්නේ නෑ. මොකද දැක්කොත්  ගිරේට අහුවුණා වගේ, ලේසියෙන් ගැලවෙන්න බෑ.අඩුම තරමේ පැය තුන හතරක් ඉවරයි. මං නං ෆුල් ට්‍රයි එකක් දීලා කොහොමහරි ගැලවෙනවා. එයා විනාඩි පහෙන් කියල ඉවර කරන්න පුළුවන් කථාවක් පැය ගණන් අදිනවා. චුයිංගම් වගේ.

            මං ඉස්සර හිතං හිටියෙ, චුයිංගම් හදන්නේ කොහොල්ලෑ වලින් කියලා. ඉතිං අර කථාවක් තියෙන්නේ කොහොල්ලෑ බබා ගැන, ඒ කථාවේ ආනුභාවයෙන් මං චුයිංගම් කන්නේ නෑ. බයයි කට ඇලෙයි කියලා.  ඒ කාලේ සිටම ටියුබ් ලයිට් පොරක් වෙච්චි මං වැඩිය හිතන්න හිතන් නෑ අනිත් අය, කටවල් අලවගන්නේ නැතිව චුයිංගම් කන්නේ කොහොමද කියලා. හික්ස්..

කොහොල්ලෑ බබාගේ කථාව මට කීවේ අපේ ලොකු අම්මා. අපේ අම්මගේ වැඩිමහල් සහෝදරී. අපේ අම්මාගේ පවුලේ හිටිය සහෝදර සහෝදරියන් දහදෙනාගෙන් කිහිප දෙනෙක්ම, පවුලේ බාලයා වෙච්චි අපේ අම්මා උපදිනකොටම විවාහ වෙලා.  ඉතිං ගෙදර, වතුපිටිවල, කුඹුරුවල වැඩකටයුතු රාශියක්ම තිබුණු අපේ ආච්චම්මට අතදරුවෙක් වුණු අපේ අම්මව හුරතල් කරන්නවත් බලාකියාගන්නවත් ඉස්පාසුවක් තිබිල නෑ. ඒ කාලේ පාසල් යන්න මඳ මැලි කමක් දක්වපු අපේ හයවෙනි ලොකු අම්මා ඒ භාරදූර කාර්යයට අත ගැහුවලු. අපේ අම්මට වඩා වසර දහයකින් පමණ ඒ ලොකු අම්මා වැඩිමහල් වුණා.   අපේ අම්මට දෙවැනි මවක් විදිහට අපේ මේ ලොකු අම්මා හඳුන්වන්න පුළුවන්. අපේ අම්මි විවාහ වුණු කාලේ වෙද්දී ආච්චම්ම අපිව අතෑරලා ගිහින් හිටිය නිසා, අපිව පොඩි කාලේ නාවද්දී කවද්දී බලාගනිද්දී උපදෙස් ලැබුණේ ලොකු අම්මාගෙන්ලු. මං පුංචි කාලේ ලොකු අම්මගේ එකම දුව විශ්ව විද්‍යාලයේ හිටිය නිසා මගේ සති අන්තේ ගත වුණේ ලොකු අම්මලාගේ ගෙදර. ලිප ළඟ වාඩිවෙලා මාවත් තුරුළු කරගෙන ලොකු අම්මා පැය ගණන් කතන්දර කියනවා. සිංදු කියල දෙනවා. ඒ කතා අතරින් මං කැමතිම කතාව තමයි කොහොල්ලෑ බබාගේ කතාව. ඒ කතාවත් කියලම අංකල් ගැන කියන්නම්.

එකෝමත් එක කාලෙක බොහොම ඈත වනාන්තරයක කපටිම කපටි නරියෙක් හිටියලු. මෙයාට කාලෙකින් හොඳ කෑමක් ලැබිල නැති නිසා මෙයා සෑහෙන බඩගින්නේ තමයි ඉඳල තියෙන්නේ. කෑමට ගන්න සතෙක් අල්ලගන්න ඕන නිසා මෙයා හොඳ උපායක් කල්පනා කලාලු. ඉතිං එතකොට තමයි මෙයාට අපූරු අදහසක් ඇවිත් තියෙන්නේ. මේ කපටි නරි රාළ කොහොල්ලෑ වලින් බබෙක් හදලා එයාව ගහක රඳවලා තිබ්බාලු. මෙතනින් ඇවිදන් ආව අහිංසක හා පුංචෙක් මේ කොහොල්ලෑ බබාව දැකල තමංගේ ගමන පැත්තක දාල කොහොල්ලෑ බබාට කිට්ටු වුණාලු.

කොහොමද බබෝ? හා පුංචා ඇහුවලු.

කිසිම උත්තරයක් නැති නිසා  හා පුංචට තරහ ගියාලු. ඉතිං හා පුංචා දකුණු අතින් පාරක් කොහොල්ලෑ බබාට ගැහුවලු. කොහොල්ලෑ නිසා දකුණු අත ඇලුණාලු. ඊළඟට වම් අතින් ගැහුවලු. ඒ අතත් ඇලුණලු. කොහොල්ලෑ බබාට ගහන්න ගිහින්, මේ විදිහට අත් දෙකයි කකුල් දෙකයි කියන හතරම කොහොල්ලෑ ගුලියෙ අලව ගත්ත හා පුංචාව, කපටි නරියා රස කෑමක් විදිහට දැක්කා. ඉතිං තොලකට ලෙවකමින් තළුමරමින් හා පුංචා ළඟට ආව නරි රාළ හා පුංචාව කොහොල්ලෑ වලින් ගලවගෙන දොළ පාරක් ළඟට අරන් ගිහිල්ලා, හොඳට හෝදල කෑමට සූදානම් කරල ගලක් උඩ තිබ්බලු. ඊට පස්සේ නරි රාළගේ අතේ තිබුණු කොහොල්ලෑ සෝදගන්න දොළට බැස්සලු. මේං මේ වෙලාවේ කකුල් දෙකට ඇඟේ තිබුණු මුළු හයියම දාල හා පුංචා පණ බේරගෙන කැලේ ඇතුළට දිව්වලු.

ඒක තමයි අපේ ලොකු අම්මා කිව්ව කොහොල්ලෑ බබාගේ කතන්දරේ. එයා කීව කතා වලින් මං කැමතිම එකක් තමයි ඒ. මීට ටික කාලෙකට කලින් අපිව මේ ලෝකෙ තනිකරල ලොකු අම්මා යන්න ගියා. එයා ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නම්.පුංචි කාලේ මං හිතන් හිටියේ චුයිංගම් හදන්නේ කොහොල්ලෑවලින් කියලා, ඉතිං මේ කතන්දරේ තිබුණු කොහොල්ලෑ සීන් එක නිසා මං චුයිංගම් කන්නෑ.


මේ කතාව කියද්දි තව පොඩ්ඩෙන් අංකල්ව අමතක වෙනවා. ඉතිං ජීවිතේ ෆුල් බිසී නිසා අදට ටයිප් කලේ මෙච්චරයි. අංකල් ගැන ඊළඟ දවසේ කියන්නම්...............

Sunday, August 2, 2015

පාඩම

සියුම් සීත හිරිගඬු නංවන
සිහින්ව නදදෙන රේඩියෝ ගී රාව
දෑස් බර කරන නිදි දෙව්දුව
බිඳියි මාගේ දැහැන
යොමුවූ කුරුටු ගෑ සටහන් පොතට
තීන්තයෙන් සිරවූ යදම් වලින්
සිරවූ දෑස් පියැවීමට
නිදිදෙව්දුව විදි හී සර ගැලවීමි
දෑස වතුරෙන් තෙමමින්








උසස් පෙළට සුභ පැතුම්

මේ ලිපිය ලියන්නේ  මගේ මල්ලියා ගැන. ඇත්තටම එක කුස  උපන් සහෝදරයෙක් මට නැති වුනාට ඊටත් වඩා සමීප ඥාති සහෝදර සහෝදරියෝ රාශියක්ම මට ඉන්නවා. නැන්දලාගේ, මාමලාගේ, ලොකු අම්මලාගේ,  ලොකු තාත්තලාගේ  දුවල පුතාල  මට මගේම අයියලා අක්කලා තරම්ම සමිපයි. අපේ අම්ම එයාගේ පවුලේ බාලයා. තාත්තත් එහෙමයි. ඉතිං අම්මගේ පැත්තෙන් බැලුවත් තාත්තගේ පැත්තෙන් බැලුවත් නංගියි මමයි තමයි පවුලේ බාලයෝ. සංසාරෙක හැටි කියන්නේ, පුංචි කාලේ ඉඳන්ම දඟම දඟ මල්ලියෙක් මට ඕනි වුනත් මට ඉන්නේ හුරතල් නංගියෙක්නේ. එතකොට අඩු මල්ලියෙක් විතරයි. ඒත් මට මල්ලියෙක් ඉන්නවා. එයත් මේ ලඟදී දවසක උපන්දිනේ සැමරුවා. එයාට තමයි මං මේ ලිපිය ලියන්නේ.


ඉතිං මගේ ලෝකේ මල්ලියෙක්ට ඉන්නේ ඔයා. මගේ යාළුවෝ අතරින් ඔයා වෙනස්. මං ඒක කීවම හැමදාම ඔයා හිනාවෙනවා. හැමදාම දැකලා හිනාවෙලා කතාකරලා යන යාළුවෝ වගේ නෙවෙයි ඔයා. මේ ලිපිය කියෙව්වොත් හිනා වෙයි ඔයා. ඇත්තටම ඔයා මගේ තවත් එක යාළුවෙක් විතරක් නෙවෙයි. ඔයා මගේ පුංචි සහෝදරයා.



දැන්නං මගේ දෝස්මුරේ මතක් වෙලා ඔයා පාඩම් කරනවා ඇති, විභාගේ ලඟ නිසා. ඔයා කැම්පස් යන්න ඕනි, අනිවා. ඒක ඔයාට පුළුවන් කියල මං දන්නවා. ඉතිං හොඳට විභාගේ ලියන්න මං ඔයාට වගේම ඔයාගේ යාළුවෝ හැමෝටමත්  සුභ පතනවා. Wish You All The Best And Good Luck !!!

Monday, July 27, 2015

බලු මලකුණ

ස්ථානය :- බස් රථය
වේලාව :- පෙ.ව. 6.40

මම :- අනේ මල්ලී බෙල් එක ගහන්න, ඉක්මනට බහිමු. මට බදුල්ල බස් එක මිස් වෙයි.

මල්ලී :- බලාගෙන බහින්න, ඔතනින් ඉක්මනට අයින් වෙන්න.
අම්මෝ............... ඒ බල්ලෙක් නේද? බලනවා හලෝ දවසම ඉවරයි.

මම :- මල්ලී මං යන්නම් එහෙනම්, ඔයා පරිස්සමට ක්ලාස් එකට යන්න. බුදු සරණයි.

මල්ලී :- හරි හරි පරිස්සමින්,  බලාගෙන පාර පනින්න.

ස්ථානය :- බස් නැවතුම්පොළ
වේලාව :-  පෙ.ව. 6.45

මම :- ගුඩ් මෝනින් අංකල්

කැරලි කොණ්ඩයක් තියෙන,උසඅංකල් :- ගුඩ් මෝනිං  මිස්, දැක්කද පාන්දරම බල්ලෙක්ද කොහෙද , කපුටෝ දහයක් පහලොවක්ම වටවෙලා.

මම :- ඔව් පව් අසරණ සතා. කවුරුත් අයින් කරල නෑනේද, මටත් කැරකිල්ලට වගේ ආවා දැක්ක ගමන්.

කලින් දැකල නැති අත්තම්මා කෙනෙක් :- අපි කාටත් අන්තිමේ ඔය ටික තමයි සිද්ධ වෙන්නේ, අපේ අවසානය කොහොම වෙයිද කව්ද දන්නේ

කැප් එකක් දාන, මිටි අංකල් :- ඔය බල්ලව මං දැකල තියෙනවා කළින් දවසක. මූණ ඉතිරිවෙලා තියෙන නිසා අඳුන ගන්න පුළුවන්, ලස්සන බල්ලෙක්, පව් අසරණ තිරිසනා. අයිතිකාරයෙක් නැද්ද කොහෙද,

මම :- අම්මෝ මම නම් ආයෙත් බලන්න ගියේ නෑ, අයින් කරන්නැද්ද දන්නෑ.

කැප් එකක් දාන, මිටි අංකල් :- ( තරමක ආවේගයෙන් ) අයින් කරන්නේ කවුද මිස්,අයින් කරන්නේ කවුද , දැන් කාලේ කවුද හරියට තමුංගේ රස්සාවවත් කරන්නේ, තාම අටවත් වෙලා නෑනේ, ඊට කළින් වැඩට එන්නේ කවුද, නගර සභාවෙ කට්ටියත් තාම වැඩ පටන්ගෙන නැතිව ඇති.

කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඒක නං ඇත්ත, හරියට රාජකාරි කරන්න පැකිලෙන්නේ, දැන් තියෙන දේශපාලන අතපෙවීම් වැඩි නිසා. නැද්ද මිස්,

මම :- ( මඳ සිනාවක් සමඟ ) අංකල් 6.50 බස් එක ගියාද?

කැප් එකක් දාන, මිටි අංකල් :- තාම නෑනේ, බලන්න ඉතින් වෙලාවට බස් එකක්වත් වැඩ කරනවද මේ රටේ, මනුස්සයෙක් හරියකට රාජකාරි කරනවාද, නෑ, ....................බ්ලා ..........බ්ලා........... ... ..........................................................................................

කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඇත්ත, මිස්ට කතාව ඇත්ත.අද රටේ  හැමතැනම....................බ්ලා ..........බ්ලා.............. ..........................................................................................
වේලාව :- පෙ.ව.6.55
මම :- අංකල් බස් එක ආවා. යමු නේද ??? ( පව් බල්ලා )


කැප් එකක් දාන, මිටි අංකල් :- හ්ම්................. යමු යමු. අසරණ සතා. 





Wednesday, July 22, 2015

දැන් ඉතින් වෙන කුමක් කරන්නද

"කුඹල්වෙලට තව දුරද මිස් ????"

මගේ ළඟින්ම නුහුරු උච්චාරණයකින් ඇහුණු ප්‍රශ්නෙට මං ඔළුව උස්සලා බැලුවා. මට එහා පැත්තේ සීට් එකේ හිටිය ටැමිල් ඇන්ටි මගෙන් තමයි අහල තියෙන්නේ,

"ඔව්. තව පැය භාගයක් විතර යයි. මං ළඟට ගියාම කියන්නම්."

මං උත්තර දුන්නා. හිනා මූණක් පුරවගෙන කථා කරපු එයත් එක්ක කථා කර කර යන්න ආස හිතුනා මට. ඒත් බස් එකේ හැමදාමත් වගේ කණ පැලෙන තරම් සද්දෙන් දාල තිබුණු රේඩියෝ එකේ වාදනය වුණු සින්දුව මගේ අවධානය ඒ දිහාට ඇදල ගත්තා. කවදාවත් බස් එකකදී මං මේ සින්දුව අහළ නෑ. කොච්චර ලස්සන වුණත් මේ වගේ සිංදු බස් වල දාන්නේ නැද්ද කොහෙද. 

ඉර හඳට වඩා
අපි ඈත බව
දන්නවා

ඒ වුණත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස

පැය කටුව කුමටද
ඔරලෝසු මූණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා

ඔබේ කොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාළිකාවක් පිපිරුණා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස

"ටිනිනික් නික්නික්......... ටිනිනික් නික්නික්..............." ෆෝන් එකට මැසේජ් එකක්. එව්ව එක්කෙනා දැක්කම මට හිනා ගියා. මට එයාව මතක් වෙන වෙලාවටම මැසේජ් කරන්නේ කොහොමද මන්ද, පොඩි හිනාවකුත් මූණට අරන් මං ෆෝන් එකට එබුණා.

Danithin wena kumak karannada

සිංග්ලිශ් වලින් එයා එවල තිබුණා. සාමාන්‍යයෙන් සිංදුවල පද මැසේජ් කරන්න මං කැමතියි. එයා ඒවට රිප්ලයි දානවා සමහර වෙලාවට. ඒත් එදා එයා එවල තිබුණු මේ පණිවිඩේට පුරුදු විදිහට  උත්තරයක් යවන්න මට බැරි වුණා.

"කුඹල්වෙල කුඹල්වෙල"

"කුඹල්වෙලින් බහින අය ඉස්සරහට එන්න......................."

කොන්දොස්තර කෑ ගහනවා. සිතිවිලි මැද්දේ අතරමංවෙලා හිටිය මං මේ ලෝකෙට ආවේ ඒ වෙලාවේ. ඇස් දෙකත් වහගෙන සීට් එකේ ඇන්දට ඹළුව තියාගෙන හිටිය මං ඇස් දෙක ඇරල වටපිට බැලුවා.

බොලේ බස් එක කුඹල්වෙලටත් ඇවිල්ලද, අර ඇන්ටි බැස්සද දන්නෑ................ සීට් එකේ නෑනේ, බහින්නැති.

ආයෙමත්සීට් එකේ ඇන්දට ඹළුව තියාගන්න හදනකොටම ජනේලේ වීදුරුවට කවුරුහරු තට්ටු කළා. මං බලද්ද අර ඇන්ටි එතන.

"ගිහින් එන්නම්....."

ලස්සනට හිනාවෙලා, ඔළුවත් හොල්ලලා, තොල් වලින් විතරක් එයා කීවා.

කම්මුලේ පහළට, ඇස් දෙකෙන් ගලල තිබුණු සීතලම සීතල කඳුළු වැල් ‍පිහිදාලා මමත් හිනාවෙලා ඔළුව දෙපැත්තට හොල්ලලා,

"හා"

කියල කීවා.