Wednesday, July 22, 2015

දැන් ඉතින් වෙන කුමක් කරන්නද

"කුඹල්වෙලට තව දුරද මිස් ????"

මගේ ළඟින්ම නුහුරු උච්චාරණයකින් ඇහුණු ප්‍රශ්නෙට මං ඔළුව උස්සලා බැලුවා. මට එහා පැත්තේ සීට් එකේ හිටිය ටැමිල් ඇන්ටි මගෙන් තමයි අහල තියෙන්නේ,

"ඔව්. තව පැය භාගයක් විතර යයි. මං ළඟට ගියාම කියන්නම්."

මං උත්තර දුන්නා. හිනා මූණක් පුරවගෙන කථා කරපු එයත් එක්ක කථා කර කර යන්න ආස හිතුනා මට. ඒත් බස් එකේ හැමදාමත් වගේ කණ පැලෙන තරම් සද්දෙන් දාල තිබුණු රේඩියෝ එකේ වාදනය වුණු සින්දුව මගේ අවධානය ඒ දිහාට ඇදල ගත්තා. කවදාවත් බස් එකකදී මං මේ සින්දුව අහළ නෑ. කොච්චර ලස්සන වුණත් මේ වගේ සිංදු බස් වල දාන්නේ නැද්ද කොහෙද. 

ඉර හඳට වඩා
අපි ඈත බව
දන්නවා

ඒ වුණත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස

පැය කටුව කුමටද
ඔරලෝසු මූණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා

ඔබේ කොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාළිකාවක් පිපිරුණා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස

"ටිනිනික් නික්නික්......... ටිනිනික් නික්නික්..............." ෆෝන් එකට මැසේජ් එකක්. එව්ව එක්කෙනා දැක්කම මට හිනා ගියා. මට එයාව මතක් වෙන වෙලාවටම මැසේජ් කරන්නේ කොහොමද මන්ද, පොඩි හිනාවකුත් මූණට අරන් මං ෆෝන් එකට එබුණා.

Danithin wena kumak karannada

සිංග්ලිශ් වලින් එයා එවල තිබුණා. සාමාන්‍යයෙන් සිංදුවල පද මැසේජ් කරන්න මං කැමතියි. එයා ඒවට රිප්ලයි දානවා සමහර වෙලාවට. ඒත් එදා එයා එවල තිබුණු මේ පණිවිඩේට පුරුදු විදිහට  උත්තරයක් යවන්න මට බැරි වුණා.

"කුඹල්වෙල කුඹල්වෙල"

"කුඹල්වෙලින් බහින අය ඉස්සරහට එන්න......................."

කොන්දොස්තර කෑ ගහනවා. සිතිවිලි මැද්දේ අතරමංවෙලා හිටිය මං මේ ලෝකෙට ආවේ ඒ වෙලාවේ. ඇස් දෙකත් වහගෙන සීට් එකේ ඇන්දට ඹළුව තියාගෙන හිටිය මං ඇස් දෙක ඇරල වටපිට බැලුවා.

බොලේ බස් එක කුඹල්වෙලටත් ඇවිල්ලද, අර ඇන්ටි බැස්සද දන්නෑ................ සීට් එකේ නෑනේ, බහින්නැති.

ආයෙමත්සීට් එකේ ඇන්දට ඹළුව තියාගන්න හදනකොටම ජනේලේ වීදුරුවට කවුරුහරු තට්ටු කළා. මං බලද්ද අර ඇන්ටි එතන.

"ගිහින් එන්නම්....."

ලස්සනට හිනාවෙලා, ඔළුවත් හොල්ලලා, තොල් වලින් විතරක් එයා කීවා.

කම්මුලේ පහළට, ඇස් දෙකෙන් ගලල තිබුණු සීතලම සීතල කඳුළු වැල් ‍පිහිදාලා මමත් හිනාවෙලා ඔළුව දෙපැත්තට හොල්ලලා,

"හා"

කියල කීවා.



9 comments:

  1. අය්යෝ අර ඇන්ටි පව් අප්ප

    ReplyDelete
    Replies
    1. ඔව්. එයා බැස්සම මට ඇත්තටම දුක හිතුනා. අලි ඔඳ ඇන්ටි හලෝ

      Delete
    2. දැන් ඉතින් වෙන කුමක් කරන්නද?

      Delete
  2. කුඹල්වෙලින් හැමදාම හවසට බහින ආදර කතාවක් මතක් වුනා මටත්

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පෝස්ට්ටුවක් දාන්ඩෝ.............

      Delete
  3. පට්ට!
    මට නම් එහෙමට කියලා ප්‍රශ්නයක් නෑ!!!
    ඒත් කොහෙද කුඹල්වෙල තියෙන්නේ???

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරවෙල - බදුල්ල පාරේ, වැල්ලවායට හැරෙන හංදිය තමයි කුඹල්වෙල

      Delete