Monday, July 13, 2015

අළුත් යාළුවා, ඉංග්‍රීසි ටීච සහ පරණ යාළුවා

අද හවස මං ගෙදර ආව බස් එක කොට වෙලා. ඒ කීවේ, වෙනදට හවස පහට එන ඩබල් ඩෝ බස් එක වන් ඩෝ වෙලා.  ඉතින් වෙනදට හවස පහට එන ඩබල් ඩෝ බස් එකේ ගෙදර යන හැමදෙනාමයි, තව කළාතුරකින් බස් එකට එන කට්ටියයි, ක්ලාස් ඇරිල ගෙදර යන හැමදෙනාමයි වන් ඩෝ බස් එකේ පැක්වෙලා.
"පස්සට යන්න..................... පස්සට යන්න....................."
කොන්දොස්තර අන්කල් කෑ ගහනවා.
"මේකේ තව පස්සට යන්න ඉඩ තියෙනවාද බං ??"
උසස් පෙළ ක්ලාස් ඇරිලා ගෙදර යන මල්ලියෙක් එයාගේ යාළුවට කියනවා, මුළු බස් එකටම ඇහෙන්න.
"හැබැයි මචං අද නම් පස්සෙන් බහිනවා කියන්නෑ නේ........... හිහ්"
යාළුව කියනවා. ඒ දෙන්න ළඟම හිටිය මටත් හිනාවක් ආවා.
බස් වල යන අයට ඔය වගේ කථා බොහොම සුපුරුදු දේවල්. හැමදාම එකම වෙලාවට එන බස් එකේ යන අය එකම ගමේ ඉන්න අය අතරේ බස් නිසාම තරමක හිතවත්කමක් ඇති වෙනවානේ.

1). බස් එක පරක්කු වුනාම මූණ නරක් කරගෙන බනින්න.
2). ඉතිරි රුපියල් 1/2/3 නොදුන්නම කොන්දොස්තරටවත් වෙනකාටවත් ඇහෙන්නැතිවෙන්න කුටු කුටු ගගා බනින්න.
3). සෙනඟ වැඩි දවස්වලට බෑග් එක අල්ලගන්න දෙන්න.
4). බස් එක කොටමින් යන වෙලාවට පාළුව මැකෙන්නත් එක්ක මොනාහරි කියවන්න.
5). ගමේ ඕපදූප  දැනගැනීමට.

මෙකී නොකී ප්‍රයෝජන රාසියක්ම බස් හිතවතුන්ගෙන් තියෙනවා. ඒ අතරේ මල් කැඩිලි, වලි,රැවිලි වගේම ගෙරවිලිත් බස් වල අඩුවක් නෑ. අවුරුදු ගනනාවක් බස් ගමනාගමනයේ අත්දැකීම් මට තියෙනවා. හයේ පන්තියේ ඉඳංම මං බස් එකේ ආවේ තනියම. තනියම කීවට තනියෙන්ම නෙවේ. මාත් එක්ක මොන දේටත් සෙට් වෙන සගයෝ සෙට් එකක්ම හිටියා. අපි පෙර පාසල් යන කාලේ ඉඳන්ම යාළුවෝ. නදී, නිමේ, ගයා ඇන්ඩ් මං තුමී. මං තුමී මධ්‍යස්ථයි, අහිංසකයි, අවංකයි,ඕන දේකට එකඟයි. (  හී, ඒ ගැන දන්නෝ දනිති ) නදී වෙන ඉස්කෝලෙක ගියත් ම‍ගේ හොඳම යාළුවා.ඕන දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න පුළුවන් එතුමී සමඟ. නදී ගියේ මිශ්‍ර පාසලකට නිසා පිරිමි ළමයින් සම්බන්ධව එයාගේ දැනුම අති විශිෂ්ඨයි. හී...........නිමේ දළ වශයෙන් වලියට බරයි. පාරෙ යද්දී කටකැඩිච්ච කථා කියන කොල්ලන්ට අන්කල්ලාට කිසිම සමාවක් නෑ. රිටර්න් හොඳ රිප්ලයි ඒ වගේ උදවියට ලැබෙනවා නිමේ වෙතින්. එතුමීගේ මුවට එවැනි අවස්ථාවලට ගැලපෙන වදන් ක්ෂණිකව එන්නේ කොහොමද කියල තාමත් මට හිතාගන්න බෑ. අපිත් එතුමී සමඟ බොහොම පරිස්සමින් තමයි කථාබහ කොරන්නේ, මොකෝ කොයි වෙලාවෙ බෙල්ල කැපිල යන කථාවක් අහගන්න වෙයිද  දන්නෑනේ. හැබැයි ඉතිං එතුමී ඉන්න තැන්වල විනෝදයෙන් නම් කිසිම අඩුවක් නෑ. ඉන්පසු ගයා. එතුමී ටෝටල් වලි පොරක්. අපිත් එක්කත් වලි. වලිය අවසානයේ එතුමීම අඬනවා. මං ඇත්තටම එතුමියට පණ බයයි තාමත්. ඇයි ඉතින් කොයිවෙලේ ඇඟට ගොඩවෙයිද දන්නෑනේ.තනිකරම පාතාලෙන් ගොඩබැස්ස වගේ තමයි අපි හිටියේ.මේං මේ කට්ටියත් එක්ක පාරෙ යන්න කවමදාවත් බය වෙන්න ඕනිනෑ...........
කාලයත් එක්ක එයාල ඈත් වෙලා හුඟක්. මේ යාළුවෝ සෙට් එක නැති පාළුව මට දැනෙනවා ගොඩක්. එයාල එයාලගේම ලෝක ගොඩනගනවා. පාඩම් කරනවා. ලෙක්චර්ස් යනවා. හැමෝම කාර්යබහුල වෙලා.
අපි සෙට් එක ඉස්ඉස්සෙල්ලාම ටියුෂන් පන්තියකට ගියේ හයේ දී. කොච්චර ක්ලාස් ගියත් තාමත් බැරි, අපේ  මව් භාෂාවටත් වඩා උනන්දුවෙන් ඉගෙනගන්න ඕනි කියල හැමෝම කියන ඉංග්‍රීසි පන්තියකට තමයි අපි ගියේ. අපේ නිමේගේ අම්මා ගුරුවිරියක්. ( උපුටා ගැනීම-රවී අයියගේ අත්තම්මගේ ශබ්ද කෝෂය ). එයා තමයි අපිට ඉංග්‍රීසි ගුරුතුමියක් ක්ලාස් එකට හොයල දුන්නේ. ටීචගේ නම "රේණුකා". සාමාන්‍ය මධ්‍යම උස මහත, කොණ්ඩෙ දිගට ගොතල හිටියේ. හැම සෙනසුරාදම උදේම අපි හතරදෙනාම පන්ති යනවා. ක්ලාස් එක තිබුණෙ ටීචලාගේ ගෙදර.ප්‍රාථමික පන්තිවල ඉන්න කාලේ ඉංගිරීසි මෙලෝ හසරක් බැරිව හිටපු මට අකුරු අමුණමින් ඉංග්‍රීසි පාඩම කියවන්න, පේපර් එකක ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න රේණුකා ටීච කියල දුන්න. ඉංග්‍රීසි වල මූලිකම දේවල් අපේ මොළගෙඩි වලට දැම්මේ රේණුකා ටීච. දහය විතර වෙනකන් පාඩම් වැඩ. ඉන්පස්සෙ ඉන්ටවල්. ඉස්කෝලේ වගේ. ඒත් ඉස්කෝලේ වගේ ඉන්ටවල් ඉවර වෙන්නෑ. එකොළහමාරට ගෙදර යන්න බස් එක එනකල්ම අපි සෙල්ලම් කරනවා. අපේ සෙල්ලමට එකතු වුණු තවත් කෙනෙක් හිටියා. ටීචගේ එකම පුතා,"ගයාල්". අපේ වයසෙමයි එයාත්. කෙට්ටුම කෙට්ටුයි. අපේ නදීටත් වඩා සුදුයි. එයා ගියේ බණ්ඩාරවෙල තියෙන එකම බෝයිස් ස්කූල් එකේ. මුල් කාලෙ නම් එයා අපිත් එක්ක කථා කරන්නත් ලැජ්ජයි.අහිංසක කොල්ලෙක්. නදීගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් පස්සේ එයා අපි නැතිව සෙල්ලම් කලේ වත් නෑ.ටීචයි, ටීචගේ අම්මයි, ගයාලුයි විතරයි ඒ ගෙදර හිටියේ. සමහරදාට ටීචගේ මල්ලීයි එයාගේ පවුලේ අයයි ඇවිත් ඉන්නවා අපි දකිනවා. හරිම හොඳ කට්ටියක් තමයි ඒ අය. ඒ ගෙදර මොනාහරි විශේෂ දෙයක් හැදුවොත් අනිවාර්යයෙන් අපිට කොටසක් වෙන් කරන්න ඒ තුන්දෙනාම අමතක කරන්නේ නෑ.
 මාස හයකට විතර පස්සේ අපේ පන්තියට එකතු වුණු අපේම වයසේ අපේම පන්තියේ අපේම යාළුවෙක්ගේ අම්මා කෙනෙක් නිසා, අපේ නිවහල් ජීවිතය අහෝසි වී ගියා. ඒ අම්මට ඕනි වුනා අපි සෙල්ලම් කරන එක නවත්තලා පාඩම් විතරක් කරන්න. ඊට පස්සේ ඒ අම්මා අපේ සෙනසුරාදා පන්තිය සතියේ දවසකට මාරු කළා. හුඟක් නිදහසේ ඉගෙනගත්ත අපිව හිරකරල වගේ දැනුණා. අපේ පන්තියට අළුතෙන් එකතු වුණු අපේ අළුත් යාළුවා පන්තිය හුඟක් වෙනස් කලා කියල මට හිතුණා.  අපි හැමදාම පන්ති ගියේ බස් එකේ. ඒත් එයාලගේ තාත්තා, එයාවයි එයාලගේ අම්මවයි වෑන් එකේ ගෙනැත් දැම්මා. සමහරදාට හවසට වහිනවා. අපි එද්දී පරක්කු වෙනවා. එතකොට ඒ අම්මට තරහයි අපි එක්ක.

"මොකෝ පන්තියට වෙලාවට එන්න බැරිද ඔයාලට........????????????"

එයා කෙලින්ම අහන්නේ මගෙන්. මං නිකන්ම හිනාවෙලා බලන් ඉන්නවා. ඒ වෙලාවට මොනවා කියන්නද. වැස්සට තෙමිල ක්ලාස් එකට එන අපිව ටීච තුවායකින් පිහදල තමයි ගේ ඇතුළට ගන්නේ. අල්ලන්නත් අප්පිරිය හිතෙන තරමට තෙතබරිවෙලා තියෙන අපි හතර දෙනාගේ මේස් ටීච හොඳට හෝදල වොෂින් මැෂින් එකේ දාල වේලල ගෙනත් දෙනවා ආපහු යද්දී දාගෙන යන්න.වැස්ස දවසට, කවුරුහරි වැඩිහිටියෙක් එක්කන් යන්න ක්ලාස් එකට එනකන් ටීච අපිව ගෙදර යවන්නේ නෑ. දවසක් මං උණ හැදිල ක්ලාස් ගියේ නෑ. ටීච ගයාල්වත් එක්කන් ආවා මාව බලන්න.ටීච අපි ගැන හුඟක් හොයල බැලුවා. අම්මා කෙනෙක් තරමටම. පරණ දේවල් මතක් වෙද්දී දැං කඳුළුත් එනවා.
මාස දෙක තුනකට පස්සේ ටීච ක්ලාස් එක නැවැත්තුවා. අපිට මුකුත් තේරුණේ නෑ. අපි නරක ළමයිද, අපි ටීච කීව දේවල් කළානේ, ටීච අපි එක්ක තරහ වුණේ ඇයි, මං හිත හිතා හිටිය.
පස්සේ දවසක ටීච අපේ තාත්තට කෝල් කරල කියල තිබුණා, අපි යාළුවොහතර දෙනා විතරක් ආව නම් ක්ලාස් එක තාමත් තියෙනවා කියල.
ඊළඟ අවුරුද්දේ අපි සෙට් එක අළුත් ක්ලාස් එකකට ගියා. අපේ අළුත් යාළුවා ඒ ක්ලාස් එකටත් ආවා. ඒ ක්ලාස් එකත් අවුරුදු දෙකකින් විතර ඉවර වුණා. නිමේ ක්ලාස් එකකට ගියා. ගයා තව එකකට ගියා. මමයි නදීයි වෙන ක්ලාස් එකකට ගියා. නදියි මමයි ගියඅළුත් ක්ලාස් එකේ මිසුත් හොඳයි. ඊට ටික කාලෙකට පස්සේ අපි ඔක්කොම ඕ ලෙවල් ලීවා. දවසක් ඒ ලෙවල් ක්ලාස් යද්දී මට අහම්බෙන් රේණුකා මිස්ව හම්බවුණා. විස්තර කථා කර කර ඉන්නකොට එක පාරම ලොකු වුවමනාවකින් වගේ ටීච ඇහුවා,
"අර ඔයාලගේ යාළුවා,******* දැන් මොකද කරන්නේ ??"
"එයා බයෝ කරන්නේ. ඒත් මං යන පන්තියටනම් එන්නෑ ටීච."
"ඒක හොඳයි. ඔයා දන්නවද ඇයි මං ඔයාලගේ ක්ලාස් එක නැවැත්තුවේ කියල???????"
"නෑ ටීච"
"කමක් නෑ පුතේ, ඒවා ඔන්නෑ දැන්. මං යන්නම්. පරක්කු උණානේ. ගයාල් මං එනකන් බලං ඇති."

මං කල්පනාවෙන්ම ගෙදර එන්න හැරුණා. මෙච්චර කාලෙකට කල්පනා නොකරපු දෙයක් එදා මට තේරුණා. අපේ හිටපු අළුත් යාළුවාගේ අම්ම නිසා අපේ ඉංගිරිස් පන්තියට තිත වැටුණා කියල මට එදා හොඳටෝම තේරුම් ගියා.
කාලය ගත වෙලා, අපි උසස් පෙළත් ලියල ටික කාලයක් ගත වුණා. අපේ සෙටාර් එක විවිධ යෝජනා ගේනවා විවිධ ගමන් බිමන් පිළිබඳව. ඒත් ඉතින් ඒව ක්‍රියාත්මක කිරීමට විවිධ බාධා. ලොකුම බාධාව වුනේ අපේ සෙට් එක එකතු කරගන්න එක. ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ. එකෙක් ඉන්නකොට එකෙක් නෑ.
ටික කාලෙකට පස්සේ අපි කට්ටියම හතර අතට විසිරිලා ගියා.
නදීගේ නංගි ජම්බු ගහෙන් වැටීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වුණු සාදයේදී ඕන් ආයෙමත් අපි සෙටාර් එක කාලෙකින් එකිනෙකාට මුලිච්චි වුණා. දාහක් වැඩ රාජකාරීවලින් නදීව මුදවගෙන අපි ටික මිදුලේ කෙළවර කයියක් දාන් හිටිය.මේං මේ වෙලාවෙ අපේ පරණ මතක කතා, වලි කතා වලට ලොකුම ලොකු බාල්දියක් දැමීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව, අපේ මවුතුමී ඇන්ඩ් නිමේගේ මවුතුමී එම ස්ථානයට වාර්ථා කළා. අපේ කතා බහ ඉංගිරිස් පන්තිය දිහාටත් ඇදිල ගියා.
"බලන්න අනේ, අපේ ළමයි ටික තාම ගියේ නෑනේ රේණුකා මිස්ව බලල එන්න."
මූණත් කළු කරන් අපේ අම්ම දෝස් මුරේ පටන් ගත්ත.
"ඔයා දන්නැද්ද අනේ, රේණුකා මිස්ගේ පුතා නැති වුණානේ ගිය අවුරුද්දේ. අපි මලගෙදරත් ගියා."
"මොකක් ???       ගයාල්.............."
නිමේගේ අම්ම කිසිම දෙයක් නොවුණු විදිහට ලාවට කීව ඒ කතාවට මං ගල් ගැහුණා. පුංචි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු ගයාල්ගේ අහිංසක මූණ මට මැවිල පෙනුණා.
"කොළඹදී තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ, හොස්පිට්ල් එකට යද්දීත් ................................................................................................................................................................................................................................................................................................................."
ඇන්ටි තව මොනවාද කියවනවා.
"ලෙක්චර්ස් තිබුණු නිසා මමත් ආවේ නෑ බං" නිමේ කීවා.
"ඒ කියන්නේ උඹත් දන්නවා." නදී කෑ ගහන්න ගත්තා.
"වරෙන් බං යන්න." මං නදීගේ අතත් ඇදන් ඇතුලේ කාමරයකට ගිහින් දොර වහගත්තා.
නදීගේ ඇස් වල කඳුළු පුරෝලා එකයි.
"ඇයි බං අපේම යාළුවෝ අපිට මෙහෙම කරන්නේ???" මං ඇහුවා.
"දවසක් කළින් කීව නම් හොයාගෙන හරි යන්න තිබුණා. මං හෙට කළුතර යන්න ඕනි බං"
ඉතින් නදී ගියා. ගයා එදා උත්සවේටවත් ඇවිත් හිටියේ නෑ. මං තනියෙන්. ටීච ඒ කාලෙම කිය කියා හිටියේ ගෙවල් මාරු කරන කතාවක්. දැන් කොහේ  ඉන්නවද කියන්න මං දන්නෑ. විස්තරේ දන්න අනිත් කෙනා නම් නිවාඩුවට ගමේ එනවා. ඒත් එයා එක්ක ඒ ගමන් යන්නවත්, මිස් ගැන විස්තරයක් අහන්නවත් මගේ හිත නැමෙන්නේ නෑ.
මිස් වැඩ කරපු ඉස්කෝලෙවත් මං දන්නෑ. කොහොම ටීචව හොයන්න පටන්ගන්නද කියල මට තේරෙන්නෑ. අනිත් අවුල තමයි ටීචට මං මොනාද කියන්නේ. මේ සිද්ධිය වෙන්න කළින් ටීචව බලන්න ගියා නං කියල හිතෙනවා. මං හුඟක් පසුතැවිලි වෙනවා ඒ ගැන. ගෙදර කාටවත් මා එක්ක ටීචව හොයන්න යන්න නිදහසක්, වුවමනාවක් නෑ. මොනා කරන්නද මන්ද,
හුඟක්ම දුක හිතුනේ අපේ පරණම යාළුවෝ ගැන.
වයින් පරණ වෙන තරමට රහයිලු. යාළුකමත් ඒ වගේලු. යාළුකම නම් කවදාවත් වෙනස් වෙන් නැතිව ඇති. ඒත් යාළුවෝ නම් වෙනස් වෙනවා. එහෙම කියන්නත් බෑනේ ඉතිං, සමහර යාළුවෝ නම් වෙනස් වෙනවා කියල මං ඒක සංශෝධනය කර ගත්තා.
හුඟාක් දුකින් ලියපු ලිපියක් මේ. කියෝන කවුරුහරි උපදේසයක් දෙන්ඩෝ..........මං ඉස්සරහට මේ ගැන මොනා කරන්නද මන්ද,




15 comments:

  1. කරන්න දෙයක් නෑ. අපි හිතන විදිහටම හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නෑ. වෙනස් වීම යාළුවන් ටත් ඒ විදිහටම සිද්ධ වෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ත එහෙම වෙන්නැති

      Delete
  2. ඇත්තටම භාග්‍ය ඉල්ලුව වගේ උපදේසයක දෙන්න නං මං දන්නෑ. ඒත් ඒ ටීච කලිං වැඩ කරපු ඉස්කෝලෙන් පටං ගන්න. කාකාස ල සාමාන්‍යයෙන් මාර වෙනව අඩුයි. ඒ කෙනෙක්ව ෆිට් කරගතතොත් එතනිං ඔය වැඩේ ඊසි ගොඩ දැමමැකි. මොකද ඉසකෝල වලඉන්න හිටපු මිස්ල ගෙ නම් ලිස්ට් එකක් සාමාන්‍යයෙන් නඩත්තු වෙනව. මංද අනෙක්වගෙ අපේකෙ නං තිබ්බ. ඒකෙ තියනව කොහට්ටද ගියෙ කියල. එතනිං ගිහෑකි. ඒ වගෙම ඒ මිස්ගෙ සමකාලීනයො හිටියොත් කෝමත් ලේසියි

    පරණ යාලුවොයි පරණ හුණුසාලුයි කියන්නෙ මෙලෝ වැඩකට ඇත් දේවල් නෙවී
    සිරාවටම

    ReplyDelete
    Replies
    1. මිස් ගිය ඉක්කෝලෙත් දන්නෑ අනේ.......... ඉහි ඉහි ඇඬෙනවා අෆ්ෆා

      Delete
  3. ලෙඩක් දුකක් හැදෙන්නම ඕනේ හොඳ යාළුවො කවුද කියල ඉගෙන ගන්න නං

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකවම් ඇත්ත. දැන් අපේ මූණවත් බලන් නැති සමහර යාළුවෝ අසනීපෙන් ඉන්නකොට, අපි කළ දේවල් මතක් වෙද්දී, අපි ගැනම දුක හිතෙනවා. ලෝකේ වෙනස් නෙවෙන එකම දේ, වෙනස්වීමනේ. හිත හදාගන්න තමයි තියෙන්නේ ඉතිං

      Delete
  4. අනේ සමාවෙන්න ...මට උපදෙසක් දෙන්න අදහසක් ඔලුවට එන්නෙ නෑ..

    ReplyDelete
  5. ඔව්වා ඉතින් එහෙම තමයි!!! අනික් උන් ගැන හෝප්ස් තියාගන්ඩ හොද නෑ!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.........

      Delete
  6. ඇයි බං අම්මලා මළ ගෙදර ගියා කියුවා නේද? ඉතින් ඉන්න තැනක් දන්නේ නැද්ද? සිරාවටම දැන ගන්න ඕනිනම් කාල වකවානුත් එක්ක තව දන්න විස්තර කියල මේල් එකක් එවන්න.. මං ඔය රහස් පරීක්ෂක වැඩ කරනවා ෆ්‍රී වෙලාවට.. බණ්ඩාරවෙල බදුල්ල පැත්තෙනම් ඉතින් හොයා ගන්න එක ඒ හැටිම අමාරු නෑ.. අපේ ඒරියල් එකනේ.

    ReplyDelete
    Replies
    1. හොයා ගත්තා....................

      Delete
  7. උපදෙසක් දෙන්නං හැබැයි උඹ ඉල්ලන විදිහෙ උපදෙසක් නම් නෙවෙයි…...ඡේද සහ දෙබස් අතර ස්පේස් එකක් තියාපං..ඔක්කොම එක ගොඩේ උනහම කියවන්න අමාරුයි. සම්ටයිම්ස් අපි වයසක උදවිය හින්ද වෙන්නත් ඇති...:)

    පලි - ගුරුවිරී...අත්තම්මගෙ වචනයක්.." සුට්ටි පුතා කවදහරි හොයාගන්ට රතු ගුරුවිරියක් හොඳද? " උන්දැ රතු කියන්නෙ සුදු කියන අදහසින්.

    " එහෙනං ඉතිං ගුරුවිරී හම ගහල තමයි ගන්ට ඕන " ඒ වෙලාවට මම හිනාවෙවී කියනව..

    මම හොයාගත්තෙ කවුද කියල බලන්ට උන්දැට වාසනාව තිබ්බෙ නෑ. ඊට කලිං උන්දැ ඇහැ පියාගත්ත. මම හොයාගත්තෙ ගුරුවිරියක්නම් තමයි. ඒත් රතු නම් නෑ…:)

    ReplyDelete
    Replies
    1. එහෙමයි අයියේ.!!!!!!!!!1
      ස්පේස් තියන්නම් හොඳේ. ඔයාගේ අත්තම්මට මං හෙන ආසයි අනේ. එතුමී ගැන පෝස්ට් එකක් දාන්නකෝ.....

      Delete
  8. ජීවිතේ සොදුරු මතකයන් විතරක් මතක තියාගෙන අනිත් ඒවා අමතක කරන එක තමයි හොදම දේ.යාලුවො ගැනත් එච්චරයි.

    ReplyDelete