Friday, June 19, 2015

වැස්ස

වැස්ස කියන්නෙ හැමතිස්සෙම බැනුං අහන දෙයක්. ඇතත් බැනුං. නැතත් බැනුං. ඒක අපේ රටේ මිනිස්සුන්ගෙ විදිහ වෙන්නැති. ඒත් ඔයාල කවදහරි අහං ඉඳල තියෙනවද වැස්ස වැටෙන සද්දේ. මං අදහස් කළේ වැස්ස වැටෙන සද්දේ ඇහිල තියෙනවද කියලා නෙවේ. උවමනාවෙන්ම ඒ සද්දේට ඇහුන්කන් දීල තියෙනවද කියලයි.

"ඒක හරියට භාවනාවක් වගේ”

කන්දක් මුදුනෙ තිබුණු බාලිකාවේ, ගේට්ටුව ලඟම හෝල් එකේ තුන්වෙන් තට්ටුවේ තිබුණු අපේ පන්තියේ එදා උගන්නන්න බැරි තරමට සද්දේ. උදේ ඉඳන්ම තිබුණු පොදවැස්ස ක්‍රමයෙන් අනෝරා වැස්සක් බවට පත්වෙලා. දෙපැත්තේ තිබුණු පන්ති දෙකෙත් උගන්නන මිස්ලා ඇවිත් නෑ.  පොත් වලට මූණු ඔබාගන්න කියල හැමදාම ගුරුවරු බල කලත්, කවදාවත් ඒ බසට අවනත නොවුනු 9 පන්තියේ ගෑණු ළමයින්ගේ කටවල් වලට පණ එන්න උදව් කල සාධක බොහෝමයක් එදා තිබුණා.

1. උගන‍්වන්න ආව මිස් ගොඩක් හොඳ වීම.
2. මහා ඝෝෂාවක් සහිතව තදින් වර්ශාව පැවතීම.
3.දෙපස පන්ති වල ද ගුරුවරියන් නොමැති වීම.

එදා පන්තියේ ඉස්සරහම පේළියේ පොතේ පිටු දිහා බලන් ඉන්න සිදුවුණු අවාසනාවන්තියන් කිහිපදෙනාගෙන් මමත් එක්කෙනෙක්. පොතේ පිටු පෙරළමින් හිටිය මට සමාජ අධ්‍යනය හා ඉතිහාසය උගන්වන නන්දා මිස්ගෙ කටහඬ ලාවට ඇහුණා. අමුතු කථාවක්. මං ඔළුව උස්සලා බැලුවා.

" මේ වැස්සෙ සද්දේ, අහගෙන ඉඳල තියෙනවද ඔයාලා.......... දවසක අහං ඉන්නකෝ. හිත නිවෙනවා හුඟක්................”

එදා ඉඳල මං පුරුදු වුනා වැස්ස වැටෙන සද්දේ අහං ඉන්න. නන්දා මිස් අපේ පාසලේ ගුරුවයෙන්ගෙන් මං හුඟාක් ගරු කරන චරිතයක්. කොන්ඩෙ දිගට ගොතල, හිනා මූණක් පුරෝගෙන උදේම ඉස්කෝලෙට නන්දා මිස්ව දැක්කත් මට සතුටුයි. මිස් කීවා හරි. ඇත්තටම ඈතින් වැස්ස එන සද්දේ අහං ඉන්නකොට, අමුතුම මිහිරක් හිතට දැනෙනවා.

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම්.................//

 මන්දාරම්............

තනියමවත් යන්නට බැරි - කුඩේ යටින් ඔබේ ලඟින් //
නොතෙමී තෙමි තෙම් සතුටින්
යන්නට තිබුණා.................//


මන්දාරම්............

මඟ යන එන අයට හොරෙන් - ඔබේ දෑසට එබී බලා //
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුණා........................//

මන්දාරම්............

සීතල පලාතක ජීවත් වුණු අපිට මන්දාරමත්, පොද වැස්සත් අරුමයක් නොවුනත් උසස්පෙළ ඉගෙන ගන්න කාලේ ඉඳන්ම මං හුඟක් කැමති සිංදුවක් ඒ. එදා අපි යාළුවෝ දහදෙනෙක් විතර එකතු වෙලා සිංදු සාදයක් දැම්මා. කට්ටිය කොටස් දෙකකට බෙදිල තරගෙට සිංදු කියනවා. එක කට්ටියක්  සිංදුව අවසන් කරන අකුරෙන් අනිත් අය පටන් ගන්නවා. මගේ මිතු හිටිය නිසාත්, එයා සිංදු  සංචිතයක් එයාගේ ශීර්ෂය ඇතුලේ පවත්වාගෙන යන නිසාත් අපේ කණ්ඩායම නිතරඟයෙන්ම වගේ සිංදු තරඟයේ මුල් තැන අරගෙන තිබුණා.
ඊළඟට අපේ තරඟ වාරේ.
අකුර    ' ම '
කාටවත්ම සිංදුවක් මතක් වෙන් නෑ වගේ. විනාඩියක් විතර ගෙවිල ගියා.
'ඒත් ඒ සිංදුව මට අමතක වෙන්නේ කොහොමද, අපිට කොහොමටවත් පැරදෙන්න බෑ.'
දෙපාරක් නොහිතම මං සිංදුව පටන් ගත්තා.

මන්දාරම් අඳුර මැදින් - හිරිපොද වැහි වැටෙන වෙලේ...............................................

මාත් එක්කම තවත් කටහඬක් ඇහුණා.
එයත් ඒ සිංදුවම මා එක්කම කියන්න පටන් අරන්. පුංචි හිනාවකුත් මූණ උඩට අරගෙන එයා සිංදුව කියනවා. පස්සෙ මං දැනගත්තේ, එයත් කැමතිම සිංදුවක්ලු ඒක. සිංදුව සම්පුර්ණයෙන් කියන්න මට ඕන වුනත් එදා, බැරි වුණා.
අතීත මතක, ඇත්තටම මං ඒවට ලෝබයි. ඒත් මගේ බ්ලොග් ගල් අඩවියට එන ඔයත් එක්ක ඒ සැමරුම් බෙදා ගන්න මං ආසයි.
ඒ වගේම කාලයක් තිස්සේ පායලා  වටපිටාව වේලිලා තියෙන වෙලාවක, එකපාරම වැස්සක් වැටෙද්දී දැනෙන නැවුම් සුවඳටත් මං හුඟක් කැමතියි. දූවිලි සුවඳ කියලා කියන්නේ ඒ සුවඳටද මං දන්නෑ. නම මොකක් උනත් ඒ සුවඳ විඳින්න ආස හිතෙනවා.

ඉතින් වැස්සත් එක්ක බැඳුණු සොඳුරු හැඟීම් ගොන්නක් එක්ක තනි වෙන්න හුඟක් ආස කරන මං
භාග්‍යා


9 comments:

  1. නමුණුකුල කිව්වම මට මතක් වෙන්නේ අර
    "තුමුණ නමුණුකුල ගිරි හිස"කියන සින්දුව.

    භාග්‍යත් නමුණුකුල පැත්තේද ?
    ලියන්න තියෙන ඔක්කොම එකම දවසේ නොලියා දවසින් දවස ලිව්වානම් එහෙම මොකද.

    ReplyDelete
    Replies
    1. මට ලැබුණු පළවෙනි කොමෙන්ටුව. ස්තූතියි. නමුණුකුල නෙවෙයි. ඒ පැත්තේ............ නමුණුකුලට ටිකක් එහා. ඒ සිංදුවට මමත් ආසයි.

      Delete
  2. මං හිතුවට වඩා හොඳට නංගිට ලියන්ට ඇහැක් නොවැ. ඉස්සර කාලෙ තිබුන සුවඳ පත්තරේ බැලුව වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ. මොනාද සුවඳ පත්තර කියන්නේ??????????????

      Delete
  3. ශ්‍රංගය දන්නවද මෙයාව? පොඩි ඇඩ්වටීස්මන්ට් එකක් දීල ගන්න එපැයි ගමේ උනාම..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. හැබැයි දැනටමත් සුරං අයිය ගොඩත් උදව් කරල තියෙනවා. ඒ හැමදේටම ස්තූතියි අයියේ

      Delete
  4. කල්‍යාණ තමා පර කිව්වේ. අපි නෙලුම් යායට හෙම ඇදල ගමු නේද. මාත් වැස්ස අහන් ඉන්න හරි ආසයි. මං කැමතිම (අපේ ගේ හදල තියෙන්නේ ඒ විධිහට) වැස්ස එන කොට ගේ ඇ තුලකට වෙලා හොඳ තේ එකකුත් හදාගෙන වැස්ස දිහා බලන් ඉන්න. ඉතින් අපි ලොකු විදුරු ජනේලයක් දාල කෑල්ලක් හැදුව. මගේ බිරිඳ කැමැතියි ඉර එළිය එනවට. දෙන්නම එතන තමයි නිවාඩු වෙලාවට ඉඳගෙන ඉන්නේ.

    ReplyDelete
  5. කල්‍යාණ තමා පර කිව්වේ. අපි නෙලුම් යායට හෙම ඇදල ගමු නේද. මාත් වැස්ස අහන් ඉන්න හරි ආසයි. මං කැමතිම (අපේ ගේ හදල තියෙන්නේ ඒ විධිහට) වැස්ස එන කොට ගේ ඇ තුලකට වෙලා හොඳ තේ එකකුත් හදාගෙන වැස්ස දිහා බලන් ඉන්න. ඉතින් අපි ලොකු විදුරු ජනේලයක් දාල කෑල්ලක් හැදුව. මගේ බිරිඳ කැමැතියි ඉර එළිය එනවට. දෙන්නම එතන තමයි නිවාඩු වෙලාවට ඉඳගෙන ඉන්නේ.

    ReplyDelete
  6. නෙළුම් යායෙ ගොඩක් අයගේ පෝස්ට් මං කියවනවා. කොමෙන්ට් නොදැම්මට
    ඇවට ස්තූතියි. ආයෙත් එන්න

    ReplyDelete