Thursday, July 9, 2015

මතකය


නෙත් කෙවෙනි අග
හීතලට ගුලි වෙන
කඳුළු බින්දුවක්
බොඳ කර හරියි
සුදු කරදහියේ
මා සුරතින් ලියැවූ වදන්

ඒ වදන් විලස ඔබත්
බොඳ වී ගිහින්දෝ
මා නෙතු අද්දරින්
නොපෙනෙනා ඈතකට

මීවිත නෑ
මගේ දෙතොලට
කඳුළ සුසුම
දියකර හරින්නට
නොපැතු මොහොතක
මතක පියන්පත්
විවරවන්නේ කිම
නොපැතු විලසට

කඳුළු සඟවා
දසන් විදහා
ලොවට පෙනෙන්නට
සිනාසෙන්නට
තැත් දරමි
මා තවම




Monday, July 6, 2015

එයා ඇවිත්

අද ඔයා මං ළඟ,කාලෙකට පස්සේ. මං නැතිව පාළුවෙන් ද හිටියේ කියල මං අහන්නේ නෑ, ඒ ඔයා උත්තර දෙන්නේ නෑ කියල මං දන්න නිසා. අපිදෙන්නා ගොඩක් සතුටින් හිටිය ඒ කාලේ ඔයාට මතකද ? ඒ කාලේඅපිට ප්‍රශ්න හුඟක් තිබුණේ නෑ. ඔෆිස් ඇරිල මං එන්නේ ඔයාව හොයාගෙන, ගෙදරින්කොච්චර බැනුං ඇහුවත් මට ඔයාව ඕනි වුණා. මගේ මහන්සිය ඔයා ළඟ ඉන්නකොට දියවෙලා ගියේ මටත් නොදැනිම.
ඒත් ටික කාලෙකින් මට ඔයාගේ ලොකු වෙනසක් දැනුනා. හිතාගන්නවත් බැරි විදිහට ඔයා අසනීපවෙලා, මං ඉක්මනට අයියට කෝල් කරල විස්තරේ කීවා. මං දැනං හිටියා මට උදව් කරන්න පුළුවන් එයාට විතරයි කියලා. ඊට සතියකට විතර පස්සේ අයියා ආවා ඔයාව එක්කන් යන්න. ඔයාව හොඳ කරගන්න ඕනි නිසාම මං අයිය එක්ක ඔයාව යැව්වා.
මගේ ලෝකය එකපාරටම මහ අඳුරකින් වැහිල ගියා වාගේ දැනුනා. අයියට එයාගේ වැඩත්  එක්ක ඔයාගේ විස්තර හැමදාම මට කියන්න බැරිවුණා. ඔයා ගිය දවසේ ඉඳන්ම මහා පාළුවකින් මං හවස්වරුවම ගෙවලා දැම්මා. ජීවිතේ පරණ පුරුදු විදිහට ඔහේ ගෙවිල ගියා. ඔයා මං ළඟට කවදා එයිද කියල මං හැමදාමත් ඇඟිලි ගැන්නා.
ගොඩක් අයට මං ඔයා ගැන කීවා. සමහරු කීවා ඔයාව අත්ඇරල දාන්න කියලා, සමහරු කීවා ඔයාව හොඳ කරගන්න බැරි වෙයි කියලා, සමහරු කීවා ඔයාව අයිය එක්ක යැව්වෙ අපරාදේ කියලා, සමහරු කීවා ඔයාව කාගේ හරි ඇඟේ ගහල ෂේප් වෙන්න කියලා, සමහරු කීවා ඔයා ඉක්මනට හොඳ වෙයි කියලා. ඒ හැමොමත් එක්ක හිනාවෙලා, මං ඔයා එනකන් මඟ බලාගෙන හිටියා. කවුරු මොනා කීවත් මං දැනං හිටියා ඔයා අනිවාර්යයෙන්ම කවදහරි මං ගාවට එනවා කියලා. එයාල දන්නෑනේ මේ ටික කාලෙට ඔයා මට කොච්චර ළං වුනාද කියලා.
ඔයා එනවා කියල දැනගත්ත දවසේ මට හරියකට ඔෆිස් එකේ වැඩ ටිකවත් කරගන්න බැරිවුණා. මං ඉතිං අපේ සුරංග අයියට උදේ ඉඳන්ම කං කෙඳිරිගාගෙන හිටියා.

"මොකදෑ බොලෑ දැං ඔය හැටි කෙඳිරිගාන්නෙ ?” සුරංග අයිය ඇහුවා.

"බලන්නකෝ තාම නෑනේ. අද ආවේ නැත්තං මං ඔෆිස් එකෙන් යන් නෑ. මංඋත්තරදුන්නා. 

"ඉතිං ඉන්නකෝ”

ඇස් දෙක ලොකු කරල හිනාවෙලා  සුරංග අයිය කියනවා.
අයිය ඔයාව තනියම එවන්න බයවුනත්,  එදා හවස් වෙද්දි ඔයා පරිස්සමින් මං ළඟට ආවා. ඉතිං මට මල් හතයි.
ඒ හැමදේම කොහොම උනත් අද ඔයා මං ළඟ. ඔයාට හොඳටම හොඳයි. මට සතුටුයි. දැං පුරුදු විදිහටම හවසට මට ඔයත් එක්ක තනිවෙන්න පුළුවන්. මං අළුතෙන්ම පටන්ගත්ත බ්ලොග් එක ලියන්නත් ඔයාවඋදව්වට ගන්න මං බලාපොරොත්තු වෙනවා. ඔයාව මට කොච්චරක් ඕනෙ ද කියල පැහැදිලි කරන්න මේ ලිපිය මදි වුනත් මං ඔයාගේ මතකයේ මේ ලිපිය ගබඩා කලාට පස්සේ ඔයාට යන්තම්වත් තේරුම් ගන්න පුළුවන් වෙයි ඒක.
ඉතිං ඔයා මං ළඟට ආවට මට ඇත්තටම හුඟක් සතුටුයි.


ප.ලි. :- මගේ ලැප් එක ආපසු ලැබීමේ ප්‍රීතීය නිමිත්තෙන් ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ...................

Wednesday, July 1, 2015

පෝය දා

එදා ඉල් මාසේ පෝය දා
වටපිටාවේ හැමදේම කිරිපාටින් බැබලෙමින් තිබුණා. පුරහඳ අහස පුරාම ඇවිදින්න පටන් අරන් දැන් ටික වෙලාවක් ගෙවිල ගිහින්.
අපිත් යමුද ඇවිදින්න?
හා ඒත් සීතලයිනේ,
කෝ දෙන්නකෝ අත................. අපි උඩහටම යමුද ?
හා, ඒත් මට බයයිනේ
මම ඉන්නවානේ...................
එයා තරු ඇස් දෙකෙන් හිනා වෙලා මගේ අත තදින් අල්ල ගත්තා.
එක යායට හඳ එළිය පැතිරිලා,
ගස් කොළං වලට හඳ එළිය වැටිලා ඒවා දිලිසෙනවා
හරියට අහසේ තරු වගේ........................

සේකර මහත්තයා කීවා වගේ
පොළවේ තිබුණු තාප්ප, වැට කඩුළු ඔක්කොම අතුරුදහන් වෙලා
අහසට ගියාම හැමදේම හරිම ලස්සනට පේනවා.

හිතට එන හැමදේම කියව කියව  අහස පුරා රවුං ගැහුව අපි, පාන්දර වෙද්දී පහලට ආවා.
ගල් ගැහන සීතලක් වටපිටාවේ තිබුණට, මගේ හිත නුපුරුදු උණුහුමකින් පිරිල තිබුණා.

ඊළඟ පෝයටත් ඇවිදින්න යමුද ?
එයා යන්න කලින් මං ඇහුවා.
හා

යන්න කලින් එයා කියල ගියා.

Monday, June 29, 2015

සුභම සුභ උපන් දිනක් වේවා !!!!!!!!!!!!!

තුරු වදුලේ සුපිපි වන මල්
තෙත්ව ගොසින් හිමිදිරි පිණි පොදට
සිහින මීදුම් වලා අතරින්
ගලා එයි අනාගත පැතුම් පොදි
වෙර ගන්න විඳින්නට ඒ හිරු එළිය
බොරදියේ පිපි ඉඳුවර කැකුළක් විලස,

නොවනුමැන වන මලක්
මකරන්දයේ නැලවී
විසිරගොස් ළවැල්ලේ
කේෑරි වී පරව යන,

ඉඳුවර කැකුළක් ලෙසින්
පිපෙනු මැන හෙට දිනත්
සුදීලී වන මල් අතරින්
සොයුරියේ
පියමනින්නට
සුභ සොඳුරු අනාගතයකට



මගේ ආදරණිය හිංචි පැංචි නංගාගේ දාහත්වෙනි උපන්දිනය පහුගිය විසිඅට වෙනිදා යෙදිල තිබුණා. ඉතින් එයාට සුභම සුභ අනාගතයකට මං ආසිරි පතනවා.

Friday, June 26, 2015

ගාලු ගමන

කොම්පීතරේ ලඟ වාඩි වුනාමයි මට සිහිවන්නේ  “අනේ දෙවියනි මා මොනවැයි මාගේ මේ නවක බ්ලොග් අඩවියේ සටහන් කොරන්නේ කියල. ඕං ඔහොම කම්පනා කොරමින් ඉන්නකොටයි මේං මේ සිද්ධිය මතක්වුනේ..............
 ළඟදී දවසක අපි ගියානේ ලංකාවේ දකුණු කෙලවරට පොඩි සවාරියක්. මේක ඉතිං සවාරියක් කීවට සවාරියක්මත් නෙවෙයි. අපේ අප්පොච්චගේ අයියණ්ඩිගේ පුතණ්ඩියගේ, කොටින්ම කීවොත් අපේ ලොකුඅප්පොච්චගේ පුතණ්ඩියගේ විවාහ මංගලෝත්සවයට සහභාගී වෙන්න අපි හාමෝම ගාලු ගියා.

බොහොම කාලෙකින් බීච් යන අපිට ඇත්තටම ඒක සවාරියක් වුනා. අනිත් අය කෙසේ  වෙතත් මං ආසයි බීච් යන්න. දාහය නිවාගෙන යන මූදු හුළං රැල්ලත් එක්ක හවස් වරුවක වෙරළට ඇවිත් මනෝපාරක් දාං ඉන්න ඉතිං මට කොයින්ද වාසනාවක්.
හැමදාමත් බීච් යන අයට ඊරිසිය නොකර ලැබෙන ඕනෑම චෑන්ස් එකකදී බීච් සයිඩ් යන්න මං එවරෙඩි පූසා වගේ රෙඩි. හී හී
ලංකාව හතරවටේ කරක්ගහන්න මං කොච්චර ආස වුනත් ඔය ගමන් බිමන් වල යෙදෙන්න අපේ මව්දෙමව්පියෝ පොඩ්ඩක් අකමැතියි. හේතුව උණුසුම. ඇත්තටම උපන්දා ඉඳල කූල් එකේ ඉන්න එයාලට ඔය පහළ පැති වල තියෙන රස්නෙට හැඩගැහෙන්න ටිකක් අමාරුයි. ඒත් ඉතින් මං, ට්‍රිප් යන්න යෝජනාවක් ආ සැනින් උඩ පැනල කෑ ගහල සභා සම්මත කර ගන්නවා. ( මා විසින්ම, අන් අයගේ කිසිදු විමසීමකින් තොරව. හී හී ) ඉන් පස්සේ ඉතිං කට්ටියම නම බලල, දින ගැනලා, සාකච්ඡා වට මේස හතරැස්  මේස ගනනාවක් තියලා, ගමන තීන්දු කරනවා. සමහරවිට ඉතිං ගමන ලත් තැනම ලොප්. සම්මත වුනාට පස්සේ මට ආයෙම ඉතින් ඔය සම්බන්ධව සිහිවන්නේ ට්‍රිප් එක යන දවසේ පාන්දර අම්මා ඇහැරවනකොට තමයි. හී  හී 
තව පොඩ්ඩෙන් අපේ අයියණ්ඩිගේ මංගල්ලේ අමතකම වෙනවා.
ඉතිං කට්ටිය එක්කම කාලයක් තිස්සේ බලන් හිටිය ඒ අනභිබවනීය මොහොත උදා වුනා. මංගල්ලේ නෙවේ. මේ................. ට්‍රිප් එකේ සමාරම්භක මොහොත.  උදේ අටට විතර ගමන් ආරම්භ කරපු අපි සෙටාර් එක ලන්ච් ගන්න , තංගල්ල බීච් එකට ගොඩබැස්සා. ( වාහනෙන් බිමට ).  හවස්  වෙනකන්ම වැල්ලෙ හිටිය අපි, අයියණ්ඩිගේ අවසන් තනිතඩ අයිස්කිරීං භෝජන සංග්‍රහයත් භුක්තිවිඳල ගොම්මන් කළුවර පාත් වෙද්දී කළින්ම සැලසුම් කරගෙන හිටිය විදිහට මාතර තිබුණූ සංචාරක බංගලාවට පිටත්වුනා.
වෙඩිමට ලෑස්ති වෙන්න ඕනි නිසා කට්ටියම බරටම වැඩ. ඇඳුම් අයන් කෙරිලි, සපත්තු පොලිස් කෙරිලි, බියුට්කචල් වැඩ,  විහිළු තහළු,  අයියණ්ඩිගේ පුරාවෘත්ත, එතුමාගේ අනාගතය පිළිබඳ අනාවැකි,  රාත්‍රී ආහාර පිළියෙල කිරීම්, පසු දින පිළිබඳව එකිනෙකාගේ මතිමතාන්තර, රණ්ඩු දබර, මල් කැඩිලි, සුහද කථා ආදී  මෙකී නොකී සියළුම වැඩ අතරතුර අපේ වැඩිහිටි පිරිමි පාර්ශවේ උදවිය පහළ තට්ටුවේ සයිඩ් රූම් එකක පොඩි වැඩක් පටන් ගත්තා. අපේ රවී අයිය කියන හැටියට කීවොත් පොඩි කර්තව්‍යයක් ආරම්භ කොලා. මේ වගේ අවස්ථාවලදී අපේ කස්ටියට ඕව නැතිවම බෑ ලු නේ. ඕං ඕවගේ ඇත්ත නැත්ත මං දන්නේ නෑ.

ඉතිං  පහුවදා මංගල්‍යෙයේ වැඩ කටයුතු සියල්ල සාර්ථකව අවසන් වුනාට පස්සේ අපි ආපහු එන්න වාහනයට ගොඩවුණා. අපේ අප්පොච්ච වාඩිවුනේ මං තුමී ලඟ තිබුණු ආසනේ. එයාට ඉතිං මේ වගේ මොහොතවල් වල කියන්න සෑහෙන කථා තියෙනවා. මේ එයින් එකක්.

පුතා, දන්නවානේ අපිත් එක්ක ආව චන්දරේ අයියා...............

මිස්ට චන්දරේ මෙන්ම ඔහුගේ ඥාති පරම්පරාවම මං හොඳින් දන්නා බව දැන දැනත් අපේ තාත්තා ඇහුවා. මං දන්නවා දැං මෙයා මේ හොඳ කථාවකටයි ලෑස්තිවෙන්නෙ කියල.

            ඉතිං මොකෝ වුණේ තාත්තේ??  මං කීවා.

කට්ටියම ඊයෙ හොඳට සප්පායම් වෙලානේ. අපි කිහිප දෙනයි හොඳ සිහියෙන් හිටියේ. ඔයාල, අම්මලා කට්ටියම උඩ තට්ටුවේ නිදාගත්ත නිසා, අපි කට්ටිය පහළ තට්ටුවේ නිදා ගත්තනේ.

තාත්තා කියන හැමදේම දන්නවා වුනත් කථාවට ඕවත් ඕන ඇති කියල හිතලා ඉවසීමෙන් මං අහන් හිටියා.

ඉතිං තාත්තේ...............

නිදාගන්න ගිය වෙලේ තමයි අපි දැක්කේ, පොරවන රෙදි එකක් අඩුයි කියලා. මේ වාගේ වෙලාවල් වල හැමදේම හරියටම නෑනේ. අනික මේ රස්නෙත් එක්ක පොරවන රෙදි ඕනිත් නෑනේ. මේ වෙලාවේ හොඳට සප්පායම් වෙලා හිටිය චන්දරේ කාමරේට ආවා. තව අපි තුන්දෙනෙක් නිදාගන්න ලෑස්තිවෙලා හිටියේ.

චන්දරේ, පොඩි අවුලක් තියෙනවා. පොරවන රෙදි එකක් අඩුයිනේ. මොකද කරන්නේ???? අපේ බාප්පා කීවලු.

එහෙමද මහත්තයෝ, දැං මොකද කරන්නේ, කමක් නෑ. ඕව ඕනත් නෑ මේ ගිනි රස්නේ.

 නෑ නෑ එහෙම නෙවේ.....මේ පොරෝනෙ චන්දරේ ගන්නකෝ. අපි  මොනහරි කරගන්නම්.  අපේ තාත්තා කිව්වලු.

පොඩ්ඩක් ඉන්නකො මහත්තයෝ මං මේ සරමක් ගෙනාවා..... ඒකවත් හොයල ගමු.

කියල චන්දරේ බෑග් එක අවුස්සනවා. ඇඳ උඩ, ඇඳ යට, දොර මුල්ලේ, බාත්රූම් එකේ තව එහා කාමරේ ආදී සියළුම තැන්වල හෙව්වත්, සරම මිසින්. පැය දෙකක විතර මෙහෙයුමකින් පස්සේ අපේ ලොකුතාත්තා හිනාවෙලා නිකමට වගේ ඇහුවලු

 චන්දරේ දැං මේ හොයන්නේ ඇඳන් ඉන්න සරම එහෙම නෙවෙයිනේ  ?????? කියලා.


වටපිට බලපු චන්දරේ අයිය ඔළුවේ අත ගහගත්තලු.

Monday, June 22, 2015

තරු දෑස්

ලෝකයම නොදැන හිටියත්
හොඳටම දැනං හිටියා ඔයා
ඒත් කොහොමද එහෙම කලේ
ඒ ගැන අහන්න
ඔයා කෝ....................

රෑ දිදුළන
දාහක් තරු කැට අතරේ
මං තාම හොයනවා
මට මතක විදිහට
තරු දෙකක් වාගේ දිලිසෙන
ඔයාගෙ ලොකු ඇස් දෙක
හැමදාමත් හිනාවෙන

ඔයා කියන විදිහට
දෙන්නේ කොහොමද මං
වෙන කාටවත්
මගේ හිත
අරං ගිහින් දුර ඈතට
මටත් හොරෙන්
නොකියම ඔයා...................

Friday, June 19, 2015

වැස්ස

වැස්ස කියන්නෙ හැමතිස්සෙම බැනුං අහන දෙයක්. ඇතත් බැනුං. නැතත් බැනුං. ඒක අපේ රටේ මිනිස්සුන්ගෙ විදිහ වෙන්නැති. ඒත් ඔයාල කවදහරි අහං ඉඳල තියෙනවද වැස්ස වැටෙන සද්දේ. මං අදහස් කළේ වැස්ස වැටෙන සද්දේ ඇහිල තියෙනවද කියලා නෙවේ. උවමනාවෙන්ම ඒ සද්දේට ඇහුන්කන් දීල තියෙනවද කියලයි.

"ඒක හරියට භාවනාවක් වගේ”

කන්දක් මුදුනෙ තිබුණු බාලිකාවේ, ගේට්ටුව ලඟම හෝල් එකේ තුන්වෙන් තට්ටුවේ තිබුණු අපේ පන්තියේ එදා උගන්නන්න බැරි තරමට සද්දේ. උදේ ඉඳන්ම තිබුණු පොදවැස්ස ක්‍රමයෙන් අනෝරා වැස්සක් බවට පත්වෙලා. දෙපැත්තේ තිබුණු පන්ති දෙකෙත් උගන්නන මිස්ලා ඇවිත් නෑ.  පොත් වලට මූණු ඔබාගන්න කියල හැමදාම ගුරුවරු බල කලත්, කවදාවත් ඒ බසට අවනත නොවුනු 9 පන්තියේ ගෑණු ළමයින්ගේ කටවල් වලට පණ එන්න උදව් කල සාධක බොහෝමයක් එදා තිබුණා.

1. උගන‍්වන්න ආව මිස් ගොඩක් හොඳ වීම.
2. මහා ඝෝෂාවක් සහිතව තදින් වර්ශාව පැවතීම.
3.දෙපස පන්ති වල ද ගුරුවරියන් නොමැති වීම.

එදා පන්තියේ ඉස්සරහම පේළියේ පොතේ පිටු දිහා බලන් ඉන්න සිදුවුණු අවාසනාවන්තියන් කිහිපදෙනාගෙන් මමත් එක්කෙනෙක්. පොතේ පිටු පෙරළමින් හිටිය මට සමාජ අධ්‍යනය හා ඉතිහාසය උගන්වන නන්දා මිස්ගෙ කටහඬ ලාවට ඇහුණා. අමුතු කථාවක්. මං ඔළුව උස්සලා බැලුවා.

" මේ වැස්සෙ සද්දේ, අහගෙන ඉඳල තියෙනවද ඔයාලා.......... දවසක අහං ඉන්නකෝ. හිත නිවෙනවා හුඟක්................”

එදා ඉඳල මං පුරුදු වුනා වැස්ස වැටෙන සද්දේ අහං ඉන්න. නන්දා මිස් අපේ පාසලේ ගුරුවයෙන්ගෙන් මං හුඟාක් ගරු කරන චරිතයක්. කොන්ඩෙ දිගට ගොතල, හිනා මූණක් පුරෝගෙන උදේම ඉස්කෝලෙට නන්දා මිස්ව දැක්කත් මට සතුටුයි. මිස් කීවා හරි. ඇත්තටම ඈතින් වැස්ස එන සද්දේ අහං ඉන්නකොට, අමුතුම මිහිරක් හිතට දැනෙනවා.

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම්.................//

 මන්දාරම්............

තනියමවත් යන්නට බැරි - කුඩේ යටින් ඔබේ ලඟින් //
නොතෙමී තෙමි තෙම් සතුටින්
යන්නට තිබුණා.................//


මන්දාරම්............

මඟ යන එන අයට හොරෙන් - ඔබේ දෑසට එබී බලා //
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුණා........................//

මන්දාරම්............

සීතල පලාතක ජීවත් වුණු අපිට මන්දාරමත්, පොද වැස්සත් අරුමයක් නොවුනත් උසස්පෙළ ඉගෙන ගන්න කාලේ ඉඳන්ම මං හුඟක් කැමති සිංදුවක් ඒ. එදා අපි යාළුවෝ දහදෙනෙක් විතර එකතු වෙලා සිංදු සාදයක් දැම්මා. කට්ටිය කොටස් දෙකකට බෙදිල තරගෙට සිංදු කියනවා. එක කට්ටියක්  සිංදුව අවසන් කරන අකුරෙන් අනිත් අය පටන් ගන්නවා. මගේ මිතු හිටිය නිසාත්, එයා සිංදු  සංචිතයක් එයාගේ ශීර්ෂය ඇතුලේ පවත්වාගෙන යන නිසාත් අපේ කණ්ඩායම නිතරඟයෙන්ම වගේ සිංදු තරඟයේ මුල් තැන අරගෙන තිබුණා.
ඊළඟට අපේ තරඟ වාරේ.
අකුර    ' ම '
කාටවත්ම සිංදුවක් මතක් වෙන් නෑ වගේ. විනාඩියක් විතර ගෙවිල ගියා.
'ඒත් ඒ සිංදුව මට අමතක වෙන්නේ කොහොමද, අපිට කොහොමටවත් පැරදෙන්න බෑ.'
දෙපාරක් නොහිතම මං සිංදුව පටන් ගත්තා.

මන්දාරම් අඳුර මැදින් - හිරිපොද වැහි වැටෙන වෙලේ...............................................

මාත් එක්කම තවත් කටහඬක් ඇහුණා.
එයත් ඒ සිංදුවම මා එක්කම කියන්න පටන් අරන්. පුංචි හිනාවකුත් මූණ උඩට අරගෙන එයා සිංදුව කියනවා. පස්සෙ මං දැනගත්තේ, එයත් කැමතිම සිංදුවක්ලු ඒක. සිංදුව සම්පුර්ණයෙන් කියන්න මට ඕන වුනත් එදා, බැරි වුණා.
අතීත මතක, ඇත්තටම මං ඒවට ලෝබයි. ඒත් මගේ බ්ලොග් ගල් අඩවියට එන ඔයත් එක්ක ඒ සැමරුම් බෙදා ගන්න මං ආසයි.
ඒ වගේම කාලයක් තිස්සේ පායලා  වටපිටාව වේලිලා තියෙන වෙලාවක, එකපාරම වැස්සක් වැටෙද්දී දැනෙන නැවුම් සුවඳටත් මං හුඟක් කැමතියි. දූවිලි සුවඳ කියලා කියන්නේ ඒ සුවඳටද මං දන්නෑ. නම මොකක් උනත් ඒ සුවඳ විඳින්න ආස හිතෙනවා.

ඉතින් වැස්සත් එක්ක බැඳුණු සොඳුරු හැඟීම් ගොන්නක් එක්ක තනි වෙන්න හුඟක් ආස කරන මං
භාග්‍යා