එදා හවස වැහිබර අහස පොළවට ඔරවන් හිටියේ, මේ දැං වැස්සක්
වැටෙන්නයි යන්නේ කියන්න වගේ. මං ඉතින් සාරි පොටත් අතේ පටලෝගෙන බස් එකෙන් බිමට
බැහැලා බස් නැවතුම්පොලට ලඟාවුණා. ගෙදරට යන්න තවත් බස් එකක යන්න තියෙන නිසාත්, බස් එක
එන්න වෙලා තියෙන නිසාත් මං ෆෝන් එකත් අතට අරගෙන බ්ලොග් එකක් කියවන්න පටන් ගත්තා.
“දැං ෆෝන් එක අතේමයි නේද??? ආ..........”
ළඟින්ම ඇහුණු හුරු පුරුදු කටහඬට මං හැරිල බැලුවා. සමීර.
බොහොම කාලෙකින් මුණ ගැහුණු මගේ යාළුවා. අපි දෙන්නම එකම ගමේ. එකම දහම්පාසලේ ඉගෙන
ගත්තේ. බාලිකා පාසලක ගිය මට යාළුවෝ හැටියට පිරිමි ළමයි හිටියේ බොහොම අතලොස්සයි.
එයින්, සමීර දැනටත් කතාබහ කරන මගේ හොඳ යාළුවෙක්.
“අම්මෝ මෙයාව දැක්ක කල්, නිවාඩු ද??”
“ඔව් බං, හැමදාම මේ වෙලාවටද එන්නේ?”
“දන්නවනේ ඉතිං ඕෆ් වෙන්න කලිං එන්න
බෑනේ..... හිහ්.”
“යාළුවෝ කවුරුත් හම්බෙන්නැද්ද දැං ???
මේ මරු වැඩක් වුණානේ. මට චතූව මීට් වුණා.”
මගේ ටිකිරි මොළේට ටක් ගාලා මතක් වුණා, මුන් දෙන්නගේ අතීත
කතාව. ඔක්කෝටම කලිං වර්තමාන කතාව අහගෙන ඉන්න ඕනි කියල මට හිතුනා.
“මාත් දැක්ක දවස් දෙක තුනක්ම බස්
එකේදී. දැං එයත් වැඩ නේ..... ඉතින් කියන්නකෝ මොකෝ වුණේ?”
“ඔන්න මං ඊයේ මේ වෙලාවට මෙතැන ඉන්නකොට
චතූ ආවනේ බස් හෝල්ට් එකට.”
“ඒක තමයි මේ අදත් කැරකෙන්නේ, හිහ්
........... ඉතිං ඉතිං මොකෝ කීවේ එයා.”
“මං හිතන්නේ අවුරුදු දෙක තුනකට පස්සේ
මං එයාව දැක්කේ, ඉතිං මාත් ගෙදර යන්නේ ඒ
පැත්තෙන් නිසා මාත් එක්කම යමුද ඇහුවා.”
“ඉතිං ඉතිං……” මං හූමිටි තිබ්බා.
“කෙල්ල අදි මදි කලා. ඉන්පස්සේ මං
පොඩ්ඩක් ගණං උස්සලා කීවා, ඔව් ඉතිං දැං අපිත් එක්ක යන්නෑනේ. අපිව ශුවර් නෑනේ. අපි
යාළුවෝ නෙවෙයිනේ.....කියලා”
“කෙල්ල ගොඩනේ අනිවා නගින්න ඇති වාහනේට.”
“හ්ම් නැග්ගා තමයි....ගේ ගාවින්
බහිනකන් වචනයක් කථා කලේ නෑ....”
පව් අප්පා... කොල්ලගේ මූණ දික් වෙලා. කදුළුත් පැන්නද
මන්දා..
“මොකෝ බන් මේ.... ඕවට අප්සෙට් ගන්න එපා
බං. ඕවා ඔහොම තමයි.”
“කොහෙද ඉතින් උබල කිසිම සපෝර්ට් එකක්
නෑනේ. ඉස්සරත් එකයි, දැනුත් එකයි.”
“හරි හරි ඉතිං, සොරි ඉතිං. මං දැන්
මොකද්ද කරන්න ඕනේ ?”
මං ශේප් එකේ සමාව භාජනයක දැම්මා. ඇත්තටම මුගේ සිරාම සිරා
ලව් එක ගොඩදාගන්න උදව් කරන්නේ කොහොමද කියලා මං ඒ වෙලාවේ හිත හිතා හිටියේ.
“අනේ මන්දා බං, අද නම් එයා නෑ වගේ.
අන්න බස් එක එනවා යං.”
***************
සමීරව මුණ ගැහිලා ගෙදර ආව මං පරණ මතක ටිකක් අවුස්සන්න
හිතාගෙන මේසේ කොණක තිබුණු මගේ සැමරුම් පොත එළයට ගත්තා. සමීරගෙයි චතුගෙයි කතාවෙන්
බාගයක්ම මගේ සැමරුම් පොතේ රෝස පාට පිටුවක් ලියැවිලා තිබුණා. එදා අවුරුද්දේ මුලම ඉස්කෝලේ පටන් ගත්ත දවස.
කාලයක්ම අත්තම්මලා ගෙදර ඉඳන් එහේ තිබුණු ඉස්කෝලෙකට ගිය සමීර අපේ අසල්වැසි මිශ්‍ර
පාසලට ආව පළවෙනි දවස. අවුරුදු දහයක්ම ඉස්කෝලේ ගිය අපි හැමෝම එකොළහ වසරට පය තිබ්බ
දවස. කොහොමත් අවුරුද්දේ පළවෙනි දවස උගන්නන්නේ බොහොම අඩුවෙන්නේ.
ඉස්කෝලේ ඇරුණයින් පස්සේ අපි යාළුවෝ
සෙට් එකක්ම කතාවක් දාන් බස් ස්ටෑන්ඩ් එකට ආවා.
යාළුවෝ ටික තම තමන්ගේ ගෙවල් වලට යන බස් වලට නැග්ගා . මාත් සුපුරුදු පරිදි හවස දෙකට
ටවුන් එකෙන් පිටත්වෙන බස් එකට නැග්ගා. මෙන්න ඉන්නවා සමීර බස් එකේ,
“හලෝ....... ඉතිං කොහොමද අළුත් ඉස්කෝලේ?”
“අවුලක් නෑ බං. ශේප් එකේ ඉන්නවා.”
සමීරගේ මූණේ තිබ්බේ නම් නූලෙන් රැග් එකෙන් බේරුණු පාටක්.
“අද නම් යන්තන් ගැලවිලා ආවා. හෙට නම් අනිවා දඩයක් වදිනවා.
හිහ්...”
“ඕවා ඔහොම තමයි බං, තව අළුත් ළමයි ඇවිත් හිටියද?”
“ඔව් තව දෙතුන් දෙනෙක් හිටියා.”
බස් එකේ වැඩි සෙනඟකුත් හිටියේ නැති නිසා අපි දෙන්නා පොඩි කතාවක් දාන් හිටියා.
බස් එක ස්ටෑන්ඩ් එකෙන් පිටත් වෙනකොටම බස් එකට ගොඩවුණේ චතූ.
“ඒ කවුද බං ඒ......???”
එන පාරක් දැකපු කෙනෙක් ආයේ පාරක් හැරිලා බලන තරම් සුන්දරත්වයක් තිබුණු චතූ
මාත් එක්ක හිනාවෙලා බස් එකට නගිද්දිම සමීර ඇහුවා.
“මගේ යාළුවෙක්. පොඩ්ඩක් වැදගත් විදිහට ඉන්නවා පැණි හලන්න
පටන්ගන්නැතිව.”
මං ඔච්චමට එහෙම කියලා චතූ දිහා බැලුවා.
“එන්න මෙතනට.”
මං හිනාවෙලා, චතූට කීවා.