Thursday, October 29, 2015

ආයෙමත් එන්න

ජීවිතේ හැමදාමත්
පුරුදු විදිහට අකුරු කරන්නට
කියා දෙන්න
ඇවිත් යන්න
ඉස්සර වගේම
බලන් ඉන්නවා
පොප්ලර්ස් ගස් පාමුලට වෙලා

මං

අල්තීනායි




Sunday, October 25, 2015

වැස්ස එක්ක විරිඳු

හැමදාමත් ගත දවටන් ඉන්න, අහස් නිල් පාට වගේම වළාකුළේ සුදු පාටිනුත් රටා වැටුණු  කොළ පාට දුහුළු සළුව උනා දාල, මේ දවස්වල බදුළු ඔය බොහොම ඝණකම් දුඹුරු පාට සළුවක් පොරෝගෙන. බදුළු ඔයටත් හීතලයි ද කොහෙද. මෙච්චර දවසක් පුලින තලා මතු කරමින් හීන්සීරුවට ලතාවට ගලාගෙන ගිය ඔය, වැටිච්ච තද වැස්සත් එක්ක බොහෝම චණ්ඩ වෙලා දෙපැත්තේම ඉවුරු වලට ඔරවමින් ගලා බහිනවා. බදුළු ඔයේ චණ්ඩිකමට පැරදෙන්න බෑ කියන්න ඕනේ වගේ බස් ඩ්‍රයිවර්තුමාලත් ඇක්සලේටරේ තදින්ම පාගනවා. අපි ඉතිං ඇඟේ ලේ වතුර වෙන තරමටම බය වුණාම බස් ගමන හමාර වෙනවා.  ඒ එක්කම මං හිතින් පිං දෙනවා, මේ මහා වැස්සෙත් ඉක්මනට පරිස්සමට අපිව ගෙනත් බැස්සුවට.

බදුල්ලේ වැස්සට  වඩා බණ්ඩාරවෙල, හපුතලේ, දියතලාව පැත්තේ වැස්ස සුන්දරයි. යන්තමින් ගලා එන මීදුමත් එක්ක පොද වැස්සක් එන වෙලාවට හිතට අමුතුම නැවුම්බවක් දැනෙනවා. ඒ වෙලාවට හොඳට පොරෝගෙන කතා පොතක් කියවන ගමන් කෝපි කෝප්පයක් තොලගාන්නත්; අයිස් ක්‍රීම් එකක් කකා තෙමි තෙමී යන්නත් මං එකවගේ කැමතියි.

ඒ මොනා වුණත් බදුල්ලට වහින වෙලාවට මං කැමතියි. ඒ මොකද කීවොත්,

1.මං වැස්සට හුඟක් කැමති නිසා
2.ඒ වෙනකන්ම දාඩිය ගලා එන තරමටම වටපිටාවේ තියෙන උණුහුම අඩු වෙන නිසා

ඔෆිස් ඇරෙන වෙලාවට වැස්සොත් අනිවා මම තෙමෙනවා. සාරියත් පටලවගෙන ඉන්න වෙලාවක තෙමුනොත් හරිම අවුල්. පහුගිය සිකුරාදා හවසත් තදින් වැස්ස පටන්ගන්න කළින් බස් එකකට ගොඩවෙන එක අරමුණු කරගෙන මං ඉක්මන් ගමනින් බස් නැවතුම්පොළ පැත්තට ආවා. අතරමගදි මුණගැහුණු බස් එකට නැගලා, ටිකට් එකකුත් ගත්තා.  බදුල්ල රෝහල ළඟදී  බස් එකට ගොඩවුනේ බොහොම පිළිවෙලය ඇඳගත්ත පුංචි අත් රබානක් ගත් පුද්ගලයෙක්. එතුමා බොහොම වැදගත් විදිහට අපෙන් අවසර අරගත්තේ විරිඳු ගායනයක් ඉදිරිපත් කරලා අපේ වෙහෙස නිවන්න. කාර්යාල, පුංචි ළමයින්ගේ අමතර පන්ති අවසන් වන ඒ තදබද වෙලාවේ මේ පුද්ගලයා කරදරයක් කියල මට හිතුනා. ඒ වගේ ම බොහොම රළු පරළු කටහඬක් තිබුණු එයාගේ විරිඳු අහන්න මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ ඒ වෙලාවේ.

ඒත් ඉතින් ඒ අවස්ථාවට විරුද්ධ වෙන්න කිසිම වුවමනාවක් මට තිබුනෙත් නෑ. ඔන්නොහෙ මට මොකෝ, ඕනි එකක්. එයා විරිඳු ගායනය පටන්ගත්තා. බොහොම රළු කටහඬකින් එයා දෙමව්පියන්ගේ ගුණ ගායනා කරනවා.  ඍණාත්මක මනසකින් මං ගායනයට ඇහුන්කන් දෙන්න පටන්ගත්තත්, ගායනය අවසාන වෙන වෙලාව වෙද්දි මං සම්පූර්ණයෙන්ම ඒ ගායනයට දැහැන්ගත වෙලා. ඒ පද පේලි එකක්වත් මතක තියාගන්න මට බැරිවුණත් මගේ ඇහැට කඳුලක් නංවන්න ඒ පද පේළි සමත්වුනා කියල මට දැනුනා.  විනාඩි දහයක් විතර සොඳුරු ගායනයක් ඉදිරිපත් කළ ඒ පුද්ගලයාට මගේ හිතේ තිබුණු අප්‍රසාදය, ප්‍රසාදයක් බවට පත් කර ගන්න පුළුවන් වුණා. විඩාවෙන් බර වෙලා තිබුණු බොහොමයක් මුහුණු  උද්යෝගයෙන් පුරවන්නට වගේම සීතලට ගල් වෙලා තිබුණු හිත් මොහොතකට උණුසුම් කරන්න ඒ පුද්ගලයාට පුළුවන් වුණා. ඉතිං එදා හැන්දාවේ අපේ හිතට සහනයක් ගෙනාව ඔබතුමාට බොහොම ස්තූතියි.