හැමදාමත් වගේ
එදත් විනීතා පාර බැලුවේ, සුගත් පරක්කු මොකද කියලා. උදේ පාන්දර කඩේ දොර අරිද්දිම
බිම තිබුණු පුංචි කඩදාසි කෑල්ලේ සටහන් වෙලා තිබුණු වෙලාව ළං වුණු නිසා ඇගේ හිතට
අමුත්තක් දැනෙමින් තිබුණා. සුගත් එනකන් හිටියොත් කඩේ ලෑලි පියන් ටික වහගන්න
වෙන්නෑ. අනේ මන්ද මහ කරුම ජීවිත.
“ජිමියෝ දුප් අහකට”
හිතේ තිබුණු
නොපහන්කම මේ වෙනකන් කඩේ ඉස්සරහා ගෝනි පඩංගුවක් උඩ වැතිරිලා හිටිය කණාටු බල්ලගෙන්
පිරිමහගන්න වගේ ඈ කෑගෑවා.
“මේ මල්ලි මොකවත් ගන්න නෙවයිනේ ආවේ ???
මං මේ......... කඩේ වහන්නෙයි කියලා.”
මඳ හිනාවකින්
විනීතාට සංග්‍රහ කළ අමුත්තා, අයෙම ඉස්සරහ බලා ගත්තා.
නමක් ගමක්
නොදන්න මේ අමුත්තගෙන් උදව් ඉල්ලලත් බෑ නැතුවත් බෑ. මේ තරම් වෙලා ඉස්සරහ බංකුව උඩ
වාඩිවෙලා කිසිම කතා බහක් නැතිව හිටියට යස ඉලන්දාරියා.
“අනේ මල්ලියේ මෙන්න මේ දොර ලෑලිටික
අටෝලා දෙන්නකෝ.”
ඔහු උන්
තැනින් නැගිටලා ඈට සහයදුන්නා.
“බලන්නකෝ මල්ලී අපේ මේ සුගත් තාම නෑනේ.
මල්ලිට සිගරට් එකක්වත්............”
මොකවත්ම
නොකියා ඉන්න නුහුරු නිසා ඈ තනියම කියෙව්වා. එකපාරම අමුත්තතා ගැස්සිලා බැලුවා.
“එතකොට මේ සුගත් අයියගේ කඩේද ???”
“මල්ලි අපේ සුගත්ව දන්නවද?”
**********
“කෑම කාලම ඉඳිමු. මල්ලිට මහන්සි ඇතිනේ
හුඟක්.”
“විනීතා කෑම ටික මේසෙට අරින්නකෝ.”
“ඔන්නොහේ පිඟානට බෙදන්න අක්කේ. කළුවර
වෙන්න කළින් ලාම්පුව නිවන්නත් ඕනිනේ.”
විනීතා
නිශ්ශබ්දවම කුස්සිය පැත්තට ඇදුනේ මල්ලි මතක් කරපු කාරණාව ඔළුවෙ තියාගෙනමයි.
රස්සාවට කියල ඇවිත් විනීතලාගේ මහ ගෙදර බෝඩිං වෙච්චි සුගත් කාලෙකින් පස්සේ විනීතගේ
අයිතිකාරය වුනේ, සුගත්ගෙ අම්මලාගෙත් විනීතලාගේ අම්මලාගෙත් අමනාපය මැද්දේ. දෙන්න
දෙමාල්ලන්ගේ උත්සහය නිසා හුරුබුහුටි ගේ පොඩ්ඩකුත්, ඒකටම ඈඳුනු කඩ කැල්ලකුත් හදාගත්තා.
අඟහිඟකම් නැතිවම නොවුණත් දෙන්න එක්ක සතුටින් හිටියා.
කොහේ දකින්නද
සහෝදර සහෝදරියෝ.................
හිතට ආව ඒ
සිතිවිල්ල එක්කම අම්මගේ මූණ මතක් වුණු
විනීතගේ ඇහැට කඳුළක් නැගුනා. පොඩි එකා එක්කම යනවා. අප්පච්චිට තරහ යන්නේ නැති වෙයි
එතකොට.
“විනීතා............ මාත් එන්නද
උදව්වට? පරක්කු මොකද?”
“නෑ අනේ, මේ හරි. මල්ලිවත් එක්ක එන්න
කන්න.”
*************
“මං ගෙදරින් එද්දී උඹට පහළොවක් විතර.
දැං අවුරුදු නං කීයක් ද, ඉතිං මල්ලියෙ උඔට පේනවානේ අපිනම් ඔහේ ඉන්නවා. අම්මලා එහෙම
කොහොමද, තාමත් මට බනිනවාද? නංගිගේ ලියුං කරදහිවල ඕවා නෑනේ. ඒකි ඉතිං හැමදාම
කියන්නේ ගෙදර වරෙන් ලොකු අයියේ කියලා. මොනා කරන්නද මන්ද බං. විනීතා තනියම දාල එන්න
බෑනේ. උඹ මොකෝ නංගිව එක්ක ආවෙ නැත්තේ ?”
ලාවට සැලෙන පහන් දැල්ල දිහා බලාගෙන
සුගත් හෙමීට මිමිණුවා. අයිය-මලෝගේ කථාබහට මුහුවෙන්න ඕනි වුණත් දැන් දැන් ටික ටික
දැනෙන කොන්දෙ ඇවිලිල්ල නිසා විනීතා හෙමින්ම ඇවිත් ඇඳට ගොඩවුණා. ඉස්සරහ කාමරේ
දෙන්නගේ කථාබහ අඳුර අතරින් ඇදිල ඇවිත් විනීතාගේ දෙසවන් ඇතුළට වැදුනා.
අඩ අඳුර සුගත්ගෙත් නිමල්ගෙත්
හෙවනැලි ගඩොල් බිත්තිය මත සිතුවම් සටහන් කරල තිබුණා. පළඟැටියෝ දෙන්නෙක් පහන් දැල්ල
වටේ කැරකෙනවා. තව ටිකකින් ඒ ජීවිතෙත්........... මෙච්චර වෙලා හෙවනැලි දිහා බලාගෙන භාවනා
කරපු නිමල් නැගිටලා ගිහින් පහන් තිරේ තෙල් වල ඔබලා නිවලා දැම්මා.
පාර පැත්තෙන් ඇහුණු අඩි සද්දේ
දෙන්නවම මොහොතකට නිහඬ කලා. තමන්ගේ හද ගැස්ම වැඩි වෙනවත් ඒ එක්කම කුසේ ඉන්න දරුව
සෙලවෙනවත් එකවිටම වගේ විනීතට දැනුණා. නිමල්ගේ මූණ සුදුමැලි වෙලා. ඉටි රෙදි ගහපු
ජනේලෙන් පෙරිලා ආව හඳ එළිය සුගත්ට මල්ලිගේ මූණ පෙන්නුම් කළා. එක අතකට සැනසිල්ලේ
නිදාගන්නේ කවුද මේ දවස්වල, විනීතා නිදාගත්තේ හොඳ වෙලාවට. සුගත්ගේ හිත තනියෙන්ම
ලොකු කථාබහක් ඉවර කළා.
“ගෙදර කවුරුත් දන්නේ නෑ මං මෙහේ
කියලා. පොඩ්ඩිගෙන් නිකමට වගේ ඉල්ලගෙන තිබුණු ඇඩ්රස් එක සාක්කුවකට දාගෙන ආවා. හැමෝම
හොඳින් ඉන්නවා අයියේ. පුංචි එකා ඉපදුනාම ගෙදර ඇවිත් යන්න එන්න. මං මෙහේ ටික දවසක්
ඉන්නම් අයියේ. මං ගාව වැඩිය මුකුත් නෑ. මේන් මෙච්චරයි තියෙන්නේ. මේ දවස්වල
හදිස්සියක් උණොත්……………………. මේක තියාගන්න.”
තමන් සන්තකයේ
තිබුණු මුදල් කොල ටික අයියගේ අත් දෙකේ ගුලි කරපු නිමල් නිදා ගන්න ඇඳට ගොඩ වුණා.
“පිස්සුද මල්ලී මේ මොනවද, කැමති
කාලයක් මෙහෙට වෙලා ඉන්න. මේව ඕනේ නෑ.......”
වේගෙන් ආව වාහනයක් කඩේ ඉස්සරහ
තදින් බ්රේක් පාරක් ගැහුවේ නිමල්ගේ හිත කීරිගස්සමින්. මල්ලිගේ උරහිසට අත තියල,
තමන්ගේ පසුපසින් එන්න කියල හිසින් සන් කරන ගමන්ම සුගත් සාලේ පැත්තට ගියා.
මෙච්චරවෙලා ගැහෙන හදින්
බලාපොරොත්තුවුණු දොරට ගහන සද්දේ ඇහෙන්න ගත්තම සුගත් හෙමින් දොර දිහාට ඇදුණා. අඩ නින්දේ ඇඳට වෙලා හිටිය විනීතාත් සද්දෙට
නැගිටලා ඇවිත් සුගත්ගේ සුරතේ එල්ලුණා.
“අනේ............ සුගත් , කවදාවත්
නැතිව, කවුද දන්නෑ අනේ මේ මහ රෑ........”
දොරට ගහන සද්දේ එන්න එන්නම වැඩි
වෙනවා. බිරාන්තවෙලා හිටි විනීතගේ මූණ දැක්කම නිමල්ටත් දුක හිතුණා. සුගත් හෙමින්ම
විනීතව ලඟ තිබුණු
පුටුවක වාඩිකෙරෙව්වේ ඈට තව කොච්චර දවසක් මේ කරදරවලට මූණ දෙන්න පුළුවන් වෙයිද කියල
හිත හිතා.
ලද ඇසිල්ලෙන් දොර ගාවට පැන්න නිමල්
එකපාරම දොර ඇරියේ විනීතටවත් සුගත්ටවත් කිසිම දෙයක් හිතන්න ඉතිරි නොකර. ඇතුලට වැටිච්ච
සැර ටෝච් එළියෙන් තුන්දෙනාගෙම ඇස් නිලංකාර වුණා.
ඇරුණු දොරෙන් ඇතුලට ආව අයෝමය
හස්තයක් නිමල්ගේ කමිස කර තදින් ග්‍රහණය කර ගත්තේ ආයෙමත් අතාරින්න අදහසක් ඇතිව
නෙවෙයි වගේ.
“මෙච්චර දුරක් අපිව ගෙනාවට දැන් ඉතිං
වන්දි ගෙවපන්............”
වියරු හිනාවක් තමන්ගේ වටේ දෝංකාර
දෙනවා විනීතට දැනුණා. පරඬැලක් වගේ එළියට ඇදිල ගිය නිමල්ගේ පිටිපස්සේ
සුගත් වියරුවේශයෙන් දුවගෙන ගියා. අත් සතරකින් ඔහුව නවත්තගත්තේ, දොර ඉස්සරහ පිල්කඩ
උඩදිමයි.
නිශ්ශබ්දවම අවසන් ගමන් යන නිමල්ව
දැක්ක සුගත්ට කියාගන්න පුළුවන් වුනේ,
“මගේ බුදු මල්ලියේ.................”කියල විතරමයි.
වෙඩි සද්දෙට
කඩිමුඩියේ එළියට බැස්ස විනීතගේ පය පැකිලිලා ඈ ඇද වැටුණෙත් සුගත්ට තමුන්ගේ මල්ලි
ළඟට යන්න පුළුවන් වුණෙත් එක සැරේටම වගේ.
“කවදහරි උඹටත් මේ ටිකම තමයි.”
නිවුණු හඬකින්
කවුදෝ හෙමින් කියනවා සුගත්ට ඇහුණු-නෑහුණු ගානයි.
මිය යමින් හිටි තමුන්ගේ එක්කුස
උපන් මල්ලීව බදාගෙන වැලපෙමින් ඉන්න අයියෙකුත්, නැගිටගන්න බැරිව තමුන්ගේම මිදුලේ
අසරණව වැටිලා ඉන්න අම්ම කෙනෙකුත්, ලාවට වැටිල තිබුණු හඳ එළියෙන් පැහැදිළිව දැක්ක ජීප් එක පිටිපස්සෙම
උන්නු කෙනා තමුන්ගේ ඇහැට නැගුණු කඳුළක් පිටි අල්ලෙන් පිහදා ගත්තා.
ප.ලි. - මේ කතාවට නමක් නැතිව ලත වෙවී උන්නු මට , නමක් හොයල දුන්නු සුරංග අයියට බොහෝම ස්තූතියි. ඔයාට හිතෙන දේ ලියල ගියොත් ඒක මට ලොකු හයියක් වෙයි. ආයෙමත් එන්න.