මේනකයාගේ ගොඩේ කතා ටික කියෝලා මේන් මේ ටික මතක් වුණා මට. අපේ ගමත් ගොවි ගමක්. ඒ කියන්නේ ගමේ බහුතරයක් දෙනා කරන්නේ ගොවිතැන්. මේ කියෝන බොහෝ දෙනා දන්නවා ඇතිනේ බණ්ඩාරවෙල කියන්නේ එළවළු, මල් වවන පළාතක්. ඉතිං අවුරුද්ද පුරාම අපේ ගමේ ගොවියෝ කන්න භේදයකින් තොරවම එළවළු හදනවා. බෝංචියි තක්කාලියි තමයි අපේ පැත්තේ ගොවියන්ගේ ෆේවරිට්. අපේ පැත්තේ දේශගුණයට පසේ ස්වභාවයට ගැලපෙන, එයාලාට ලාභයක් ගන්න පුළුවන් එළවළු වර්ග විදිහට එයාලා දකින්නේ ඒ එළවළු වර්ග දෙක විතරයි. ඒ කතාව එක පැත්තකින් ඇත්ත කියල මටත් හිතෙනවා. ඒ වගේම මේ එළවළු වර්ග දෙක වගා කිරීම පිළිබඳ විශේෂඥ ගොවි මහත්තුරු අපේ ගමේ ඉන්නවා. කලාතුරකින් කැරට්, ගෝවා, අල, මාළු මිරිස්, බීට් වගා කරන අයත් ඉන්නවා. ගොඩක් අයගේ කුඹුරු වල වට්ටක්කා, පිපිඤ්ඤා, ඉරිඟු, අමු මිරිස්, අබ, මඤ්ඤොක්කා, නෝකෝල් පැළයක් දෙකක් තියෙනවා. ඒවා වවන්නේ වාණිජ පරමාර්ථයකින් නෙවෙයි. එදිනෙදා පරිභෝජනයට.
දැනට අවුරුදු
දහයකට විතර ඉස්සර අපේ ගමේ කුඹුරු යායම රන්වන් ගොයම් කරලින් බර වෙන කාලයක් තිබුණා. දැනටත් සමහර ගොවි මහත්තුරු පරණ පුරුදු
විදිහට අවුරුද්දකට වතාවක් ගොයම් වගා කරනවා. ඒත් බහුතරයක් දෙනාට ඒ පුරුද්ද මගඇරිලම
ගිහිල්ලා. ගොයම් වගා කරන කාලෙට වෙල් යායම බලන්න ලස්සනයි. මද සුළඟත් එක්ක ගොයම්
කරල් නැළවෙන විදිහ හරිම චමත්කාරයි. ඒ සුන්දරත්වය වෙන කිසිම දේකට සම කරන්න මට බෑ.
අපි දහම් පාසල් යන්නේ මේ වෙල මැද්දෙන් තමයි. මේ ගමනට අපි කට්ටිය දහදෙනෙක් විතර
එකතු වුණා. අපේ පැත්තෙන් දහම් පාසල් යන සැට් එක. පුංචිම එකා මම. කියන්න දෙයක් නෑනේ
සැට් එක ඇතුලේ මට තිබුණු තත්වෙ. මම වෙල් යාය මැද්දෙ වැටුණොත් විතරයි කවුරුත් මගේ
අදහස් විමසන්නේ, ඒත් එකම එක ප්‍රශ්නයයි අහන්නේ.
"රිදුනද?"
"රිදුනෙ නෑ" කීවොත් "අවුලක් නෑනේ, එහෙනං යං."
"රිදුනා" කීවොත් "කරන්න දෙයක් නෑ, යං ගෙදර."
රිදුනත් එකයි
නැතත් එකයි. හිහ්
දහම් පාසල
පටන්ගන්න වෙලාවට බස් එකේ යන්න සීසන් ටිකට් එක තිබුණත් අපි හැමදාමත් ගියේ පයින්. උදේ
ගෙදරින් එද්දී සීතලේ ගැහෙන අපි අඩිය ඉක්මන් කරල එනවා. එතකොට සීතල ටිකක් අඩු වෙන
නිසා. ඒත් වෙල් යාය මැදින් එද්දී හැමෝගෙම ළමාසාරි වල , සරම් වල පහළ ටික පින්නට
තෙමිලා. කකුල් ගැහෙන තරමට සීතලයි ඒ වෙලාවට. ඒ කන්ද උඩින් ඉර පායගෙන එද්දී අපි හරියටම වෙල් යාය
මැද. අපි ඉතින් ටික වෙලාවක් අව්වේ හිටගෙන සීතල මකා ගන්නවා. පරක්කු වෙලා කියලා
හිතුණු ගමන් ආයෙත් ඉක්මනින් ඇවිදගෙන යනවා. ඒ අතරේ හෙමින්ම වී කරලක් කඩාගෙන වී
ඇටයක් හපල බලනවා ගොයම කිරි වැදිලද කියලා. වී පොතු උගුරේ හිරකරගන්නේ නැතිව මේ වැඩේ
කරන එක ටිකක් අමාරුයි. ලාවට කිරි රහක් දැනුණොත් කට්ටියටම සතුටුයි. ගොයම් කරල්
දෙකක් කඩාගෙන වී ඇට වල කිරි රහ විඳිමින්ම අපි පන්සල දිහාට ඇදෙනවා. දහම් පාසලට
යද්දී සුදු ඇඳුමින් බාගයක්ම තෙමිලා. කිළුටු වෙලා. ඒත් අපි ඒ ගැන එච්චර හිතුවේ නෑ.
දහම් පාසලට ආවනේ කොහොමහරි. නෑවිත් ඉන්නවාට වඩා කොහොමහරි එන එක හොඳයිනේ. ආපහු ගෙදර
යද්දිත් මේ විදිහමයි. වෙනසකට තිබ්බේ සීතල නැතිකම විතරයි. අපේ දහම් පාසල එකොළහමාර
වෙද්දී ඇරෙනවා. ඉන්ටවල් එකක් තිබුණත් කවදාවත් කවුරුත්ම කෑම ගෙනාවේ නෑ. ඉතින් ආපහු
යද්දී හැමෝටම බඩගිනියි. එළවළු වගා කරන කාලයට ආපහු යද්දි නියර දෙපැත්තේ කුඹුරු වල
තියෙන දේවල් භූක්ති විඳින්න අපි කවදාවත් දෙපාරක් හිතුවේ නෑ. බෝංචි, තක්කාලි,
කැරට්, ඉරිඟු, පිපිඤ්ඤා අතට අහුවෙන දෙයක් අපි කඩාගත්තා. ඒක හොරකම් කිරිල්ලක්
නෙවෙයි. කුඹුරු අයිතිකාර කවුරුහරි හිටියොත්,
"නැන්දේ, බෝංචි
කරලක් කඩා ගන්නද?" අහන පමාව විතරයි.
" හා පුතේ."
ඒත් සමහර අය නම් එහෙම නෑ. ඒ වෙලාවට අපේ එහා ගෙදර
පොඩි අයියා කෑ ගහනවා, "පරලෝකෙට එළවළු එකතු කරනවා" කියලා. ඊළඟට අපිවත් දමලා දුවල
ගිහින් එයා නතර වෙන්නේ ගෙදර තමයි.
උදේටයි
දවාලටයි සිද්ධවෙන මේ ගමනට පැයක් විතර ගත කරනවා අපි. මොකෝ ගෙදර ආවා කියලා විශේෂ වැඩ
මුකුත් තිබුණ කියලයැ. හවසට ආයෙමත් අපි සැට් එකම එහා ගෙදර මිදුලට එකතු වෙනවා. ඇඳිරි
වැටෙනකල්ම සෙල්ලම.

අපේ ගෙදරට උඩ පැත්තෙන් පාර. ඊටත් උඩින් රජයේ වන වගාව. අපේ පැත්තේ උදවිය ඔය වන වගාවට කියන්නේ බ්ලොක් එක කියලා. ආච්චිලා කියන්නේ බොලොක්කේ කියලා. මං පුංචි කාලේ ඒ පැත්තේ හදලා තිබුණේ පයිනස්. ( pine ) ඉතිං අපි සමහරදාට පයිනස් කෑල්ලට යනවා සෙල්ලම් කරන්න. උදේ ගියාම ආයෙත් එන්නේ දවල් කෑමට. ඊට පස්සේ ආයෙමත් හවස තේ බොන වෙලාවට අම්මලා කථා කරනකල්ම සෙල්ලම. ඒ කාලේ ඉස්කෝලේ යනවාට අමතරව සෙල්ලම් කලාට වඩා වැඩි දෙයක් අපි කලේම නැද්ද කොහෙද,
කිය කියා
හිටියේ අපේ පැත්තේ වගාව ගැන නේ.... හිහ්, ටිකක් අමතක වුණා.
වගාව පටන්
ගන්න කලින් පැළ තවානක් සකස් කරගන්න ඕනේ. මේ පැත්තේ පැළ වී කුඹුරට කෙලින්ම ඉහින්නේ
නෑ. තවානක පැළ කරගෙන ඉන් පස්සේ තමයි පැළ හදන්නේ. හොඳ පළපුරුදු ගොවි මහත්තයෙක්ට මේ
වැඩේට ආරාධනා කරනවා. මොන දේටත් ආරම්භය සුභ වෙන්න ඕනිනේ. උදැල්ලෙන්ම රළු පොළව සුමට
කරලා අවශ්‍ය ප්‍රමාණයට වතුර හරවලා තවාන සකස් කර ගන්නවා. මේ තවාන සකස් කිරීම හරි
විදිහට සිදු වුණේ නැත්නම් පස්සේ පැළ ගලවන්න අමාරු වෙනවා.
ගොයම් වගා
කිරිල්ලේ මුල්ම පියවර බිත්තර වී සපයගෙන ඒවා පැල කරගන්න එකනේ. මේනක තුමා විස්තර
කලාට වඩා අපේ පැත්තේ බිත්තර වී පැළ කරගැනීමේ විධි ක්‍රමය ටිකක් වෙනස්. ගන්නේ නම්
හොඳම වී තමයි. බිත්තර වී වතුරෙ දවස් භාගයක් විතර පෙඟෙන්න තියලා ඉවතට ගන්නවා. ඒ වැඩේට කියන්නේ වී ගොඩ දානවා කියලා. ඉන්පස්සේ ගෝනියක දාලා හොඳට ගැට ගහලා තියෙනවා. පහුවදා ඒවා ගොම, තුඹ කොල යුෂ මිශ්‍ර කළ වතුරෙත් එක්ක මිශ්‍ර කරලා ආපහු වතුර බේරලා අරගෙන කෙසෙල් කොල අතුරපු මුල්ලක ගොඩ ගහනවා. පස්සේ ගෝනි වලින් වහනවා. බිත්තර වී ටික
උණුසුමට තෙතට තියෙන්න ඕනේ. එතකොට ඉක්මනින් උසස් තත්වයේ පැළ වී ලබාගන්න පුළුවන්. මේ වැඩේට කියන්නේ වී යාන් කරනවා කියලයි. අපේ අම්මයි තාත්තයි දෙන්නා එක්ක වී යාන් කරනවා මට මතකයි. දවස් පහකට විතර පස්සේ පැළවුණු බිත්තර වී ටික තවන් කරන්න පුළුවන්. සැරින් සැරේ ගොනියක කොනක් අයින් කරලා වී
පැළ වෙලාද කියලා බලන එක තමයි ඉතිං මගේ වැඩේ.
බිම් සකස්
කිරිල්ලයි ගොයම් හැදිල්ලයි ඊළඟ පොස්ටුවෙන්, එතකන් ජය !!!
ප. ලි. - ඉහතින් දාල තියෙන පින්තූර දෙකම පයිනස් ශාකය. හොයා ගත්තේ ගූගල් දෙයියගේ පිහිටෙන්. මේ විශේෂයට අමතරව තවත් පයිනස් විශේෂ රාශියක් තියෙනවා කියල ගූගල් දෙයියා මගින් දැන ගත්තා.
ප. ලි. - ඉහතින් දාල තියෙන පින්තූර දෙකම පයිනස් ශාකය. හොයා ගත්තේ ගූගල් දෙයියගේ පිහිටෙන්. මේ විශේෂයට අමතරව තවත් පයිනස් විශේෂ රාශියක් තියෙනවා කියල ගූගල් දෙයියා මගින් දැන ගත්තා.