Monday, July 27, 2015

බලු මලකුණ

ස්ථානය :- බස් රථය
වේලාව :- පෙ.ව. 6.40

මම :- අනේ මල්ලී බෙල් එක ගහන්න, ඉක්මනට බහිමු. මට බදුල්ල බස් එක මිස් වෙයි.

මල්ලී :- බලාගෙන බහින්න, ඔතනින් ඉක්මනට අයින් වෙන්න.
අම්මෝ............... ඒ බල්ලෙක් නේද? බලනවා හලෝ දවසම ඉවරයි.

මම :- මල්ලී මං යන්නම් එහෙනම්, ඔයා පරිස්සමට ක්ලාස් එකට යන්න. බුදු සරණයි.

මල්ලී :- හරි හරි පරිස්සමින්,  බලාගෙන පාර පනින්න.

ස්ථානය :- බස් නැවතුම්පොළ
වේලාව :-  පෙ.ව. 6.45

මම :- ගුඩ් මෝනින් අංකල්

කැරලි කොණ්ඩයක් තියෙන,උසඅංකල් :- ගුඩ් මෝනිං  මිස්, දැක්කද පාන්දරම බල්ලෙක්ද කොහෙද , කපුටෝ දහයක් පහලොවක්ම වටවෙලා.

මම :- ඔව් පව් අසරණ සතා. කවුරුත් අයින් කරල නෑනේද, මටත් කැරකිල්ලට වගේ ආවා දැක්ක ගමන්.

කලින් දැකල නැති අත්තම්මා කෙනෙක් :- අපි කාටත් අන්තිමේ ඔය ටික තමයි සිද්ධ වෙන්නේ, අපේ අවසානය කොහොම වෙයිද කව්ද දන්නේ

කැප් එකක් දාන, මිටි අංකල් :- ඔය බල්ලව මං දැකල තියෙනවා කළින් දවසක. මූණ ඉතිරිවෙලා තියෙන නිසා අඳුන ගන්න පුළුවන්, ලස්සන බල්ලෙක්, පව් අසරණ තිරිසනා. අයිතිකාරයෙක් නැද්ද කොහෙද,

මම :- අම්මෝ මම නම් ආයෙත් බලන්න ගියේ නෑ, අයින් කරන්නැද්ද දන්නෑ.

කැප් එකක් දාන, මිටි අංකල් :- ( තරමක ආවේගයෙන් ) අයින් කරන්නේ කවුද මිස්,අයින් කරන්නේ කවුද , දැන් කාලේ කවුද හරියට තමුංගේ රස්සාවවත් කරන්නේ, තාම අටවත් වෙලා නෑනේ, ඊට කළින් වැඩට එන්නේ කවුද, නගර සභාවෙ කට්ටියත් තාම වැඩ පටන්ගෙන නැතිව ඇති.

කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඒක නං ඇත්ත, හරියට රාජකාරි කරන්න පැකිලෙන්නේ, දැන් තියෙන දේශපාලන අතපෙවීම් වැඩි නිසා. නැද්ද මිස්,

මම :- ( මඳ සිනාවක් සමඟ ) අංකල් 6.50 බස් එක ගියාද?

කැප් එකක් දාන, මිටි අංකල් :- තාම නෑනේ, බලන්න ඉතින් වෙලාවට බස් එකක්වත් වැඩ කරනවද මේ රටේ, මනුස්සයෙක් හරියකට රාජකාරි කරනවාද, නෑ, ....................බ්ලා ..........බ්ලා........... ... ..........................................................................................

කැරලි කොණ්ඩයක් තියෙන,උස අංකල් :- ඇත්ත, මිස්ට කතාව ඇත්ත.අද රටේ  හැමතැනම....................බ්ලා ..........බ්ලා.............. ..........................................................................................
වේලාව :- පෙ.ව.6.55
මම :- අංකල් බස් එක ආවා. යමු නේද ??? ( පව් බල්ලා )


කැප් එකක් දාන, මිටි අංකල් :- හ්ම්................. යමු යමු. අසරණ සතා. 





Wednesday, July 22, 2015

දැන් ඉතින් වෙන කුමක් කරන්නද

"කුඹල්වෙලට තව දුරද මිස් ????"

මගේ ළඟින්ම නුහුරු උච්චාරණයකින් ඇහුණු ප්‍රශ්නෙට මං ඔළුව උස්සලා බැලුවා. මට එහා පැත්තේ සීට් එකේ හිටිය ටැමිල් ඇන්ටි මගෙන් තමයි අහල තියෙන්නේ,

"ඔව්. තව පැය භාගයක් විතර යයි. මං ළඟට ගියාම කියන්නම්."

මං උත්තර දුන්නා. හිනා මූණක් පුරවගෙන කථා කරපු එයත් එක්ක කථා කර කර යන්න ආස හිතුනා මට. ඒත් බස් එකේ හැමදාමත් වගේ කණ පැලෙන තරම් සද්දෙන් දාල තිබුණු රේඩියෝ එකේ වාදනය වුණු සින්දුව මගේ අවධානය ඒ දිහාට ඇදල ගත්තා. කවදාවත් බස් එකකදී මං මේ සින්දුව අහළ නෑ. කොච්චර ලස්සන වුණත් මේ වගේ සිංදු බස් වල දාන්නේ නැද්ද කොහෙද. 

ඉර හඳට වඩා
අපි ඈත බව
දන්නවා

ඒ වුණත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස

පැය කටුව කුමටද
ඔරලෝසු මූණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා

ඔබේ කොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාළිකාවක් පිපිරුණා

දැන් ඉතින් වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස

"ටිනිනික් නික්නික්......... ටිනිනික් නික්නික්..............." ෆෝන් එකට මැසේජ් එකක්. එව්ව එක්කෙනා දැක්කම මට හිනා ගියා. මට එයාව මතක් වෙන වෙලාවටම මැසේජ් කරන්නේ කොහොමද මන්ද, පොඩි හිනාවකුත් මූණට අරන් මං ෆෝන් එකට එබුණා.

Danithin wena kumak karannada

සිංග්ලිශ් වලින් එයා එවල තිබුණා. සාමාන්‍යයෙන් සිංදුවල පද මැසේජ් කරන්න මං කැමතියි. එයා ඒවට රිප්ලයි දානවා සමහර වෙලාවට. ඒත් එදා එයා එවල තිබුණු මේ පණිවිඩේට පුරුදු විදිහට  උත්තරයක් යවන්න මට බැරි වුණා.

"කුඹල්වෙල කුඹල්වෙල"

"කුඹල්වෙලින් බහින අය ඉස්සරහට එන්න......................."

කොන්දොස්තර කෑ ගහනවා. සිතිවිලි මැද්දේ අතරමංවෙලා හිටිය මං මේ ලෝකෙට ආවේ ඒ වෙලාවේ. ඇස් දෙකත් වහගෙන සීට් එකේ ඇන්දට ඹළුව තියාගෙන හිටිය මං ඇස් දෙක ඇරල වටපිට බැලුවා.

බොලේ බස් එක කුඹල්වෙලටත් ඇවිල්ලද, අර ඇන්ටි බැස්සද දන්නෑ................ සීට් එකේ නෑනේ, බහින්නැති.

ආයෙමත්සීට් එකේ ඇන්දට ඹළුව තියාගන්න හදනකොටම ජනේලේ වීදුරුවට කවුරුහරු තට්ටු කළා. මං බලද්ද අර ඇන්ටි එතන.

"ගිහින් එන්නම්....."

ලස්සනට හිනාවෙලා, ඔළුවත් හොල්ලලා, තොල් වලින් විතරක් එයා කීවා.

කම්මුලේ පහළට, ඇස් දෙකෙන් ගලල තිබුණු සීතලම සීතල කඳුළු වැල් ‍පිහිදාලා මමත් හිනාවෙලා ඔළුව දෙපැත්තට හොල්ලලා,

"හා"

කියල කීවා.



Sunday, July 19, 2015

කඳුළු

පහුගිය දවස්වල මං ළඟ කිසිම අඩුවක් නැතිව තිබුණු දෙයක් තමයි කඳුළු. කොච්චර වැඩිපුර තිබුණත් කාටවත් දෙන්න මගේ කැමැත්තක් නෑ. සතුටටවත් දුකටවත් කාගෙවත් ඇස් වලින් කඳුළු එනවට මං කැමති නෑ.

බස්සිගේ නවාතැන ලියන බස්සි අක්කත් එක පෝස්ට් එකක ලියල තිබුණා, වැඩිපුරම අන්නේ කාන්තාවොලු. ඒකට විද්‍යාත්මක හේතුවත් එයා පැහැදිලි  කරල තිබුණා. මං කියන්න යන්නේ ඒ ගැන නෙවේ. ඇීම ගැනඅපේ අයියා කෙනෙක් කියපු අමුතු කථාවක්.

"දැන් ඇයි ඉතින් ඔයා අන්නේ ?????? මං ඔයාට අන්න තරම් දෙයක් කීවේ නැනේ"

"දැන් ඔය කඳුළු ටික පිහදාගන්න, මිනිස්සුත් බල බලා යනවා. කෝ ඉක්මනට"අයිය කීවා.

"ඔව් අනේ ඒක ඇත්ත. ඒත් ඇ‍ඬෙනවානේ. ඔයා කියන දේවල් වලට හිත හැදෙනවා නෙවෙයි. මට ඇ‍ඬෙනවා."

මට ඉන්න වන් ඇන්ඩ් ඔන්ලි දුක් ගන්නාරාළ තුමා වෙච්චි අයියට යකා නැග්ගද මන්ද ඒ වෙලාවේ. ලාවට වියැකෙමින් තිබුණු කඳුළු පාරවල් පිහිදගෙන මං හිනා වුණා.

"අඬන්න පටන්ගන්නත් කළින් ඔයා දැන් හිනාවෙනවා. ආයෙමත් අඬන්නේ නැතිව මං කියන දේ පොඩ්ඩක් තේරුම් ගන්නකෝ. ඇත්තටම ටිකක් කල්පනා කරල කියන්න ඔයා අඬන්නේ ආත්මාර්තකාමීකම නිසා නේද ? ඔයා ළඟ තිබුණු දෙයක් නැතිවුණ නිසා නේද?  ඔයාට ඕනි දෙයක් ඔයා ළඟ නැති නිසා අඬන එක ආත්මාර්තකාමී දෙයක්. එතකොට ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. තේරුණාද ? ඒ නිසා ආයෙත් අඬන්න එපා. අඬුම තරමේ අඬන්නැතිව ඉන්න ට්‍රයි කරන්න. හරිද?"

"හ්ම්."

ආයෙමත් ඇස් දෙකෙන් ගලපු කඳුළු බින්දුව පිහදාගෙන මං පිළිණ දුන්නා.
හැමෝම අඩන්නේ ආත්මාර්ථකාමීකම නිසා නෙවෙයි කියල මං දන්නවා , ඒත් මං නං ඇඬුවේ ආත්මාර්ථකාමීකම නිසා තමයි. ඒ නිසා ආයෙත් අඬන් නැතිව ඉන්න මං හිතාගත්තා.

එක වෙලාවකට මට හිතෙනවා මගේ හිතට දැනෙන ආත්මාර්තකාමී  හැඟීම් ඔක්කොම කඳුළු වල දිය කරල දාන්න හදන එක විකාරයක් වුණත්,ඒක හොඳයි කියලා. ඒ මොකද කීවොත් අපේ ආත්මාර්තකාමී අදහස් නිසා වෙන කාටවත් කරදරයක් නොවී, වෙන කාගෙවත් හිතක් නොරිදවා අපිම අඬන එක  හොඳයිනේ.ඉතින් ඒ නිසා මං හිතනවා ආත්මාර්ථකාමී කඳුළු හොඳයි කියල. ආත්මාර්ථකාමී කඳුළු මට ඕනි කියල.

අවුරුදු ගාණක් සතුටටවත් දුකටවත් කඳුළක් එළියට නොදාපු මගේ ඇස් දෙකට කඳුළු ගංඟාවක් තරම් ගෙනැත් දීපු ඔයාත් එක්ක මං තරහ නෑ. ඒ වගේම ඒ කඳුළු වලින් ටිකක්වත් ඔයාට දෙන්න මං කැමති නෑ. ඔයා හිනාවෙනවා දකින්න මං හැමදාමත් කැමතියි. ඒක ඔයාට කියන්නවත් මට බැරි වුණා තමයි. ඔයා මේක නොබලන බවත් මං දන්නවා. ඒත් මං තරහ නෑ. ඔයාත් එක්ක තරහ වුණා නම්, මට හිත හදාගන්න ලේසි වෙයි. ඒත් කවදාවත් ඔයත් එක්ක තරහ වෙන්න මට බෑ. මට තේරෙන තරමින් මං තරහද නැද්ද කියන එක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් දවසක ඔයා මගෙන් ඇහුවොත් තරහද කියල මගේ උත්තරේ "නෑ" .

මම කඳුළු බින්දුවක්
සීතලට දැනෙන සිත රිදවන, කඳුළු බින්දුවක්  //
මම කඳුළු බින්දුවක්.................


දරු සෙනේහයෙන් මවක නෙතින් ගලා හැළුණු, පිය වියෝගයෙන් විරහිනියක ඇසින් මිදුණු //
ඒ කඳුළු බිඳක නමක් ගමක් ලියා තියෙනවද
මම කඳුළු බින්දුවක්.................
සීතලට දැනෙන සිත රිදවන, කඳුළු බින්දුවක්
මම කඳුළු බින්දුවක්


රළු පරළු කුරිරු හදක් වෙරු වී වැගිරෙන, ගිණි ගැනුණු කෑල මල් දෙකොපුළ රූරා එන //
මට එකතු වෙන්න ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද
මම කඳුළු බින්දුවක්................. සීතලට දැනෙන සිත රිදවන, කඳුළු බින්දුවක් //

මම කඳුළු බින්දුවක්

ඉංග්‍රීසි ගුරුතුමී

මං මේ පෝස්ට් එක ටයිප් කරන්නේ හුඟක් සතුටින්. කලින් දැම්ම පෝස්ට් එකේ කීව ඉංග්‍රීසි ටීචව මං හොයාගත්ත. සිකුරාද හවස මං ඔෆිස් ඇරිල ගෙදර ආව ගමන්ම, ගෙදර හැමෝටම ඇහෙන්න අම්ම ළඟට ගිහින් අභීත ප්‍රකාශයක් නිකුත් කලා.

"අම්මේ, මං හෙට උදේම ටීචව හොයාගෙන යනවා."

"පුතා, තනියමද යන්නේ ?" අම්මා මං ලෝකේ කෙළවරට යන්න හදනවා වගේ බයවෙලා ඇහුවා.

"ඔව් ඉතින්, ඔයාල හැමෝම ෆුල් බිසීනේ." මං ටිකක් සද්දෙන් කියාගෙන කාමරේට ආවා.

"අක්කී, මටත් එන්න වෙන්නෑ හලෝ, ක්ලාස්නේ. සොරි හොඳේ."නංගිත් සමාව භාජනේක දැම්මා.

"අවුලක් නෑ" මං කීවා.

රෑ කෑම වර්ජනයක් දාල මං නිදාගත්තා. 18 වෙනිදා හැමෝටම නිවාඩුනේ. කට්ටියම ගෙදර. උදේ පාන්දරම කාත් එක්කවත් වැඩි කථාබහක් නැතිව මං දඩිබිඩි ගාල ලෑස්තිවෙලා අම්මටයි තාත්තටයි වැඳල එළියට බැස්සා.

"දැන් ඔය උදේටත් නොකාද යන්න ලෑස්තිවෙන්නේ. බලන්න තාත්තී මෙයා ඊයේ රෑට කාලත් නෑ. උදේ තේ බීවෙත් නෑ." අම්මා එහාගෙදරටත් ඇහෙන තරම් සද්දෙන් කෑ ගැහුවා.

දැන් ඉතිං ඉවරයි. බස් එකේ වලිගෙ තමයි අල්ලන්න වෙන්නේ..... මගේ මූණ බෙරි වුණා. ඔය නඩුව අහල ඉවර වෙනකන් මට යන්න වෙන්නෑ.

"දැන් ඔය නොකා නොබී කොහෙද යන්න හදන්නේ ?"

තාත්තා සැරෙන් ඇහුවා.

"ටීචව හොයන්න. අනේ බස් එකත් යයි දැන්. මං යනවා."

"බත් කන්න දැන්. මං එක්කන් යන්නම්. "තාත්තා කීවා.

ඉතින් තාත්තයි මමයි ගමන පටන්ගත්තා. අපි ඉස්සෙල්ලම ගියේටීච ක්ලාස් කරපු ගෙදරට. ඉස්සර අපි ගියපු පාර දැන් කඩතොළු වෙලා. තාර ගල් ගැලවිලා. පාර දෙපැත්තේ ගණ සැරේට වල්හැදිල තිබුණා. තාත්තට ගෙදර මතක නෑ. මට නම් පාර හොඳට මතක තිබුණා. අපි ඒ කාලේ අඹ, පේර කඩපු ගස් පාරෙ දෙපැත්තේ ඉඳන් මට අමතක වුණු දේවල් ගොඩක් මතක් කරල දුන්නා. අපි පාර දිගට සෙල්ලම් කරපු හැටි. පරක්කු වුණ දාට බස් අල්ලන්න දිව්ව හැටි.  වැස්ස දාට කුඩේ බෑග් එකට දාගෙන තෙමි තෙමී වැස්සේ සෙල්ලම් කරපු හැටි. පුංචි කාලේ දේවල් මතක් වෙද්දිත් හිතට සතුටුයි. මේ හැමදේකදිම අපිත් එක්ක හිටපු ගයාල්..................

 ඒ ගෙදර හිටියේ ටීවගේ මල්ලියි එයාගේ පවුලේ අයයි. එයාලගෙන් මං ටීච ගැන ඇහුවා. ටීච දැන් ඉන්නේ උතුරුකැබිල්ලේවෙල පැත්තෙලු. විස්තර ඔක්කොම කියල මට ෆෝන් නම්බර් එකත් දුන්නා. මං ඉතින් පාරමී පුරා සොයා ගත් අංකෙට ඇමතුමක් දුන්නා. ටීච එතකොටත් ඒ අපි හිටපු ගෙදරට එන ගමන් කියල කීවා. විනාඩි 10 විතර යනකොට ටීච ආවා. මං අන්තිමට ටීචව දැක්කේ උසස්පෙළ  ක්ලාස් යද්දි. පහුවුණු අවුරුදු හතරට ටීච ටිකක් වයසට ගිහින් කියල මට හිතුණා.ටිකක් වයසට ගිය පෙනුමක් තිබුණට ටීච හිටිය වගේම ලස්සනයි. ගුරුවරු හැමදාමත් ලස්සනයි. ඇයිද මන්ද ගොඩක් සර්ලා මිස්ලාගේ වයස පෙන්නේඇත්ත වයසට වඩා ගොඩක් අඩුවෙන්. ඉතිං ටීචට සතුටුයි මං ආව එක ගැන. ෆෝන් නම්බර් එකත් දුන්නු නිසා දැන් ඕන වෙලාවක යන්න පුළුවන් ටීචව බලන්න. කමි අයියට කරදර නොකර ඕං මං මගේ ස්වෝත්සහයෙන් ටීචව හොයාගත්තා. ස්තූතියි කමි අයියේ.


Monday, July 13, 2015

අළුත් යාළුවා, ඉංග්‍රීසි ටීච සහ පරණ යාළුවා

අද හවස මං ගෙදර ආව බස් එක කොට වෙලා. ඒ කීවේ, වෙනදට හවස පහට එන ඩබල් ඩෝ බස් එක වන් ඩෝ වෙලා.  ඉතින් වෙනදට හවස පහට එන ඩබල් ඩෝ බස් එකේ ගෙදර යන හැමදෙනාමයි, තව කළාතුරකින් බස් එකට එන කට්ටියයි, ක්ලාස් ඇරිල ගෙදර යන හැමදෙනාමයි වන් ඩෝ බස් එකේ පැක්වෙලා.
"පස්සට යන්න..................... පස්සට යන්න....................."
කොන්දොස්තර අන්කල් කෑ ගහනවා.
"මේකේ තව පස්සට යන්න ඉඩ තියෙනවාද බං ??"
උසස් පෙළ ක්ලාස් ඇරිලා ගෙදර යන මල්ලියෙක් එයාගේ යාළුවට කියනවා, මුළු බස් එකටම ඇහෙන්න.
"හැබැයි මචං අද නම් පස්සෙන් බහිනවා කියන්නෑ නේ........... හිහ්"
යාළුව කියනවා. ඒ දෙන්න ළඟම හිටිය මටත් හිනාවක් ආවා.
බස් වල යන අයට ඔය වගේ කථා බොහොම සුපුරුදු දේවල්. හැමදාම එකම වෙලාවට එන බස් එකේ යන අය එකම ගමේ ඉන්න අය අතරේ බස් නිසාම තරමක හිතවත්කමක් ඇති වෙනවානේ.

1). බස් එක පරක්කු වුනාම මූණ නරක් කරගෙන බනින්න.
2). ඉතිරි රුපියල් 1/2/3 නොදුන්නම කොන්දොස්තරටවත් වෙනකාටවත් ඇහෙන්නැතිවෙන්න කුටු කුටු ගගා බනින්න.
3). සෙනඟ වැඩි දවස්වලට බෑග් එක අල්ලගන්න දෙන්න.
4). බස් එක කොටමින් යන වෙලාවට පාළුව මැකෙන්නත් එක්ක මොනාහරි කියවන්න.
5). ගමේ ඕපදූප  දැනගැනීමට.

මෙකී නොකී ප්‍රයෝජන රාසියක්ම බස් හිතවතුන්ගෙන් තියෙනවා. ඒ අතරේ මල් කැඩිලි, වලි,රැවිලි වගේම ගෙරවිලිත් බස් වල අඩුවක් නෑ. අවුරුදු ගනනාවක් බස් ගමනාගමනයේ අත්දැකීම් මට තියෙනවා. හයේ පන්තියේ ඉඳංම මං බස් එකේ ආවේ තනියම. තනියම කීවට තනියෙන්ම නෙවේ. මාත් එක්ක මොන දේටත් සෙට් වෙන සගයෝ සෙට් එකක්ම හිටියා. අපි පෙර පාසල් යන කාලේ ඉඳන්ම යාළුවෝ. නදී, නිමේ, ගයා ඇන්ඩ් මං තුමී. මං තුමී මධ්‍යස්ථයි, අහිංසකයි, අවංකයි,ඕන දේකට එකඟයි. (  හී, ඒ ගැන දන්නෝ දනිති ) නදී වෙන ඉස්කෝලෙක ගියත් ම‍ගේ හොඳම යාළුවා.ඕන දෙයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න පුළුවන් එතුමී සමඟ. නදී ගියේ මිශ්‍ර පාසලකට නිසා පිරිමි ළමයින් සම්බන්ධව එයාගේ දැනුම අති විශිෂ්ඨයි. හී...........නිමේ දළ වශයෙන් වලියට බරයි. පාරෙ යද්දී කටකැඩිච්ච කථා කියන කොල්ලන්ට අන්කල්ලාට කිසිම සමාවක් නෑ. රිටර්න් හොඳ රිප්ලයි ඒ වගේ උදවියට ලැබෙනවා නිමේ වෙතින්. එතුමීගේ මුවට එවැනි අවස්ථාවලට ගැලපෙන වදන් ක්ෂණිකව එන්නේ කොහොමද කියල තාමත් මට හිතාගන්න බෑ. අපිත් එතුමී සමඟ බොහොම පරිස්සමින් තමයි කථාබහ කොරන්නේ, මොකෝ කොයි වෙලාවෙ බෙල්ල කැපිල යන කථාවක් අහගන්න වෙයිද  දන්නෑනේ. හැබැයි ඉතිං එතුමී ඉන්න තැන්වල විනෝදයෙන් නම් කිසිම අඩුවක් නෑ. ඉන්පසු ගයා. එතුමී ටෝටල් වලි පොරක්. අපිත් එක්කත් වලි. වලිය අවසානයේ එතුමීම අඬනවා. මං ඇත්තටම එතුමියට පණ බයයි තාමත්. ඇයි ඉතින් කොයිවෙලේ ඇඟට ගොඩවෙයිද දන්නෑනේ.තනිකරම පාතාලෙන් ගොඩබැස්ස වගේ තමයි අපි හිටියේ.මේං මේ කට්ටියත් එක්ක පාරෙ යන්න කවමදාවත් බය වෙන්න ඕනිනෑ...........
කාලයත් එක්ක එයාල ඈත් වෙලා හුඟක්. මේ යාළුවෝ සෙට් එක නැති පාළුව මට දැනෙනවා ගොඩක්. එයාල එයාලගේම ලෝක ගොඩනගනවා. පාඩම් කරනවා. ලෙක්චර්ස් යනවා. හැමෝම කාර්යබහුල වෙලා.
අපි සෙට් එක ඉස්ඉස්සෙල්ලාම ටියුෂන් පන්තියකට ගියේ හයේ දී. කොච්චර ක්ලාස් ගියත් තාමත් බැරි, අපේ  මව් භාෂාවටත් වඩා උනන්දුවෙන් ඉගෙනගන්න ඕනි කියල හැමෝම කියන ඉංග්‍රීසි පන්තියකට තමයි අපි ගියේ. අපේ නිමේගේ අම්මා ගුරුවිරියක්. ( උපුටා ගැනීම-රවී අයියගේ අත්තම්මගේ ශබ්ද කෝෂය ). එයා තමයි අපිට ඉංග්‍රීසි ගුරුතුමියක් ක්ලාස් එකට හොයල දුන්නේ. ටීචගේ නම "රේණුකා". සාමාන්‍ය මධ්‍යම උස මහත, කොණ්ඩෙ දිගට ගොතල හිටියේ. හැම සෙනසුරාදම උදේම අපි හතරදෙනාම පන්ති යනවා. ක්ලාස් එක තිබුණෙ ටීචලාගේ ගෙදර.ප්‍රාථමික පන්තිවල ඉන්න කාලේ ඉංගිරීසි මෙලෝ හසරක් බැරිව හිටපු මට අකුරු අමුණමින් ඉංග්‍රීසි පාඩම කියවන්න, පේපර් එකක ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න රේණුකා ටීච කියල දුන්න. ඉංග්‍රීසි වල මූලිකම දේවල් අපේ මොළගෙඩි වලට දැම්මේ රේණුකා ටීච. දහය විතර වෙනකන් පාඩම් වැඩ. ඉන්පස්සෙ ඉන්ටවල්. ඉස්කෝලේ වගේ. ඒත් ඉස්කෝලේ වගේ ඉන්ටවල් ඉවර වෙන්නෑ. එකොළහමාරට ගෙදර යන්න බස් එක එනකල්ම අපි සෙල්ලම් කරනවා. අපේ සෙල්ලමට එකතු වුණු තවත් කෙනෙක් හිටියා. ටීචගේ එකම පුතා,"ගයාල්". අපේ වයසෙමයි එයාත්. කෙට්ටුම කෙට්ටුයි. අපේ නදීටත් වඩා සුදුයි. එයා ගියේ බණ්ඩාරවෙල තියෙන එකම බෝයිස් ස්කූල් එකේ. මුල් කාලෙ නම් එයා අපිත් එක්ක කථා කරන්නත් ලැජ්ජයි.අහිංසක කොල්ලෙක්. නදීගේ අප්‍රතිහත ධෛර්යය හේතුවෙන් පස්සේ එයා අපි නැතිව සෙල්ලම් කලේ වත් නෑ.ටීචයි, ටීචගේ අම්මයි, ගයාලුයි විතරයි ඒ ගෙදර හිටියේ. සමහරදාට ටීචගේ මල්ලීයි එයාගේ පවුලේ අයයි ඇවිත් ඉන්නවා අපි දකිනවා. හරිම හොඳ කට්ටියක් තමයි ඒ අය. ඒ ගෙදර මොනාහරි විශේෂ දෙයක් හැදුවොත් අනිවාර්යයෙන් අපිට කොටසක් වෙන් කරන්න ඒ තුන්දෙනාම අමතක කරන්නේ නෑ.
 මාස හයකට විතර පස්සේ අපේ පන්තියට එකතු වුණු අපේම වයසේ අපේම පන්තියේ අපේම යාළුවෙක්ගේ අම්මා කෙනෙක් නිසා, අපේ නිවහල් ජීවිතය අහෝසි වී ගියා. ඒ අම්මට ඕනි වුනා අපි සෙල්ලම් කරන එක නවත්තලා පාඩම් විතරක් කරන්න. ඊට පස්සේ ඒ අම්මා අපේ සෙනසුරාදා පන්තිය සතියේ දවසකට මාරු කළා. හුඟක් නිදහසේ ඉගෙනගත්ත අපිව හිරකරල වගේ දැනුණා. අපේ පන්තියට අළුතෙන් එකතු වුණු අපේ අළුත් යාළුවා පන්තිය හුඟක් වෙනස් කලා කියල මට හිතුණා.  අපි හැමදාම පන්ති ගියේ බස් එකේ. ඒත් එයාලගේ තාත්තා, එයාවයි එයාලගේ අම්මවයි වෑන් එකේ ගෙනැත් දැම්මා. සමහරදාට හවසට වහිනවා. අපි එද්දී පරක්කු වෙනවා. එතකොට ඒ අම්මට තරහයි අපි එක්ක.

"මොකෝ පන්තියට වෙලාවට එන්න බැරිද ඔයාලට........????????????"

එයා කෙලින්ම අහන්නේ මගෙන්. මං නිකන්ම හිනාවෙලා බලන් ඉන්නවා. ඒ වෙලාවට මොනවා කියන්නද. වැස්සට තෙමිල ක්ලාස් එකට එන අපිව ටීච තුවායකින් පිහදල තමයි ගේ ඇතුළට ගන්නේ. අල්ලන්නත් අප්පිරිය හිතෙන තරමට තෙතබරිවෙලා තියෙන අපි හතර දෙනාගේ මේස් ටීච හොඳට හෝදල වොෂින් මැෂින් එකේ දාල වේලල ගෙනත් දෙනවා ආපහු යද්දී දාගෙන යන්න.වැස්ස දවසට, කවුරුහරි වැඩිහිටියෙක් එක්කන් යන්න ක්ලාස් එකට එනකන් ටීච අපිව ගෙදර යවන්නේ නෑ. දවසක් මං උණ හැදිල ක්ලාස් ගියේ නෑ. ටීච ගයාල්වත් එක්කන් ආවා මාව බලන්න.ටීච අපි ගැන හුඟක් හොයල බැලුවා. අම්මා කෙනෙක් තරමටම. පරණ දේවල් මතක් වෙද්දී දැං කඳුළුත් එනවා.
මාස දෙක තුනකට පස්සේ ටීච ක්ලාස් එක නැවැත්තුවා. අපිට මුකුත් තේරුණේ නෑ. අපි නරක ළමයිද, අපි ටීච කීව දේවල් කළානේ, ටීච අපි එක්ක තරහ වුණේ ඇයි, මං හිත හිතා හිටිය.
පස්සේ දවසක ටීච අපේ තාත්තට කෝල් කරල කියල තිබුණා, අපි යාළුවොහතර දෙනා විතරක් ආව නම් ක්ලාස් එක තාමත් තියෙනවා කියල.
ඊළඟ අවුරුද්දේ අපි සෙට් එක අළුත් ක්ලාස් එකකට ගියා. අපේ අළුත් යාළුවා ඒ ක්ලාස් එකටත් ආවා. ඒ ක්ලාස් එකත් අවුරුදු දෙකකින් විතර ඉවර වුණා. නිමේ ක්ලාස් එකකට ගියා. ගයා තව එකකට ගියා. මමයි නදීයි වෙන ක්ලාස් එකකට ගියා. නදියි මමයි ගියඅළුත් ක්ලාස් එකේ මිසුත් හොඳයි. ඊට ටික කාලෙකට පස්සේ අපි ඔක්කොම ඕ ලෙවල් ලීවා. දවසක් ඒ ලෙවල් ක්ලාස් යද්දී මට අහම්බෙන් රේණුකා මිස්ව හම්බවුණා. විස්තර කථා කර කර ඉන්නකොට එක පාරම ලොකු වුවමනාවකින් වගේ ටීච ඇහුවා,
"අර ඔයාලගේ යාළුවා,******* දැන් මොකද කරන්නේ ??"
"එයා බයෝ කරන්නේ. ඒත් මං යන පන්තියටනම් එන්නෑ ටීච."
"ඒක හොඳයි. ඔයා දන්නවද ඇයි මං ඔයාලගේ ක්ලාස් එක නැවැත්තුවේ කියල???????"
"නෑ ටීච"
"කමක් නෑ පුතේ, ඒවා ඔන්නෑ දැන්. මං යන්නම්. පරක්කු උණානේ. ගයාල් මං එනකන් බලං ඇති."

මං කල්පනාවෙන්ම ගෙදර එන්න හැරුණා. මෙච්චර කාලෙකට කල්පනා නොකරපු දෙයක් එදා මට තේරුණා. අපේ හිටපු අළුත් යාළුවාගේ අම්ම නිසා අපේ ඉංගිරිස් පන්තියට තිත වැටුණා කියල මට එදා හොඳටෝම තේරුම් ගියා.
කාලය ගත වෙලා, අපි උසස් පෙළත් ලියල ටික කාලයක් ගත වුණා. අපේ සෙටාර් එක විවිධ යෝජනා ගේනවා විවිධ ගමන් බිමන් පිළිබඳව. ඒත් ඉතින් ඒව ක්‍රියාත්මක කිරීමට විවිධ බාධා. ලොකුම බාධාව වුනේ අපේ සෙට් එක එකතු කරගන්න එක. ලාහෙට ගෙම්බො එකතු කරනවා වගේ. එකෙක් ඉන්නකොට එකෙක් නෑ.
ටික කාලෙකට පස්සේ අපි කට්ටියම හතර අතට විසිරිලා ගියා.
නදීගේ නංගි ජම්බු ගහෙන් වැටීමේ ප්‍රීතිය නිමිත්තෙන් පැවැත්වුණු සාදයේදී ඕන් ආයෙමත් අපි සෙටාර් එක කාලෙකින් එකිනෙකාට මුලිච්චි වුණා. දාහක් වැඩ රාජකාරීවලින් නදීව මුදවගෙන අපි ටික මිදුලේ කෙළවර කයියක් දාන් හිටිය.මේං මේ වෙලාවෙ අපේ පරණ මතක කතා, වලි කතා වලට ලොකුම ලොකු බාල්දියක් දැමීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව, අපේ මවුතුමී ඇන්ඩ් නිමේගේ මවුතුමී එම ස්ථානයට වාර්ථා කළා. අපේ කතා බහ ඉංගිරිස් පන්තිය දිහාටත් ඇදිල ගියා.
"බලන්න අනේ, අපේ ළමයි ටික තාම ගියේ නෑනේ රේණුකා මිස්ව බලල එන්න."
මූණත් කළු කරන් අපේ අම්ම දෝස් මුරේ පටන් ගත්ත.
"ඔයා දන්නැද්ද අනේ, රේණුකා මිස්ගේ පුතා නැති වුණානේ ගිය අවුරුද්දේ. අපි මලගෙදරත් ගියා."
"මොකක් ???       ගයාල්.............."
නිමේගේ අම්ම කිසිම දෙයක් නොවුණු විදිහට ලාවට කීව ඒ කතාවට මං ගල් ගැහුණා. පුංචි කාලේ අපි එක්ක සෙල්ලම් කරපු ගයාල්ගේ අහිංසක මූණ මට මැවිල පෙනුණා.
"කොළඹදී තමයි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ, හොස්පිට්ල් එකට යද්දීත් ................................................................................................................................................................................................................................................................................................................."
ඇන්ටි තව මොනවාද කියවනවා.
"ලෙක්චර්ස් තිබුණු නිසා මමත් ආවේ නෑ බං" නිමේ කීවා.
"ඒ කියන්නේ උඹත් දන්නවා." නදී කෑ ගහන්න ගත්තා.
"වරෙන් බං යන්න." මං නදීගේ අතත් ඇදන් ඇතුලේ කාමරයකට ගිහින් දොර වහගත්තා.
නදීගේ ඇස් වල කඳුළු පුරෝලා එකයි.
"ඇයි බං අපේම යාළුවෝ අපිට මෙහෙම කරන්නේ???" මං ඇහුවා.
"දවසක් කළින් කීව නම් හොයාගෙන හරි යන්න තිබුණා. මං හෙට කළුතර යන්න ඕනි බං"
ඉතින් නදී ගියා. ගයා එදා උත්සවේටවත් ඇවිත් හිටියේ නෑ. මං තනියෙන්. ටීච ඒ කාලෙම කිය කියා හිටියේ ගෙවල් මාරු කරන කතාවක්. දැන් කොහේ  ඉන්නවද කියන්න මං දන්නෑ. විස්තරේ දන්න අනිත් කෙනා නම් නිවාඩුවට ගමේ එනවා. ඒත් එයා එක්ක ඒ ගමන් යන්නවත්, මිස් ගැන විස්තරයක් අහන්නවත් මගේ හිත නැමෙන්නේ නෑ.
මිස් වැඩ කරපු ඉස්කෝලෙවත් මං දන්නෑ. කොහොම ටීචව හොයන්න පටන්ගන්නද කියල මට තේරෙන්නෑ. අනිත් අවුල තමයි ටීචට මං මොනාද කියන්නේ. මේ සිද්ධිය වෙන්න කළින් ටීචව බලන්න ගියා නං කියල හිතෙනවා. මං හුඟක් පසුතැවිලි වෙනවා ඒ ගැන. ගෙදර කාටවත් මා එක්ක ටීචව හොයන්න යන්න නිදහසක්, වුවමනාවක් නෑ. මොනා කරන්නද මන්ද,
හුඟක්ම දුක හිතුනේ අපේ පරණම යාළුවෝ ගැන.
වයින් පරණ වෙන තරමට රහයිලු. යාළුකමත් ඒ වගේලු. යාළුකම නම් කවදාවත් වෙනස් වෙන් නැතිව ඇති. ඒත් යාළුවෝ නම් වෙනස් වෙනවා. එහෙම කියන්නත් බෑනේ ඉතිං, සමහර යාළුවෝ නම් වෙනස් වෙනවා කියල මං ඒක සංශෝධනය කර ගත්තා.
හුඟාක් දුකින් ලියපු ලිපියක් මේ. කියෝන කවුරුහරි උපදේසයක් දෙන්ඩෝ..........මං ඉස්සරහට මේ ගැන මොනා කරන්නද මන්ද,