බස් එකට නැග්ග ගමන්ම මාව දැක්ක චතූ මං ළඟිට ඇවිත්
හිටගත්තා. සමීරයි චතුයි දෙන්නා මගේ දෙපැත්තේ.
“පොත් වගයක් ගන්න කඩේට ගියා අනේ, තව
ඩිංගෙන් බස් එක මිස් වෙනවා.” චතූ කීවා.
“වේලාවට ඔයා දුවගෙන ආවේ. හි..... මේ ඉන්නේ
සමීර. පුංචි කාලේ ඉඳන්ම මගේ හොඳ යාළුවෙක්.”
මං ඉතින් පුංචි හිනාවක් දාලා අපේ ඉලන්දාරියාව මේ ලස්සන ගෑණු දරුවට හඳුන්වලා දුන්නා.
එදා ඉඳන් මේ දෙන්නා හොඳම යාළුවො වුණා.
************
මාස කීපෙකට විතර පස්සේ දවසක,
“ඒ බං අන්න චතූ එනවා. අද අහන්නම ඕනි
බං. වැඩේ හරි යයිද? හෙල්ප් එකක් දීහන් ඈ....” අපේ
ඉලන්දාරියා වැඩේට මුල පුරන්නයි ලෑස්තිය.
“මට බෑ. අහන්න ඔයාම. ඕවා කියන්න ගිහින්
චතූ මාත් එක්කත් තරහ වෙයි. ඔයා කෙලින්ම ඇහුවොත් නම් වැඩේ ගොඩ තමයි.”
“මං හෙල්ප් කරන්නම් ඔයා අහන්නකෝ.”
බස් එකේ වැඩි සෙනඟකුත් නැති නිසා අද නම් අහන්න පුළුවන්
වෙයි. මටත් හිතුනා.
“චතූ මේ අපේ සමීරට ඔයාට මොනාද කියන්න
තියෙනවලු.”
මං ඉතින් කතාව පටන් ගත්තා. කවදා කාපු ටකරන්ද අප්පා මේවා.
චතූගේ අම්මගෙනුත් බැනුම් අහන්න වෙයිද මන්දා
.
.
“කියන්න හලෝ ??? ඇයි???” චතු ඇහුවා.
“කියනවා දැන් ඉතින් ඇඔරෙන්නැතිව.” මං සමීරට හෙමින් කීවා.
“ඒ බෑ බං තරහ වෙයි.”
“අහනවා මැට්ටෝ, ආයේ නම් මට බෑ. අහනවා.”
මූණත් රතු කරගත්ත සමීර ,
“චතූ, තරහ වෙන්නේ නැත්තම් දෙයක්
අහන්නම්. තරහ වෙන්න බෑ හොඳේ.”
“නෑ නෑ තරහ වෙන්නෑ”
“කියන්නකො ඔයා මට කැමතිද? (
බ්ලා බ්ලා බ්ලා පැණි කතා ගොඩකි. කොටින්ම
කිවහොත් පැණි හැලියයි.) “
මං ෂේප් එකේ එතනින් අයින් වුණා. මේ පැණි කතා මට අහන් ඉන්න
බෑනේ. හික්ස්....
චතූ බැහැලා ගියාට පස්සේ සමීර මං වාඩිවෙලා හිටිය සීට් එනට
ආවා. මූණ අවුල්.
“මොකෝ වුනේ??”
රතු වෙච්චි මූණදිහා බලාගෙනම මං ඇහුවා.
“බෑලු බං”
සමීර කියපි. “දැන් මොකෝ කරන්නේ??”
“මං දන්නෑ.”
“පොඩ්ඩක් ඉවසලා ඉන්නවා හලෝ, අහපු ගමන්
හා කියන්න බලාගෙන ඉන්නවා කියලාද හිතන්
ඉන්නේ... අපි හෙටත් අහලා බලමු.”
මං ඉතින් කොල්ලව පොඩ්ඩක් ෂේප් කලා.
“අනේ මං දන්නෑ බං.”
කොහොමින් කොහොම හරි චතූව කැමති කරගන්න සමීර කොළුවට බැරි
වුණා. දැන් චතූ කිසි කතා බහක් නෑ සමීර එක්ක. කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාළුවෙන්න
අහලා,ඒක අවුල් වුණ ගමන් උන් දෙන්නට දෙන්නව පේන්න බැරිව යනවද කොහෙද, පවුල් අවුල්
හිහ්..
චතූටත් ඔය ලෙඩේ බෝ වුණා. ඒ කියන්නේ චතූට දැන් සමිරව
පේන්න බෑ. යකා නගිනවා. සමීර ඉතින් තාමත් දුක් වෙනවා.
“අපරාදේ බං මං එයාගෙන් ඇහුවේ. මා එක්ක
තරහවෙලා. කතා කරන්නෙත් නෑ. යාළුකමත් නැති වුණා බං මේ වැඩෙන්.”
මාස කීපයක්ම ගෙවුණා. සමීරගේ ශෝකාලාපේ අහං ඉඳලම මට ඇති
වුණා. මුන් දෙන්නා තාම තරහයි.
“මේ මොකද්ද බං මේ, තාම තරහද දෙන්නා ?”
“හ්ම්ම්ම්ම් කතා බහක් නෑ. දැක්කත් නෑ
වගේ අහක බලන් යනවා. අනේ මන්ද බං. අද නම්
කතා කරන්නම ඕනේ.”
එහෙම කීවට ඉතින් හැමදාමත් සමීර චතූව දැක්ක ගමන් පසු
බහිනවා. කතා කරනවා තියා මූණවත් බලන්නෑ.
ඕං ඔහොම අවුරුද්දම ගත වුණා. දැන් ඉතින් ඕ ලෙවල් විභාගේ
එහෙම අත ළඟටම ඇවිත්. මේ කාලේ ඉතිං අපි පාඩම් වැඩ කෙසේ වෙතත් සමරු පොත් ලිවිල්ල නම්
කිසිම අඩුවක් පාඩුවක් නැතිව කරනවා. බෑග් එකේ ඉස්කෝල පොත් වලට වඩා වැඩියෙන් සමරු
පොත් අරන් ගියා හවස ගෙදර යද්දී. හැමෝටම සුභ පතලා. සම්බන්ධ කරගන්න පුළුවන් දුරකතන
අංක, ලිපින එහෙම ලියලා සමරු පොත පිරිලා තිබුණා.
එකම එක රෝස පාට පිටුවක් වෙන් කරගෙන තිබ්බ චතූ එයාගේ
රවුම් අකුරු වලින් පිටුව පිරෙන්න මට සුබ පැතුම් එකතු කරලා.
“ඒ හලෝ කෝ ඔයාගේ ඔටෝග්‍රාෆ් එක??? මට
දෙන්නැද්ද?”
මාගේ සමරුපොත සමීරට දෙන ගමන් මං ඇහුවා. මුංට දෙන්න මතක
නැත්තං අපි ඉල්ලලා හරි සුබ පතන එක යුතුකමනේ...... හිහ්
“නෑ බං. මං පොතක් හැදුවේ නෑ. එකටවත් මට
හිතක් නෑ.”
සමීර අවුලෙන් කියලා මට තේරුණා.
මගේ සැමරුම් පොතේ චතූ සටහනක් දාලා තිබුණු පිටුවට කලින්
පිටුවේ සමීර මට සුබ පැතුම් එක් කරලා තිබුණා. ඒ වගේම එයා චතූගෙන් සමාව ඉල්ලලා
තිබුණා හරිම සංවේදී විදිහට.
*****************
දැං වර්තමාන කතාව,
එදා බස් නැවතුම්පොලේදී මුණගැහුණට පස්සේ මට සමීරව
කාලෙකින් මුණ ගැහුණේ නෑ. මුන් දෙන්නගේ
කතාවත් එහෙම්ම අමතක වෙලා ගියා මට. සමීර
සේවය කරන්නේ ආරක්ෂක අංශයේ. යුධ හමුදාවේ. ඉතිං එකම ගමේ හිටියත් මට එයාව මුණගැහෙන්නේ
බොහොම කලාතුරකින්.
සති දෙකකින් විතර පස්සේ සමීරගෙන් මට කෝල් එකක්.
“ආ.... ඉලංදාරියා අපිවත් මතක් වෙනවා නේ
ඉඳලා හිටලා.”
“හ්ම්,”
වෙනදට නවතින්නැති තරමට කතා කරන සමීරගේ ලොකු නිහඬ බවක් මට
දැණුනා.
“මොකෝ බං අවුල?”
“චතූ බඳිනවලු බං.”
සීතලම සීතල හඬකින් සමීර උත්තර දෙනවා මට ලාවට ඇහුණා.
“මොකක් ??? අනේ යනවා යන්න බොරු නොකියා.” මට කියවුණා.
“ඒ වගේ විහිලු දරුණු වැඩියි බං. ඇත්තම
ඇත්ත.”
මට මහා අසරණ කමක් දැණුනා.
“ඒ හලෝ මොනා කරන්නේ ඉතිං දැන් ??” උත්තරයක් නැති ප්‍රශ්නයක් මං ඇහුවා.
“උඹ දන්නවද බගීයෝ එදා වෙච්චි දේ ??”
“මොකද්ද? කවද්ද?” මං ඇහුවා.
“එදා ඔයාව මීට් වුණු දවසට පහුවෙනිදා,
මං එදා හවස අප්පච්චි එක්ක ටවුන් එකට ආවා බඩු වගයක් ගන්න.”
“ඉතිං”
“යන ගමන් චතූව දැක්කා බස් ස්ටෑන්ඩ් එකේ
ඉන්නවා.මං ඉතිං වීල් එක පොඩ්ඩක් ස්ලෝ කලා.”
“පුතේ අර ඉන්නේ *****
මිස්ගේ දුව නේද, එයාවත් එක්කන් යමු. බස් එක එනකල් ඉන්නවා ඇත්තේ....”
අප්පච්චි කීවා.
“මට ඉතිං මල් හතයි. අවුලක් නැතුවම චතු
වීල් එකට නැග්ගා. අප්පච්චිත් හිටිය හින්දා වෙන්නැති.”
“පස්සේ මොකෝ වුනේ ???”
“අප්පච්චි එක්ක කෙල්ල කතාවක් දාන් ආවා.
මං ඉතිං මෝඩයා වගේ කට පියන් ආවා.”
“සමීර ඔයාගේ ෆෝන් නම්බර් එක මං ළඟ නෑ.
දෙන්නකෝ. උදව්වක් ඕනි උණොත් ඉල්ලන්නවත් බැරියැ. කෙල්ල කියපි.”
“මළා අංකලුත් හිටියා නේද, හිහ් මරු
වැඩේ.” මට හිනාවක් ගියා.
“මරු තමයි උඹට නම් හිනා. අහනවකෝ
විස්තරේ මැදින් ඇඩ් නොදා.”
සමීරට මළ පැන්නද
කොහෙද,
“මං ඉතින් හොඳ එකා වගේ අප්පච්චි දිහාත්
බලලා නම්බර් එක දීලා එයාගේ එකත් සේව් කර ගත්තා.”
“කෙල්ල වීල් එකෙන් බැහැලා අප්පච්චිටත්
වැඳලා කරලා යන්න ගියා.”
“ඒ දරුවා ඔයාගේ වයසද පුතේ?”
“අප්පච්චි අහපි. මං උඩ ගියා. මේ මොකද්ද
වෙන්න යන්නේ කියලා.”
“ඔව් වෙන්නැති. භාග්‍යාලගේ පන්තියෙද
කොහෙද,”මං ගැලවිලා යන්න උත්තරයක් දුන්නා.
“පස්සේ මොකෝ වුණේ ?? ගෙදර ඇවිත් කෝල්
කලාද ???”
“කොල්....... කෝල් තමයි. ඉඳපන්කෝ කියනකල්.”
“අනේ ඒ දරුව
නම් පුතේ හරිම සීදේවී. අදහසක් එහෙම තියෙනවනම් කියන්න පුතේ. අප්පචිචි කීවා.”
“ඉතිං, එහෙනම්
අවුලක් නෑනේ බං ???? උබ ද එතකොට චතූ මැරි කරන්නේ??? “මං කීවා.
“නෑ බං. හවස
චතූ කෝල් කලා. ප්‍රපෝසල් එකකින් එයා මැරි කරනවලු ලබන මාසේ බං.
අපේ අප්පච්චි හිටිය
නිසා කියන්න ලැජ්ජා හිතුනාලු බං. මං මොනාද බං කරන්නේ?? පිස්සු වගේ....”
යාළුවගේ ආදරේ
නිසා මගේ ඇහැට නැගුණු කඳුලක් හෙමින් කම්මුලට වැටෙනවා මට දැනුණා. ඒ වගේම සමීර අවුරුදු
7 කටත් වැඩි කාලයක් හිතේ හිරකරන් හිටිය ආදරේ මහා බර සුසුමක් විදිහට නිදහස් කරනවා
ජංගම දුරකතනයෙන් මට ඇහුණා.
**********